|
SECRET IN THEIR EYES
ඒ ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශයේ (FBI) රහස් පරීක්ෂකයින් වන “රේ” සහ “ජෙස්” යන කුළුපග මිතුරන්ට සුපුරුදු කාර්යබහුල දිනයකි. අලුත් දිස්ත්රික්ක නීතිපතිවරිය ලෙස පත්වීම ලත් “ක්ලෙයාර්” රූමත් කාන්තාවක් වන අතර, රේ ගේ ආකර්ෂණය දිනාගෙන සිටින්නීය. මේ අතර ලැබෙන හදිසි ඇමතුමකින් කියවෙන්නේ මියගිය තරුණ කාන්තාවකගේ සිරුරක් නගරයේ කුණු ගොඩක තිබී හමුවන බවය. සිරුරවෙත යන ඔවුන්ගෙන් පළමුව රේ සිරුර පරීක්ෂා කිරීමට යන අතර එහිදී දුටු දෙයින් ඔහු බලවත් ලෙස කම්පනයට පත්වේ ! ඔහුට දකින්නට ලැබෙන්නේ දරුණු ලෙස ඝාතනය කර ඇති සිය මිතුරිය වන ජෙස් ගේ තරුණ දියණියගේ සිරුරයි ! ජේස් වෙත යන ඔහුට කිසිවක් කතා කර ගැනීමට නොහැකි වන අතර අසිහියෙන් මෙන් “ඈ ඔබගේ දියණිය..” යන්න පමණක් කියවයි. එහි දිව යන ජේස් විලාප නඟමින් හඬා වැටෙයි. එම සිද්ධියෙන් පසු මිතුරන් එකිනෙකාගෙන් දුරස් වන නමුත් අපරාධකරු කෙසේ හෝ සොයා දෙන බවට රේ ජෙස් ට පොරොන්දු වෙයි. සිද්ධියට අදාළ සාධකයන්ට බොහෝ දුරට ගැලපෙන සැකකරුවෙක් ඔවුන් විසින් අත්අඩංගුවට ගැනෙන නමුත්, ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් හේතුවෙන් ඔහුව නිදහස් කිරීමට ඔවුන්ට සිදුවේ. මෙයින් ජෙස් අපේක්ෂා භංගත්වයට පත් වන නමුත් රේ සිය වෑයම ඇත නොහරියි. මෙම සිද්ධියෙන් වසර 13 කට පසු මිතුරන් නැවත එකිනෙකා මුණ ගැසේ.. Secret in Their Eyes (සීක්රට් ඉන් දෙයා අයිස්) ඇමෙරිකානු අභිරහස් ත්රාස ජනක චිත්රපටයේ තිර රචනය මෙලෙස දිග හැරේ. බිලී රේ විසින් අධ්යක්ෂණය කරන ලද, මාක් ජොන්සන් සහ මැට් ජැක්සන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්රපටය “ලා ප්රේගුන්තා දේ සුස් ඔජෝස්” නම් ආජන්ටිනියානු නවකතාව පාදක කරගෙන ලියවුණකි. චිවටෙල් එජිඔෆෝර්, නිකොලි කිඩ්මාන්, ජුලියා රොබර්ට්ස්, ඩීන් නොරිස් ආදී ප්රවීන රංගන ශිල්පීන් පිරිසක් රගන මෙම චිත්රපටය පසුගිය නොවැම්බර් 20 වනදා සිට ලොව පුරා ප්රදර්ශනය ඇරඹි අතර මේ වන විට ඇ.ඩොලර් මිලියන 16.3 ක ආදායමක් ලබාගෙන ඇත. චිත්රපටයේ පිරිවැය ඇ. ඩොලර් මිලියන 19.5 කි. මෙම චිත්රපටය STX Entertainment බෙදා හැරීමක් වන අතර, විනාඩි 111ක් පුරා ප්රදර්ශනය වේ. Secret in Their Eyes IMDB දර්ශකයේ 6.2 / 10 කුත් රෝටන් ටෝමාටෝස් හි 40 % කුත් හිමි කරගෙන ඇත. කෙසේ නමුත්, චිත්රපට විචාරකන් බොහොමයක් මෙම චිත්රපටය විවේචනය කර ඇත්තේ, ප්රවීන රංගන ශිල්පීන් රැසකගේ හැකියාවන් හොඳීන් ප්රයෝජණයට ගෙන නොමැති බවටයි.
|