වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සජීවකරණ ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපටය Inside Out

සජීවකරණ ඉතිහාසයේ විශිෂ්ටතම චිත්‍රපටය Inside Out
 

අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්

මිනිසා සත්ත්ව ලෝකයේ සිටිනා බුද්ධිමත්ම ජීවියා ලෙසින් නම් දරා සිටියි. මිනිසාට අනෙකුත් සතුන් අතරේ ඉදිරියෙන් සිටීමට විශේෂත්වයක් ලබන්නට හේතුවූයේ ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය යි. වර්තමානය වන විට මිනිසා සිටින තැන දෙස බැලුවහොත් ඒ සියල්ල සිදු වී ඇත්තේද මනසේ අපූරු මෙහෙයවීම් ක්‍රියාවලිය අනුව බව පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය නොවේ. මනස යනු අපූරු නිර්මාණයකි.

සිතුවිලි ජනිත කිරීම, හැඟීම් ඇති කිරීම, ස්මරණය, සංවේදී ඉන්ද්‍රයන් මඟින් අවට ලෝකය ග්‍රහණය කර ගැනීම, යමක් සිතාමතා කිරීම හෝ නොකිරීම වැනි කාර්යයන් සිදුවන්නේ මනසේ ක්‍රියාකාරීත්වය අනුවය. මේ තත්ත්වය මිනිසා නම් වූ ජිවීයා සතු විශේෂත්වය යි. ඒ නිසාම මිනිසා ලොව අනෙකුත් ජීවින් අතරේ ප්‍රමුඛයා බවට පත්ව සිටියි. මිනිසාට මනසක් නොතිබුණේ නම් කටයුතු කෙලෙස සිදු වේවිද ?

සිනමාවෙන් මනසේ ක්‍රියාකාරීත්වය කතා කිරීම අපට තරමක් නුහුරු අත්දැකීමක් වන්නේය. මනස ක්‍රියා කරන ආකාරය කතා කරන්නට එක් වූයේ සාර්ථක සිනමා අධ්‍යක්ෂවරුන් යුවළක් වන පීට් ඩොක්ටර් සහ රොනී ඩි කාමෙන්. එය නම් සිනමාවේ අපූරුතම නිර්මාණයකි. ඔවුන් එය රචනා කළේ එකොළොස් වියැති දැරිවියකගේ ජීවිතය මූලික කරගෙනය. පීට් සහ රොනීගේම අධ්‍යක්ෂණයක් ලෙසින් දැන් එය රිදී තිරයේ දිග හැරී ඇත. පසුගිය ජූනි මස ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹි Inside Out (ඉන්සයිඩ් අවුට්) පික්සර් සජීවකරණ චිත්‍රාගාරය විසින් නිෂ්පාදනය කර වෝල්ට් ඩිස්නි බෙදාහරිනු ලබන ලොකු කුඩා කාටත් නවමු අත්දැකීමක් ගෙන දෙන එම චිත්‍රපටයයි.

“ග්‍රාමීය පරිසරයක හැදී වැඩුනු රයිලි ඇන්ඩර්සන් නම් දැරිය ඇයගේ දෙමාපියන් විසින් එම ගැමි පරිසරයෙන් ඉවත් කර සැන් ෆ්‍රැන්සිස්කෝහි නාගරික ජීවිතයට රැගෙන එයි. ඇය සතුව සතුට, බිය, ලැජ්ජාව, කේන්තිය හා දුක යන සියලු හැඟීම් ඇත. චිත්‍රපටයේදී මෙම හැඟීම් රිලීගේ උඩුසිතෙහි ජීවත් වන අතර ඔවුන් විසින් රිලීගේ ක්‍රියාවන් සහ සියලු මතකයන් පාලනය කරනු ලබයි. රිලී ගමෙන් නගරයට පැමිණීම නිසා පත් වූ අපහසුතාවයට මුහුණදීමට ඇයට ධෛර්යය සපයන්නේ ‘සතුට’යි. කෙසේ නමුත් මෙම පෙරළියෙන් ඇති වූ මානසික ආතතිය ‘දුක’ රැගෙන එයි. ‘සතුට‘ හා ‘දුක’ අතර ඇති වන අරගලය ඔවුන් දෙදෙනා රිලීගේ මනස ඇතට රැගෙන යයි. මේ අතර රිලීගේ උඩු සිතේ රැඳී සිටින්නේ කේන්තිය, බිය හා ලැජ්ජාව පමණකි”.

