වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ හිත හොඳ වැඩි නිසා ඒ නහරෙ අයින් කරලා

මගේ හිත හොඳ වැඩි නිසා ඒ නහරෙ අයින් කරලා

- සුසිලා කෝට්ටගේ
 

මේ වෙච්ච දේ මට තවමත් හිතාගන්න බැහැ. ඒත් මට දැනෙනවා මොකක්දෝ පෙර පිනකින් මං තවමත් ජීවත් වෙනවා කියලා. ජීවිතේ හරි පුදුමාකාරයි. හරියටම සතියකට උඩදී ගහක් ගලක් වගේ උන්නු මම අද ඇඳකට වෙලා ඉන්නවා. මං දන්නවා තව බොහොම කෙටි කාලෙකින් මං පෙර තත්ත්වෙට එනවා කියලා. එතකම් මෙහෙම ඉන්නවා.

අපහසුවෙන් වුවත් සරසවිය වෙනුවෙන් සුසිලා කෝට්ටගේ හෙවත් අප ආදරණීය දයාවතී බොහොම සෙමින් කටහඬ අවදි කළා. ඇය මේ වන විට අංගොඩ, නව ගොතටුවේ පිහිටි ඇගේ නිවසට වෙලා විවේකී සුවයෙන් පසු වෙනවා. සුසිලා එහෙම ඉන්නේ මාරක පිම්මක් පැනලා. ඇගේ හිත බොහොමත්ම සවිමත්. එහෙයින් මොන දේ වුණත් මුහුණේ ඇති අපූරු සිනහව නම් පොඩ්ඩක්වත් මැකී ගිහින් නැහැ.

හරියටම නොවැම්බර් 19 වැනිදා. ඊට කලින් දින දෙකෙහිම දුර ගමනක් ගිහින් ඇවිත් මං හුඟක් වෙහෙස වෙලයි හිටියේ. එදා මට විශේෂ වැඩක් නොතිබුණු හින්දා මං ටිකක් දවල් වෙනකම් නිදාගත්තා. හවස මට හිරු නාළිකාවේ ජෝදා අක්බාර් ටෙලි නාට්‍යයේ ඩබිං තිබුණා. මං සාමාන්‍යයෙන් ඒ වගේ වැඩකට යන්නේ ටැක්සියක් කතා කරගෙන. මොකද මගේ මහත්තයා රහල් කැමැති නැහැ එයාගේ වාහනෙන් මාව කොළඹ තියෙන වැඩවලට එක්කගෙන යන්න. මොකද කොළඹ හරියට ට්‍රැෆික්නෙ. මහත්තයට හරි අපහසුයි ට්‍රැෆික් එකේ වාහනය පදවන්න. ඉතිං මං ඔහුට කරදර කරන්නේ නැහැ කොළඹ එනකොට. ඒත් එදා හරි පුදුම වැඩක් වුණා. කවදාවත් නැතුව මහත්තයා එකඟ වුණා මාව කොළඹ එක්කගෙන එන්න. මාත් වාහනයට ගොඩ වුණා.

ඔන්න නිවසින් පිටත් වෙලා ටික වේලාවක් ගත වුණා. මට දැනෙන්නට ගත්තා පිට පැත්තෙන් ඉතා දරුණු වේදනාවක්. මං හිතුවේ වාත අමාරුවක් කියලා. ක්‍රම ක්‍රමයෙන් ඒ රිදීම වැඩි වුණා. ඉන්නම බැහැ දැන්. පිටේ වේදනාව පපුව පැත්තට ආවා. දැන් මට දැනෙනවා පපුවයි පිටයි හිර කරනවා කියලා. වේදනාවෙන් මිරිකි මිරිකි මං හිටියේ. මේ වෙන කොටත් මහත්තයා හොඳටම බය වෙලා හිටියේ. ඔහු කීවා ගෙදර යමු කියලා. මං සාමාන්‍යයෙන් වැඩකට එනවා කිව්වම මොන දේ වුණත් ඒකට යන එක යනවා. නැත්නම් මං එනතුරු බලාගෙන ඉන්න සියලු දෙනාම අමාරුවේ වැටෙනවනේ. එදා මං නොගියොත් ඩබිං සේරම අවුල් වෙනවා.

ඒත් ඔබට එදා ඩබිං යන්න බැරි වෙනවා නේද...

