|
සිහි බුද්ධියෙන් ඇසීම පිණිසයි
දහ අට වංගුව ගීතය ගැයූ කුමා අත්තනායක අලුත් වැඩක් පටන් අරන්. ඒ මොකක්ද කියලා කිව්වොත් රස වින්දන වැඩ සටහනක්. මෙයාට මෙහෙම දෙයක් කරන්නට හිතිලා තියෙන්නේ එක්තරා හේතුවක් මත. මේ දිනවල ගුවන් විදුලි සහ රූපවාහිනි නාළිකාවන්හි ප්ලේ වෙන ගීත කුමාට අහන්න ලැබිලා. ඒවායින් බහුතරයක් ගීත නෙවෙයිලු. කුමා කියන විදිහට ඉන් ඇතැම් ගීත ගයන අයට වෙනමම උගන්වන්න ඕනෑලු සිංදු කියන විදිහ. එන්න එන්න සංගීත ක්ෂේත්රය පිරිහෙන බව කුමා කියනවා. එයා බලාගෙන ඉන්න බැරිම තැන තමයි කුමා තනියම හරි ගේමට බැහැලා තියෙන්නේ. සිංදු කියන අය කෙසේ කීවත් ඒවා අහන අය සිහි බුද්ධියෙන් ඇසිය යුතු නිසා කුමාට හිතුණලු ගීත ශ්‍රාවකයන් වෙනුවෙන් යමක් කරන්න. ඒ අදහස ඔස්සේ තමයි කුමා මෙම රස වින්දන වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. හොඳ ගීත රස වින්දනය කරන්නේ කෙසේ ද යන වග කුමා මෙහිදී පහදලා දෙනවා. මෙම වැඩසටහන් මාලාව තමා ක්‍රියාත්මක කරන්නේ පාසල්, කාර්යාල වගේ ස්ථානවල. මේ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙනවාලු. කුමා මෙයට යොදලා තියෙන නම තමයි ගීතාවි වන්දනා.
අතීතය මතක් වෙලා
අපට සිටින පැරැණිම කලාකරුවකු හැටියට කට ඇරලා බය නැතුව හඳුන්වා දෙන්න පුළුවන් කෙනෙක් තමයි විජේරත්න වරකාගොඩ. ඩබිං නම් ඩබිං, ඇක්ටිං නම් ඇක්ටිං, සිඟිං නම් සිඟිං. මේ කොයි දේටත් ඔට්ටුයි මෙයා. කොච්චර කලා කටයුතුවල නියැළුණත් වැඩි දෙනෙකු ඔහුව හඳුන්වන්නේ මුවන් පැලැස්සේ කොරළේ මහත්යා හැටියට. ඒ හඬ පෞරුෂයට සම කරන්න මේ කපේදි නම් කෙනෙකුට පුළුවන් වන එකක් නැහැ. ඒ තරම්ම ඔහු විශිෂ්ටයි. ඉතින් මේ වරකාගොඩට ගුවන් විදුලි නාළිකාවකින් ඇරැයුම් ලැබුණා. ඒ නාළිකාව තමයි ශ්‍රී. එහි හඬ කැවීම් අංශයට අලුතින් පිරිවරක් බඳවා ගත්තා. ඔවුන්ගේ වැඩමුළුවක් මෙහෙයවන්නයි වරකාගොඩට මේ ඇරැයුම් ලැබ තිබෙන්නේ. ඔහු එතනට යනකම්ම දන්නේ නැතිලු මෙවන් වූ වැඩකට කතා කරලා තියෙන්නේ කියලා. ඊට හපන් එදා වරකාගොඩ මහත්තයාගේ උපන් දිනයත් යෙදිලා තිබුණලු. කොහොම හරි නාළිකාවේ උදවිය එන්න කියපු තැනට ගියාම වරකාගොඩට පුදුම හිතිලා. එතනට ගියාට පස්සේ ඔහුට අතීතයත් මතක් වුණාලු. ආධුනික හඬ කැවීම් ශිල්පියකු වශයෙන් ගුවන් විදුලියට ගිය හැටිත් වරින් වර සිහි වෙලා. ඔහු ඒ අත්දැකීම් අද නවකයන් අතරේ බෙදා ගත්තලු. වරකාගොඩ ඒ දවසේ බොහොමත්ම සන්තෝසයෙන් ගත කරලා. ඔහු වගේ කෙනෙක් තමන්ගේ වැඩමුළුවට ආවාම නවක හඬ කැවීම් ශිල්පියෝ ටිකත් බෙහෙවින් ප්රමෝදයට පත් වුණාලු.
පුතාටම කැප වී
ධනුෂ්කා ජයරත්න හොඳ මවක්. එහෙම කියන්නේ ඇය කාටවත් පවරන්නේ නැතුව ඇයගෙ පුතාගේ වැඩවලින් 99% ක්ම ඇය විසින්ම සිදු කරන නිසා. දවසේ කොයි වෙලාවෙත් ධනුෂ්කාගේ දුරකතනයට ඇමතුමක් ගතහොත් ළමයගේ වැඩක ඉන්නේ කියලා පස්සේ ගන්නම් කියනවා. ඇය මේ දිනවල තම ජීවිතයෙන් වැඩි ඉඩක් වෙන් කරලා තියෙන්නේ පුතාගේ රාජකාරිවලට. බලාගෙන ගියාම ධනුෂ්කා දැන් රඟපාන්නේ නෑ වගෙයි. කොහොම වුණත් ධනුෂ්කා නිලංජනා නාට්‍යයේ රඟපාපු අයුරු වැඩි දෙනෙකුට තවමත් හොඳින් මතකයි. ඇයට වැඩිපුරම ගැළපෙන්නේ කටකාර චරිත. ඉතින් තව නොබෝ දිනකින් වැඩි වැඩියෙන් රඟපාන්නලු හිතාගෙන ඉන්නේ. ඒ අතර පුතාගේ වැඩ කටයුතු තමන්ගේම අතින් ඉටු කරන්නට ධනුෂ්කාගේ වැඩි කැමැත්ත. නැත්නම් ඇයගේ හිතටත් හරි නැතිලු.
