වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අනේ ලෙස්ටර් මහත්තයෝ මහළු චරිතයක්වත් තියෙනවා නම්...

දෙවැනි කොටස

අනේ ලෙස්ටර් මහත්තයෝ මහළු චරිතයක්වත් තියෙනවා නම්...

පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගවේදී ටෝනි රණසිංහයන් මෙරට සිනමාවේ රජතුන් කට්ටුවේ අන්තිමයාය. ටෝනි රණසිංහයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිති කොට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ ටෝනි රණසිංහයන් සමඟ කරන ලද විශේෂ සාකච්ඡාවක් ලිපි මාලාවක් ලෙස එකල සරසවිය පුවත්පතේ පළ විණ. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙන්ම ටෝනි රණසිංහයන්ට උපහාරයක් ලෙස සරසවිය එම ලිපි මාලාව ඔබට නැවත ගෙන එන්නෙමු.

සිනමා නළුවකු ලෙස ප්‍රේක්ෂකයන් ඔබ මුල්වරට හමු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටයෙන්. ඔහු ඔබට මුල් වරට හමු වූයේ කොහොමද? ඒ වන විට ලෙස්ටර් මහතා නිපදවා තිබුණේ රේඛාව සහ සන්දේශය පමණයි?

මං ඒ කාලයේ වැඩ කළේ විදුලි බල දෙපාර්තමේන්තුවේ. දැන් නම් එය විදුලි බල මණ්ඩලය. මාව ඒ වන විට එහි සිටි පිරිසට ජෝක් එකක් බවට පත් වෙලා තිබුණේ.

ඒකට හේතුව නම්, අතරමඟ නතර වූ පුංචි අම්මා චිත්‍රපටයේ ඡායාරූප පත්තරවල පල වෙලා තිබුණා. එහෙයින් මගේ චිත්‍රපටයත් එන්නේ කවදාද? මඟතොටදී හමුවන විට, ටෝනි ප්‍රධාන චරිතයක් කරන චිත්‍රපටයක් ළඟදී එන්නේ නැද්ද? යනාදී ප්‍රශ්න කන්තෝරුවේ අය ඔලොක්කුවට මෙන් ඇහුවා. මේ වගේ දේවල් ඉවසා ගන්න බැරි වූ තැන මං ආයෙත් ආතර් යූ. අමරසේනට දැඩි පෙරැත්ත කොට ලෙස්ටර් මහතාව හමුවන්නට ගියා.

එතකොට ලෙස්ටර් මහත්තයා ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නඟනවා කියලා පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. ආතර් මාව හඳුන්වාදීමෙන් අනතුරුව ලෙස්ටර් මහත්තයා මගේ පාදන්තයේ සිට ශීර්ෂාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා චිත්‍රපටයට නළු නිළියන්ව තෝරාගෙන ඉවරයි. වුවමනාවක් වුණොත් පසුව දන්වන්නම් කිව්වා. 'අනේ ලෙස්ටර් මහත්තයෝ මහළු චරිතයක්වත් තියනවා නම් දෙන්න' මට ඉබේටම එහෙම කියවුණා.

මහළු චරිත කරන්න පුළුවන්යැ තමුසෙ වගේ කොල්ලෙකුට. ඔහු එහෙම පැවසුවේ මගේ හිත රිදෙන අන්දමින් නෙවෙයි. කෙසේ වෙතත් ගම්පෙරළියෙහි මං සුළු චරිතයක් කළා. ගම්පෙරළිය මං රඟපෑ පළමු චිත්‍රපටය නොවෙන්න තිබුණා. මං ඒ ඇයි ද කියන වගත් කියන්නම්කෝ.

මගේ පුරුද්දක් තිබුණා දිනපතා ඩේලිනිවුස් පුවත්පත කියවීම.

