වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මේක එක් අයකුට අයිති ව්‍යාපාරයක් නොවේ

මේක එක් අයකුට අයිති ව්‍යාපාරයක් නොවේ
 

ඩී.වී.ඩී ව්‍යාපාරය ගැන රුක්මන් සමන්ප්‍රිය සමඟ කතාබහක්

ඔබ කැමැති චිත්‍රපටයක්, ඔබ කැමැති වේලාවක, ඔබට රිසි පරිදි නැරඹීමේ මහඟු අවස්ථාව දැන් ඔබට උදා වී තිබේ. ඒ සිනමාව අද ඔබේ නිවසට සංක්‍රමණය වී ඇති බැවිනි. සංගත රූ තැටි නොඑසේ නම් D.V.D. මාධ්‍යය ඔස්සේ කිසිවකුගේ අනසකට යට නොවී දැන් ඔබට එකී කාර්යයේ නිරත විය හැක්කේ එම තාක්ෂණයට පින් සිදුවන්නටය. ඊයේ පෙරේදා ඔබේ සිනමාහලෙන් ගැලවුණ, ඔබට නැරඹීමට නොහැකි වූ සිනමාපටය ඔබේ නිවසට වී නිවිහැනහිල්ලේ නැරඹීම දැන් කජු කනවාටත් වඩා ලෙහෙසි, පහසු කාර්යයකි.

මේ වන විට සිංහල චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් D.V.D.  මාර්ගයෙන් ප්‍රේක්ෂකයා වෙත ලබා දී ඇත්තේ 'නිම්සර' එන්ටර්ටේන්මන්ට් සහ 'හිරුණ' හෝම් වීඩියෝ වෙතිනි. එහි නියමුවා අයි. එල්. රුක්මන් සමන්ප්‍රියයි. මේ ඔහු 'සරසවිය' හා එක් වූ මොහොතකි.

අද ඔබ මුල් පෙළේ D.V.D. නිෂ්පාදකයෙක් විදිහට කටයුතු කරනවා. අපට කියන්න කොහොමද මුලින්ම ඔබ මේ කාර්යයට යොමු වුණේ කියලා?

මුලින්ම නිශාන්ත කියලා මගේ මිත්‍රයෙක් එක්ක බොහොම සුළුවෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඔහු මට ගොඩක් උදව් කළා. මොකද මට ලොකු ආශාවක්, උනන්දුවක් තිබුණා මේ ක්ෂේත්‍රය ගැන. මුලින්ම මම මිලදී ගත්ත චිත්‍රපටය 'රජ වංශෙන් එකෙක්'. ඇත්තටම මේ ව්‍යාපාරයේ ඒ වෙනකොට තවත් අය යෙදිලා හිටියා. එතන යම් විදිහක ඒකාධිකාරයකුත් තිබුණා.

ඉතින් ඒ වගේ ව්‍යාපාරයකට අත ගහන එක අවදානමක් කියලා ඔබට හිතුණේ නැතිද?

එහෙම අවදානමක් හිතුණේ නෑ. යමක් කරන්න හිතුණොත් කොහොම හරි ඒක කරන පුරුද්දක් මගේ තිබුණා එදා ඉඳලම. ඒ නිසා මේ වැඩේ පටන් ගත්තා. මුල්ම චිත්‍රපටය මම මිලදී ගත්තේ අඩු මුදලකට. ඒකෙන් ලාභයක් ලැබුණා. එනිසා මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න ඕනෑයි කියලා හිතුණා.

මේ වෙන කොට ඔබ කොපමණ D.V.D. සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවාද?

මම හිතන්නේ සිංහල චිත්‍රපට සියයකට වැඩි ප්‍රමාණයක්.

ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබපු චිත්‍රපට පවා ඔබ සිනමාහල්වලින් ඉවත් කළ වහාම වෙළෙඳපොලට මුදා හරිනවා. එහෙම චිත්‍රපටවලට D.V.D.  වෙළෙඳ පොලේ ඉල්ලුමක් තියෙනවාද?

දැන් මෙතෙක් මම වෙළෙඳපොලට නිකුත් කළ චිත්‍රපට අතරින් ඉහළම ඉල්ලුමක් තිබුණේ 'සිරිපැරකුම්' චිත්‍රපටයට. 'සිරිපැරකුම්' සිනමාහලේ නරඹපු අය D.V.D.  එකත් ගත්තා. චිත්‍රපටයක් නොබලපු අය විතරක් නෙවෙයි D.V.D. ගන්නේ. මේ වෙළෙඳපොල නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදිහට. 'සිරිපැරකුම්' මේ වෙනකොට පිටපත් ලක්ෂ දෙකහමාරක් විතර අලෙවි වෙලා තියෙනවා.