හිටියටත් වඩා ෂෝක්
තමන්ව ප්‍රේක්ෂකයන්ට අමතක වේවි කියලා හිතාගෙන ඉන්න නළුවෙක් ඉන්නවා. ඔහු තමයි ප්‍රේමදාස විතානගේ. ප්‍රේම්ට මෙහෙම හිතුණේ ඇයිද මන්දා. අප ක්ෂේත්රයේ වැඩි දෙනෙකු හිතාගෙන ඉන්නවා ප්‍රේම් තවම අසනීපයෙන් කියලා. ඒ හින්දා ඔහු රඟපාන්නේ නෑ කියලත් ඇතැම් අය හිතනවා. පසුගිය කාලේ ප්‍රේම්ට නිර්මාණත් අඩු වුණේ ඒ හේතුවෙන්. ඒක නම් ඉතා සාවද්‍ය මතයක්. මේ වන විට ප්‍රේම් හිටියටත් වඩා ෂෝක් එකට ඉන්නවා. නිර්මාණවලට අඩුවෙන් සහභාගි වුණු හින්ද ද දන්නේ නැහැ ප්‍රේම් තමන්ව මිනිස්සුන්ට අමතක වේවි කියන බයෙන් ඉන්නේ. හැබැයි ප්‍රේ්ම් රඟපාපු ඒවායේ හැටියට අද ඉඳලා ප්‍රේම් රගනොපෑවත් මිනිස්සුන්ට කවදාවත්ම ඔහුව නම් අමතක වන එකක් නැහැ.
අහඹු අවස්ථාවක්
බුද්ධික රණතුංග මේ වන විට සෑහෙන්න ටෙලි නාට්‍ය ප්‍රමාණයක රඟපාලා තියෙනවා. මේ දවස්වල විකාශය වන දේවි නාට්‍යයේ බුද්ධික ඉන්නවා. ටෙලි නාට්‍ය සඳහා බුද්ධිකට ලැබෙන ඇරැයුම් ගණන නම් අති විශාලයි. ඒත් ඔහු චිත්‍රපටයක දෙකකට වඩා රිදී තිරයේදී අප හමු වුණේ නැහැ. බුද්ධිකත් මේ ගැන හිටියේ කනස්සල්ලෙන්. චිත්‍රපට ක්ෂේත්රයේ යාළුවොත් ගොඩක් ඉන්නවා. නමුත් ඇරැයුම් නැහැ. ඔහොම හිත හිත බුද්ධික දවසක් ගෙදරින් එළියට බැස්සේ කොට්ටාවට යන්න හිතාගෙන. ඒ පෞද්ගලික වැඩක් සඳහා. ඔය අතරතුරදී පන්නිපිටිය දිහාවෙදි බුද්ධික දැක්කා යාළුවෙක් පාර දිගේ යනවා. ටක් ගාලා බුද්ධික තමන්ගේ යතුරු පැදිය නැවැත්තුවා. යාළුවත් එක්ක වචනයක් දෙකක් කතා කර කර හිටියා. එක පාරටම යාළුවා ඇහැව්වා මොනවා හරි බොමුද කියලා. (බාර් එකක් නෙවෙයි ෆෘට් ජූස් ෂොප් එකක් පෙන්නලයි යාළුවා එහෙම ඇහැව්වේ). බුද්ධික බෑ කිව්වා. යාළුවා දැන් දැඩි ලෙස පෙරැත්ත කරනවා මොනවා හරි බොමු කියලා. බුද්ධික බෑ කියනවා. බැරිම තැන යාළුවාගෙන් ගැලවෙන්න බැරිම තැන බුද්ධික ගියා අර ෆෘට් ජූස් ෂොප් එකට. මෙන්න බොලේ එතන ඉන්නවා චිත්‍රපට අධ්යක්ෂවරයෙක් සහාය අධ්යක්ෂවරයකු සමඟ. ඔවුන් එවලේ ඉඳලා තියෙන්නේ ඔවුන්ගේ ඊළඟ චිත්රපටයෙහි ගැටලුවකට මැදි වෙලා. තවත් විදිහකින් කිව්වහොත් නළුවෙක් පොල්ලක් තියලා. බුද්ධිකව දැක්ක ගමන් ඔහුව හඳුනා ගත්තු සහාය අධ්යක්ෂවරයා එතැනට ආවලු. චිත්‍රපටයේ චරිතයක් තියෙනවා කරමුද ඇහැව්වලු. බුද්ධිකත් බෑ කියයි. කොහොම හරි එදා අහම්බෙන් බුද්ධිකට සෙට් වෙලා තියෙන්නේ චිත්‍රපටයක උප ප්‍රධාන චරිතයක්. මේ වග දැනගත් බුද්ධිකත් එක්ක හිටපු යාළුවා ෆෘට් ජූස් බොන එක පැත්තකින් තියලා වෙන මොනවදෝ බොන්න ඕනෑ කියලා වෙන ජූස් ෂොප් එකකට බුද්ධිකව එක්කගෙන ගියාලු සතුට සමරන්න. |