වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ් රණසිංහගෙන් ගෙදරටම චිත්‍රපට

රාජ් රණසිංහගෙන් ගෙදරටම චිත්‍රපට

ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහගේ නිෂ්පාදනයෙන් හා සුරේෂ් කුමාරසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘ඔන්න බබෝ පිස්සෝ එනවා’ ඩී.වී.ඩී චිත්‍රපටය මේ මස 12 වැනිදාත් ‘රෝද තුනේ මනමාලයා’ ඩී.වී.ඩී චිත්‍රපටය 25 වැනිදාත් ඩී.වී.ඩී පට ලෙසින් එළි දැක්වෙයි.

‘ඔන්න බබෝ පිස්සෝ එනවා’ හි ලක්ෂ්මන් අමරසේකර, කිරාන් සොයිසා, නිලූෂා ජයවර්ධන, තක්ෂිලා සෙව්වන්දි ප්‍රධාන චරිත මවන අතර ප්‍රේමදාස විතානගේ, සෙනරත් ගුණසේකර, මනීෂා ශ්‍යාමලී, සිල්වියා හුගෙස්, තිලකා සෙනෙවිරත්න, හෂිනි ප්‍රනාන්දු, ඩිස්නි සෙනෙවිරත්න, සරත් අනුරංග, නිශංක ගුණසුමන සෙසු චරිත රඟපාති. මෙහි වේශ වේශ නිරූපණයෙන් තුෂාරා ජීවන්ති සහය වෙයි. පිස්සන් කොටුවෙන් පනින පිස්සන් දෙදෙනෙකු වටා ගෙතුණු මේ චිත්‍රපටය හා ‘රෝද තුනේ මනමාලයා’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් රන්දික විජේමාන්න, කලා අධ්‍යක්ෂණයෙන් සංජීව මධුශංක, සටන් අධ්‍යක්ෂණයෙන් රවී චන්ද්‍රසිරි සහය වෙති.

ත්‍රී රෝද රථ රියැදුරන්ගේ හිත හොඳකම පිළිබද කතා බහ කෙරෙන ‘රෝද තුනේ මනමාලයා’ හි ප්‍රධාන චරිත මවන්නේ ටෙනිසන් කුරේ අමාවි ධනන්සූරිය, ෂෙරින් එදිරිසිංහ, ලක්ෂ්මන් අමරසේකර යි. අනෙක් චරිත සඳහා ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ඩී.බී. ගනේගොඩතැන්න, චාන්දනී ප්‍රෙඩී සිල්වා, ප්‍රේමදාස විතානගේ, දමිතා සළුවඩන, සැනට් දික්කුඹුර, කිරාන් සොයිසා, සෙනරත් ගුණසේකර, ඩෙලෝන් ඩොනසන්, දසුන් චාමර යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙති. හඳුන්වාදෙන නළු නිළියන් ලෙස නිලූෂා ජයවර්ධන, තිළිණි මධුෂාණි, රේෂනි ලියනගේ, රෙෂි දුලානි එහි රඟපාති.

චිත්‍රසේනයන්ගේ දසවස් සැමරුම

ප්‍රවීන නර්තන ශිල්පී චිත්‍රසේනයන්ගේ දස වන ගුණ සමරුව ලබන ජුලි 18 වැනිදාට යෙදී ඇත. මේ වෙනුවෙන් චිත්‍රසේන වජිරා නර්තන පදනම විසින් සිය නවතම නිෂ්පාදනය ‘දේවාංජලි’ ශාන්තිකර්ම පිළිවෙත් ආවර්ජනය ප්‍රසංගය ජූලි 18 සහ 19 යන දෙදින කොළඹ, ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දේවාංජලි ප්‍රථම දර්ශනය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි උළෙලේදී පැවැති අතර කැන්බරා නාට්‍ය උළෙලද විචිත්‍රවත් කළ එය මෙරටදී මඩකලපුව, ස්වාමි විපුලානන්ද කලා අධ්‍යයන ආයතනය හා යාපනය වීරසිංහම් ශාලාවේදීද වේදිකාගත කෙරිණි. දේවාංජලී චිත්‍රසේන නර්තන සංසදයේ කලා අධ්‍යක්ෂිකා හේෂ්මා විග්නරාජාගේ නර්තන නිර්මාණයකි.