එන හැම චිත්‍රපටයක්ම ඔබ මිලදී ගන්නේ නැහැනේ. කොහොමද ඒ තෝරා ගැනීම කරන්නේ?

චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය තමයි ඒ තෝරා ගැනීමට මුල් වෙන සාධකය. ඇත්තම කිව්වොත් පසුගිය කාලේ වැඩි ඉල්ලුමක් තිබුණේ ඉතිහාස රැල්ලේ' චිත්‍රපටවලට. ඒ වගේම ළමා චිත්‍රපටවලට. 'අබා' චිත්‍රපටය පවා මිලදී ගත්තේ මම. එතකොට 'සිරිපැරකුම්' ඉතිහාස රැල්ලේ චිත්‍රපටයක් වගේම ළමයින්ටත් ඔබින චිත්‍රපටයක්.

සෝමරත්න දිසානායකගේ සියලුම චිත්‍රපට මිලදී ගත්තේ ඔබ?

ඔව්. ඇත්තටම ඔවුන් ඒ සඳහා මට අවසර දුන්නා. සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය යුවළ මම කලින් හඳුනාගෙන හිටියේ නෑ. මම කෙළින්ම ඔවුන් හමු වී කතාබහ කළා. ඔවුන් ඉතාමත් සුහදශීලීව මා පිළි අරගෙන එම චිත්‍රපටවල නීත්‍යානුකූල අවසරය මට ලබා දුන්නා.

ඉතිහාස කතා රැල්ල ඉවරයි කියලා අද සමහරු කියනවා?

මම අලුතින්ම වෙළෙඳපොලට මුදා හැරිය චිත්‍රපටය තමයි 'මහරජ ගැමුණු'. මේ වෙන කොට එය ඉතා හොඳින් අලෙවි වෙනවා. මේ චිත්‍රපටයේ අලෙවිය නිසා මට නම් ඉතිහාස කතා රැල්ල බිඳ වැටිලා කියලා නිගමනනය කරන්න අමාරුයි. හැබැයි ඇතැම් ඉතිහාස රැල්ලේ චිත්‍රපට, ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප කළා කියලා මට හිතෙනවා.

ඔබ මේ ව්‍යාපාරයේ නියැළෙන්නේ නීත්‍යානුකුල ලෙස. නමුත් හොර C. D, D. V. D  ව්‍යාපාරය තවමත් සිදු වෙනවා. මේ හොර කල්ලි ඔබට අභියෝගයක් නෙවේද?

එහෙම වෙලා මම නීතියෙන් පවා කටයුතු කර තිබෙනවා. අපට යම් අසාධාරණයක් සිදු වුණාම ඒවා අපි පොලීසියට පැමිණිලි කරනවා. වැරදිකරුවන් අත් අඩංගුවට අරගෙනත් තියෙනවා. දැන් 'මහරජ ගැමුණු' අපට දෙවැනි වතාවට ලෝන්ච් කරන්න වුණා. මොකද ඒක හොරට ගහලා.

සමහර D.V.D අපි දකිනවා රූප පැහැදිලි නෑ. ශබ්දය දුර්වලයි. ඇතැම් ඉංග්‍රීසි චිත්‍රපටවල කැමරා කොපි පවා වෙළෙඳපොලේ තියෙනවා. දැන් 'නිම්සර' සහ 'හිරුණ' මුද්‍රාව යටතේ නිකුත්වන D.V.D නිසි ප්‍රමිතියකින් යුතු බවට ඔබට සහතික වෙන්න පුළුවන්ද?

ඔව්. මම වෙළෙඳපොලේ තිබෙන උසස් මට්ටමේ D.V.D.  වලට තමයි මේ චිත්‍රපට පිටපත් කරන්නේ. මගේ අරමුණ පේ‍්‍රක්ෂකයාට හොඳ පිටපතක් අලෙවි කිරීම. එසේ නොවුණහොත් මගේ ව්‍යාපාරය බිඳ වැටෙන බව මම දන්නවා. ඉහළ මුදලකට චිත්‍රපට මිලදී ගෙන ඒවා එහෙන් මෙහෙන් රයිට් කරලා ප්‍රේක්ෂකයෝ රවට්ටන්න මට අවශ්‍යය නෑ.