හ්ම් . . . ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි. මගේ පෙරැත්තට මහත්තයාව මං කොහොම හරි ගෙනවා හිරු නාළිකාවෙ කාර්යාලය තියෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට. ඒ එන අතරතුර මං වේදනාව දරා ගන්නට බැරුව සීට් එකෙනුත් වැටුණා. රහල් තවත් බය වුණා. හිතකින් නෙවෙයි ඔහු මාව කොළඹට ගෙනාවේ. එවෙලේ මට හිතුණට ඩබිං යන්න වේදනාව වැඩිකමට මට යන්න බැරි වුණා. මං හිරු එකට කතා කරලා වෙච්ච කරදරය කියලා යළිත් කාර් එකට නැංගා. මහත්තයා කිව්වා මහ ඉස්පිරිතාලේ යමු කියලා. මං කිව්වා මට කොහේවත් යන්න ඕනෑ නැහැ යමු අපේ පවුලේ ඩොක්ටර් මීට් වෙන්න කියලා. රහල් යළි යළිත් කිව්වේ මහ ඉස්පිරිතාලෙම යමු කියලා. මං කීයටවත් එතැනට යන්න එකඟ වුණේ නැහැ.

අන්තිමේ රහල් අපේ ෆැමිලි ඩොක්ටර් වන ගුණවර්ධන මහත්මයා ගාවට ගෙනිච්චා. ඔහුගේ ඩිස්පෙන්සරියේ එවලේ සෑහෙන්න සෙනඟ හිටියා. මං ඒ කාවවත් බලන්නේ නැතුව කෑගහගෙන ඩොක්ටර් ඉන්න කාමරයට ගියා. ඔහු මාව පරික්ෂා කරලා වහාම මහ ඉස්පිරිතාලෙට ඇතුළත් වෙන්නට යැයි කීවා. එවෙලේ මං ඇඳගෙන හිටපු ඇඳුම පිටින් මං ඉස්පිරිතාලෙට ඇතුළත් වෙන්නට කැමැති වුණේ නැහැ. මොකද සරුව පිත්තල ඇඳුමක් මං ඇඳගෙන හිටියේ. අනික ඉස්පිරිතාලෙට ඇතුළත් වන්නට මුකුත් ලැහැස්ති කර ගෙනත් නැහැනෙ. මං වහාම ගෙදර ආවා. වෙලාව කියන්නේ ඔන්න ඔය වෙලාවෙම තමයි අපේ පවුලට හිතවත්ම කෙනා වන කුමාර සිරිවර්ධන අපේ ගෙදරට කතා කළේ. ඊට පහුවෙනිදා අපි ගමනක් දා ගත්තා. ඒ පිළිබඳ අහන්නයි කුමාර කෝල් කළේ. මං ඔහුට විස්තරේ කිව්වා. කුමාර තකහනියක්ම අපේ ගෙදර ආවා. ඔහු ඩොක්ටර් ගුණවර්ධනට කතා කළා. ඩොක්ටර් ඇහැව්වලු මං රෝහල් ගත වුණා නේද කියලා. එවලේ මං හිටියේ ගෙදරනෙ. ඩොක්ටර්ට කේන්තිත් හිගිල්ලා. ඔහු කිව්වලු මහ ඉස්පිරිතාලෙට නෙවෙයි, ළඟම තියෙන රෝහලට මාව ඇතුළත් කරන්න කියලා. ලෙඩේ එච්චරටම භයානකලු.

ඉතින් මොකද කළේ?

රහල්, කුමාර වහාම ක්‍රියාත්මක වෙලා මාව අයි. ඩී. එච්. උණ රෝහලට ඇතුළු කළා. එතැනින් ප්‍රතිකර්ම කරලා මාව යැව්වා කොළඹ මහ ඉස්පිරිතාලේ හෘද රෝග ඒකකයට. එහි හැට එක් වැනි වාට්ටුවේ මං හිටියේ. ඒ අය පරීක්ෂා කරලා නහර දෙකක් බ්ලොක් කිව්වා. එකක් 99% ක්. අනික 49% ක්. වහාම ශල්‍යකර්මයක් කරන්න ඕනෑ කියලා කිව්වා.

ගොඩක් බය හිතෙන්න ඇති?