කුඩා ගැහැණු ළමයෙකුගේ හැඟීම් මෙම සිනමා නිර්මාණය තුළ දී පණ ඇති පුද්ගලයන් ලෙසින් නිර්මාණය කර තිබේ. එය ඔවුන්ගේ හැළහැප්පීම්, හාස්‍ය සහ ත්‍රාසය සපිරි අත්දැකීම් ඔස්සේ ගලා ගෙන යයි. එය සිනමාව ලද පෙර නොවූවිරූ අත්දැකීමක් ගෙන එන්නක් බව විචාරක මතයයි. ඉන්සයිඩ් අවුට් අධ්‍යක්ෂණය කළ පීට් ඩොක්ටර් සහ රොනී ඩි මෙල් පරිගණක සජීවකරණ චිත්‍රපට ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් ඇති චිත්‍රපට අධ්‍යක්ෂවරුන් යුවළකි.

ඇමී පෝලර්, පිලිස් ස්මිත්, රිචඩ් කයින්ඩ්, බිල් හේඩර්, ලෙවිස් බ්ලැක් ඇතුළු පිරිසක් මේ වෙනුවෙන් හඬ දායකත්වය ලබා දෙකි. සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂ මයිකල් ජියාචිනෝගේ සංගීතයෙන් ඔපවැටී ඇති ඉන්සයිඩ් අවුට් විනාඩි 94ක් පුරා 3D තාක්ෂණයෙන් ලොවපුරා ප්‍රදර්ශනය ඇරඹී මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 282ක ආදායමක් ලබා ඇත. චිත්‍රපයේ පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 175ක් විය.

ඉන්සයිඩ් අවුට් සාර්ථක ප්‍රතිචාර ලබා ඇති බව ඔප්පු කර තිබේ. එය IMDB දර්ශකයේ ලකුණු 10න් 8.8ක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස්හි සියයට 98ක් සහ මෙටා ක්‍රිටික්හි සියයට 93ක් වැනි වූ විශිෂ්ට ඇගයීම්වලට ලක්ව සිටියි. ඉන්සයිඩ් අවුට් පික්සර් සජීවකරණ චිත්‍රාගාරය විසින් මේ දක්වා නිර්මාණය කළ සමාජයට විශාල බලපෑමක් ඇති කරන නිර්මාණයක් ලෙසින් විචාරක ප්‍රශංසාවට ලක්ව සිටියි.

තවත් අයකුගේ අදහස නම් මෙම චිත්‍රපටය පික්සර් සහ ඩිස්නි සමාගම් සිය ජනප්‍රියභාවය ඉහළ නංවා ගැනීමට සහ ආකර්ශනය වෙනුවෙන් කළ අලුත්ම නිර්මාණය බවයි. මෙම චිත්‍රපටයෙන් පසු මිනිසාත්, මිනිසුන් සිතන ආකාරයක් වෙනස් කරනු ඇති බව තවත් අයෙකුගේ විශ්වාසය යි. පික්සර් සජීවකරණ චිත්‍රාගාරයේ පහළොස් වැනි නිර්මාණය ලෙසින් එළි දුටු ඉන්සයිඩ් අවුට් සජීවකරණ චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල පියවරක් ලෙස සඳහන් හැකිය. ඔස්කාර් සම්මාන පිළිබඳ බලාපොරොත්තු තබා ඇති එය සජීවකරණයේ නිම් වළලු පුළුල් කරනු ඇත.