දේශීය නාට්‍ය හා කලා ශිල්ප පුනර්ජීවනය කොට පැරණි ශාන්තිකර්ම සම්ප්‍රදායන්ගේ මූලාංග එයට ඇතුළත් කර සුරක්ෂිත කරමින් ලාංකේය සාම්ප්‍රදායික නර්තන කලාව ජාතික මෙන්ම අන්තර්ජාතික මට්ටමෙන්ද ජනතාව අතරට ගෙන යාමේ ගෞරවය හිමි වන්නේ චිත්‍රසේනයන්හටය. 1943 වසරේදී චිත්‍රසේන නර්තන සංසදය පිහිට වූ චිත්‍රසේනයන් 1944 වසරේදී මෙරට ප්‍රථම නර්තන පාසල ආරම්භ කළේය.

කුමාර්ගේ ඡායාරූප දැක්මේ ආදායම යහපත් වැඩකට

මාධ්‍යවේදී කුමාර් ද සිල්වාගේ කළු සුදු ඡායාරූප ඇතුළත් The Streets of Paris (පැරීසියේ වීදි) ඡායාරූප ප්‍රදර්ශනය ලබන 11 සහ 12 යන දෙදින පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී නොමිලයේ පැවැත්වේ. 2015 ප්‍රංශ වසන්ත උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය හා ඇලියොන් ෆ්‍රොන්සෙස් ද කෝට්ටේ ආයතනය එක්ව ඉදිරිපත් කෙරේ.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප අලෙවියෙන් ලැබෙන සියලු මුදල් ද නේෂන් සහ රිවිර පුවත්පත්හි සේවයේ නියුතුව සිටි අභාවප්‍රාප්ත සම්මානලාභි ඡායාරූප ශිල්පී රුක්ෂාන් අබේවංශගේ දරුවන් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන අරමුදලට බැර කෙරේ. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගිවීමට නියමිතය.

කුමාර් ද සිල්වා ප්‍රංශය සමඟ වසර 30ක් මුළුල්ලේ ඉතා සමීපව කටයුතු කළ අයෙකි. ප්‍රංශ සංස්කෘතික උරුමය පෝෂණය කිරීම හා ඒ පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමෙහිලා ඔහුගේ දායකත්වය අගයමින් ප්‍රංශ රජය විසින් ඔහුට Chevalier in the order of arts and letters යන ගෞරව සම්මානයද ප්‍රදානය කර ඇත.

හැඩවර මංගල්‍ය 11දා

නිර්මාණශිලී දූ දරුවන්ගේ එකමුතුව සිසුමිණි පවුර ඉදිරිපත් කරන ‘හැඩවර මංගල්‍ය’ ලබන 11 වැනිදා පස්වරු 2.00ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

මේ සඳහා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි පාසල් අතරින් තෝරා ගත් ගායන කුසලතා සහිත දරුවන් තුන්සියයක් සහ වාදන හැකියාව ඇති දරුවන් සිය දෙනෙක් සහභාගි වෙති. ඔවුන් වෙනුවෙන් නිර්මාණය කළ නව ගීත දෙසියයක්ද මෙහිදී එළි දැක්වීමට කටයුතු යොදා ඇත. දරුවන් තෝරා ගැනීම හා නව ගීත නිර්මාණය ප්‍රවීණ සංගීවේදි ජගත් වික්‍රමසිංහ ඇතුළු ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.

පාසල් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගනිමින් ඔවුන් එකමුතු කරන සිසුමිණි පවුර රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සමඟ එක්ව ‘ආදරණිය පාසල’ නමින් වැඩසටහනක්ද සෑම සිකුරාදාවකම රාත්‍රි 7.00 සිට 8.00 දක්වා විකාශය කෙරේ.

ගින්දර වැඩ අරඹයි

නිශාන්ත රත්නායක අධ්‍යක්ෂණය කරන ගින්දර සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා රාගම දී ආරම්භ විය. මගෝ ඩිගෝ ඩයි සහ කිව්වද නහී නොකිව්වද නහී යන සිනමාපට තිර රචනා කළ ගාමිණී මෙන්ඩිස් ගේ පිටපතකට අනුව නිර්මාණය වන මෙය කුඩා ළමයකු පැහැර ගැනීමක් වටා ගෙතුණු කතා පුවතකි.