මොකද නැත්තේ. මං කිව්වා මාව කපන්නේ කොටන්නේ නැතුව ඕන දෙයක් කරන්න කියලා. ඒත් මගේ ජීවිතය බේරගන්න එපායැ. එතැන සිටි වෛද්‍යවරුන් ඇතුළු සියලුම සේවකයන් මගේ හිත හැදුවා. ඔවුන් සියල්ලම පාහේ කිව්වේ මගේ ජිවිතය ගැන හිතලා තීරණයක් ගන්නටයි කියලා. අන්තිමේ මම හිත හදා ගත්තා. වාසනාව කියන්නේ මට පෝලිම්වල නොඉඳ දවස් දෙක තුනකින් ශල්‍යකර්මයට ගත්තු එක. දිනය කිව්වොත් හරියටම ගිය 22 ඉරිදා. මාව එදා තියටර් එකට ගත්තේ හොඳ කෙක් ගෙඩියක් බාර ගන්නවා වගේ. හැමෝම මට ශක්තියක් වුණා. මට එවලේ කිසි දෙයක් ගැන ලෝබ හිතුණෙත් නැහ. මරණ බය දැණුනෙත් නැහැ. සම්පූර්ණයෙන්ම සිහිය නැති නොකර ඔවුන් ශල්‍යකර්මය පටන් ගත්තා. බඩට ඉන්ජෙක්ෂන් ගහලා කැමරාවක් යවලයි ඔවුන් අලුත් නහර සවි කළේ. ඔපරේෂන් එක කරද්දී වෛද්‍යවරුන් විහිළුවෙන් තහළුවෙන් හිටියා. මාත් නොයෙක් කතා කියමින් ඔවුන්ව සතුටු කළා. දෙවියන්ගේ පිහිටෙන් ශල්‍යකර්මය නිම වුණා. මට දැනුණේ යළි මං ඉපදුණා වගේ. ඉපදුණා නෙවෙයි මාව ඉපැද්දුවා. ඇත්තම කිව්වොත් කොළඹ ජාතික රෝහල ගැන මං කලින් වැරැදි මතයක හිටියේ. ඒත් අද මං ඕනෑ කෙනෙකුට කියන්නේ කොළඹ රෝහල තරම් උතුම් තැනක් නැහැ. මාව රෝහලට ඇතුළත් කළ වෙලාවේ සිට මට සලකපු විදිහ අදටත් මට මැවිලා පේනවා. වෛද්‍ය චන්දිමා වෛද්‍ය ටානියා පෙරෙයිරා, වෛද්‍ය භානු ඇතුළු සියලු වෙදැදුරන්, එහෙම කියනවාට වඩා වෙද දෙවිවරු කිව්වත් වරදක් නැහැ. ඔවුන් නැත්නම් අද සුසිලා කෝට්ටගේ කෙනෙකුත් නැහැ.

ඔබට කෙපමණ කල් විවේක ගන්න කියලා කිව්වද?

ටිකක් කල් විවේක ගන්න කිව්වා. ජීවිත කාලෙයේදීම බෙහෙත් බොන්න වේවි. මං සාමාන්‍යයෙන් හරිම විනෝදයෙන් ඉන්න කැමැති කෙනෙක්. හෘදයාබාධය හැදෙන්න කලින් දවසේ මම හිටියේ ගාල්ල මාතර පැත්තේ. මං මාදැලක් පවා අදින්න ගියා. ඒ විනෝදෙට. එහෙම හිටිය මට මෙවන් වූ රෝගී තත්ත්වයක් ඇති වීම බොහෝ දෙනෙකුට ප්‍රහේළිකාවක්. මගෙන් ගොඩක් අය ඇහැව්වා මානසික තෙරපීමක් තියෙනවාද කියලා. හත් දෙයියනේ මට එහෙම එකක් නැහැනෙ. නමුත් මගේ හිත හොඳ වැඩිකමට කෙනෙකුට උදව් කරන්න ගිහින් මානසික තෙරපීමකට ලක් වුණා. ඒ 2009. ඒක තවමත් මගේ හිතේ තියෙනවා. කුමාර නම් කියන්නේ මගේ හිත හොඳ වැඩි හින්දා ඒ හිත හොඳ වැඩි නහරෙ අයින් කරලා අලුත් එකක් දැම්මයි කියලා. එතකොටවත් මිනිස්සුන්ට ඕනෑවට වඩා හොඳ කරන්නට යන එකක් නැතිලු.

මේ වන විට මට ගොඩක් දුක මං රඟපාපු වේදිකා නාට්‍යවලට මට එකතුවන්නට නොහැකි වන එකට. අනෙක් නිර්මාණ වගේ නෙවෙයි වේදිකා නාට්‍ය දර්ශන නවත්වන්නත් බැහැ. නමුත් මං නොමැතිව බොහොම අපහසුවෙන් සුනිල් ශ්‍රී වගේ අය වෙන කෙනකු පුහුණු කරලා ඒ නාට්‍ය පෙන්නලා තියෙනවා. මට දුකයි ඔවුන් මං හින්දා අපහසුතාවට පත් වුණ කාරණාවට. කොහොම හරි මට කියන්න තියෙන්නේ මං හැකිතාක් ඉක්මනින් නැඟිටිනවා. ඒක ස්ථිරයි.