එක්තරා දිනයකදී චිත්‍රපටයකට නළු නිළියන් බඳවා ගැනීම සම්බන්ධ දැන්වීමක් ටී. සෝමසේකරන් නම් වූ මහත්මයෙක් පළ කරලා තිබුණා. එහි සම්මුඛ පරීක්ෂණය තිබුණේ කොළඹ බ්‍රිස්ටල් ගොඩනැගිල්ලේ. මං එදා නියමිත වේලාවට එතැනට ගියා. වෙනදාට ඔවැනි තැනකට මං අඳින්නේ සුදු දිග කලිසමක් සහ සුදු ෂර්ට් එකක්. මෙදින මං ඊට ටයි පටියකුත් එකතු කළා. ඒත් එතැන පුදුම සෙනඟ ගොඩක්. මට ඉන්ටර්වීව් එක එපා වුණා. හිතේ මොරාල් එකත් බැස්සා. මං කෙළින්ම ඕල්කට් මාවතේ අවන්හලකට ගිහින් පුංචි මධු විතකින් සප්පායම් වෙලා ආපසු එතැනට ආවා.

එතකොට පිරිස නැති තරම්. මං කෙළින්ම ඇතුළට යන්න අඩිය ඔසවනවාත් එක්කම මහත්තයෙක් ඉදිරියට ආවා. ඔහු තමයි සෝමසේකරන්. මං ගැන විස්තර අහලා ඔහු මාව කිංස්ලි රාජපක්ෂ මහත්තයා ගාවට එක්කගෙන ගියා.

කිංස්ලි මට දෙබස් වගයක් දුන්නා. මං කිව්වා. මට තනිවම දෙබස් කියන්න බැහැ. සහයට කෙනෙක්ව ඉල්ලුවා. මගේ වදනට ඔවුන්ගේ මුහුණවල් ඇද වුණා. කොහොම හරි සහයට කෙනෙකුත් සමඟ ඒ දෙබස් කියලා මං එතැනින් පිටව ගියා. මේ සිදුවීම වුණේ ගම්පෙරළිය පටන් ගන්නට පෙර. ගම්පෙරළිය පසුකාලීනව තිරගත වෙද්දි කිංස්ලි මහත්තයා මට හමු වෙලා පුදුම කතාවක් කිව්වා. එදා ඔවුන් නිෂ්පාදනය කරන්නට සිටි චිත්‍රපටයට තෝරාගෙන හිටියේ මාවලු.

එත් මගේ ටිකක් කට වැඩියි කියලලු ඉන් මාව අයින් කරලා තියෙන්නේ. ඒ චිත්‍රපටය තමයි දීපශිකා. හදිසියේවත් ඊට තෝරා ගත්තා නම් මගේ පළමු චිත්‍රපටය ගම්පෙරළිය නොවන්නට තිබුණා.

ටෝනි අයියා ඇයි නළුවකු වන්නට හිතුවේ?

පාසලෙන් අවුට් වෙලා රැකියාවක් ලැබෙන තුරු මං කාලයක් හිටියා. අපේ ඉස්සරහ ගෙදර හිටියේ මගේ තාත්තගේ අක්කා. ඒ නිවසෙයි මං හැදී වැඩුණේ. නිතරම කාලය ගත කලේ. ඔවුන් කවදාවත් බල කළේ නැහැ මට රැකියාවක් කරන්න. මට තරුණ ගැහැණු ළමයින්ගෙන් දැඩි ආකර්ෂණයක් තිබුණා ඒ දවස්වල. මේක මං ගැනම පංපෝරු ගැසීමක් නෙවෙයි.

මං හිතුවා එයින් ප්‍රයෝජනයක් ගන්න. ඉඩ ඇති පරිදි කොළඹ මැකලම් පොත්හලට ගොස් පොතක් දෙකක් කියෙව්වා. ඒවායින් දැනුම ආභාෂය ලබා ගත්තා. රැලෙක්ස් අයියා මගේ පිංතූර නිතරම ගත්තා. ඒවයේ හොඳ කලාත්මක බවක් තිබුණා. මං හිතනවා ඉහත කරුණු ටෝනි රණසිංහ නම් වූ නළුවා බිහි කරන්නට ඇති.

ලබන සතියට...