බුද්ධදාස විතානාච්චි, මිලින්ද පෙරේරා, මනෝහාරි විමලතුංග, කිරුළපන රංජිත්, ධනංජනී බණ්ඩාර, සම්පත් චමින්ද, ගාමිණී මෙන්ඩිස්, පියතිලක ලුණුවිල, දිමුතු චාමර, නිරෝෂන් තිලකරත්න, සඳුන් අසංක, හෙන්රි ලෙනාඩ්, මාලන් චමින්ද, නිපුන් සංකල්ප, සනුනි නුලාරා ගින්දර හි නළු නිළියන් පිරිවරයි.

නෙවින්ද ජයසේන කැමරාව මෙහෙයවයි. සිරිනාථ වික්‍රමසිංහගේ අංග රචනයකි. ඩිල්ෂාන් තමිල් සංගීත අධ්‍යක්ෂවරයාය. නෙවිල් ප්‍රනාන්දු සටන් අධ්‍යක්ෂණයෙන් දායක වෙති.

ගින්දර ගාමිණී මෙන්ඩිස්ගේ නිෂ්පාදනයකි.

සවනට ගී මධු  මෙවර සිනමා අර්බුදය ගැන

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරු මේ මස 12 වැනිදා රාත්‍රී 9.00ට සියත ටී.වී. ඔස්සේ පැවැත්වෙන ‘සවනට ගී මධු ’ සිනමා විචිත්‍රාංගයට එක්වෙති. නිවේදක ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙය වන මේ වැඩසටහනේ ‘ සලරූ ප්‍රති රූ’ විශේෂාංගයෙන් මෙවර කතාබහට ලක් වන්නේ සුනිල් වීරසිරිගේ ‘වීර්යා චිත්‍රපටය පිළිබඳයි. චිත්‍රපටය නැරැඹීමෙන් අනතුරුව ඇමැතිවරුන් ඒ පිළබඳ දක්වන අදහස් හා සිනමා කර්මාන්තයේ අර්බුදය විසුමට ලක් කෙරෙයි. කලාසූරී සතිස්චන්ද්‍ර, ශ්‍රියානි අමරසේන, මහාචාර්ය සනත් නන්දසිරි, සරණපාල ජයසූරිය හා ජගත් චමිල මෙහිදී අදහස් දක්වති.

එදවස සොඳුරුමය 2 ආයෙමත්

2014 වසරේ පැවැති සාහිත්‍ය මාසයේ දී ෆාස්ට් පබ්ලිෂ් ආයතනයේ සුරස පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ බුද්ධදාස ගලපත්තිගේ ‘එදවස සොඳුරුමය 2’ තීරු ලිපි සංග්‍රහය දෙවැනි මුද්‍රණයක් ලෙසින් පසුගිය දිනවල එළි දැක්විණ.

මේ ග්‍රන්ථ මාලාවේ පළමු සංග්‍රහය සඳහා ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ පළමුවරට හඳුන්වා දුන් වසරේ හොඳම තීරු ලිපි සංග්‍රහයට පිරි නැමෙන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ අනුස්මරණ සම්මානය හිමි විය. දැනුම මෙන්ම අතීත ස්මරණ පිළිබඳ වින්දනාත්මක කියැවීමක්ද සහිත මේ තීරු ලිපි කියැවීමට බොහෝ පාඨකයන් කැමැති බව පෙන්වන්නකි. මෙවර සාහිත්‍ය මාසයේ දී එදවස සොඳුරුමය 3 කෘතියද ප්‍රකාශයට පත්වීමට නියමිතය.

කළුවර අඩවිය එළියට එයි

ගාමිණී පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද ‘කළුවර අඩවිය’ ටෙලි නාට්‍යය රැගත් ඩී.වී.ඩී.පටය ටොරානා වෙතින් ඔබට පිදෙයි.

එහි ශ්‍රියානි අමරසේන, ජයසේකර අපොන්සු, ලින්ටන් සේමගේ, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, සිතා කුමාරි, චානක ලන්කානන්ද, ප්‍රියන්ති විජය ගුණසේකර යන ප්‍රවීණ නළු නිළියෝ රැසක් රඟපාති. සංස්කරණයෙන් ඩී. බී. චානක ද සිල්වාත්, නිෂ්පාදනයෙන් ජී. මාම්පිටියත් සහය වෙති.