මේක හරියට වෙන්දේසියක් වගේ. චිත්‍රපට නිෂ්පාදකයන් වැඩිම ඉල්ලුම්කරුට තමයි තමන්ගේ චිත්‍රපටය අලෙවි කරන්නේ. එහෙම පසුබිමක සෙසු සිංහල චිත්‍රපට ච්. ඍ. ච් නිෂ්පාදකයන් අභිබවා පෙරමුණට එන්න ඔබට හැකි වෙලා තියෙනවා?

මේ ව්‍යාපාරයේ නියැලි එක් අයෙක් මට අභියෝගයක් තළා. ඒ අභියෝගය බාර අරගෙන ජයග්‍රහණය කරන්නයි මට තිබ්බේ. මේක එක් අයකුට විතරක් අයිති ව්‍යාපාරයක් නෙවෙයි. හැමෝම මේක බෙදා හදාගෙන කරනවා නම් මම කැමැතියි.

රුක්මන් කිව්වාම අද අපේ බොහෝ නිෂ්පාදක, අධ්‍යක්ෂවරු ඔබව හොඳින්ම දන්නවා. මේ ක්ෂේත්‍රය ඇතුලේ ගනුදෙනුවකට වඩා එහා ගිය හිතවත්කම් සම්බන්ධකම් ඔබට තිබෙනවා නේද?

සිනමාව මායාවක් වුණත් සුන්දර තැනක් කියලා මට හිතෙනවා. ඇත්තටම බොහෝ නිෂ්පාදක, අධ්‍යක්ෂවරු මගේ හිතවත්තු. සමහරු මගෙත් එක්ක අතිශයෙන් සමීපයි. මමත් එහෙමයි. එතන තියෙන්නේ හුදු ගනුදෙනුවකට වඩා එහා ගිය මානුෂීය හැඟීමක්. කොහොමත් මම නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් එක්ක ගනුදෙනු කරන්නේ එතනින් නවතින්න නෙවෙයි. ඊළඟ නිර්මාණයටත් සම්බන්ධ වෙන්න.

චිත්‍රපටයක් සඳහා මිල නියම කරන්නේ කවුද?

නිෂ්පාදකයා යම් මිලක් නියම කළාම මමත් ඔෆර් එකක් දෙනවා. දෙන්නගේ ගැලපීමත් එක්ක තමයි ගනුදනුව සාර්ථක වෙන්නේ.

'කිං කොකනට්' නමින් ඔබ හෝම් වීඩියෝ පටයකුත් නිෂ්පාදනය කළා. බොහෝ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂවරු ඊට විරුද්ධයි. එය බාල වැඩක් විදිහටයි ඔවුන් අර්ථ දක්වන්නේ?

ඇත්තටම මම ආයේ හෝම් වීඩියෝ නිෂ්පාදනය කරන්නේ නැහැ කියන තීරණයට එලඹුණා.

හේතුව?

මම හිතන්නේ චිත්‍රපටයකට වඩා ඒකෙ කොලිටිය බාලයි. අපි උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් ලබා දෙන්න.

සමහර විදෙස් චිත්‍රපට තුන හතර එක ච්. ඍ. ච් පටයේ තියෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ට එහෙම සහනයක් ලබා දෙන්න ඔබ සූදානම් නැද්ද?

චිත්‍රපට කිහිපයක් එක D.V.D.එකක අඩංගු කර වෙළෙඳපොලට එක් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා.

මහජන ප්‍රදර්ශනයෙන් කොපමණ කාලෙකට පසුවද ඔබට චිත්‍රපටයක් D.V.D මඟින් වෙළෙඳපොලට නිකුත් කරන්න අවසර ලැබෙන්නේ?

හෝල්වලින් ඉවත් කළ විගසම අපට ඒ චිත්‍රපටය වෙළෙඳපොලට යවන්න අවසර ලැබෙනවා නම් අපි ඊට වැඩිපුර මුදලක් ගෙවනවා. ඒ කියන්නේ අලුත් පිට. කාලය වැඩි වුණොත් අපි ගෙවන මුදල අඩුයි. සාමාන්‍යයෙන් අපි ඇග්‍රිමන්ට් සයින් කරන්නේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භයේ සිට දින එකසිය විස්සකට පසුව එය අපට අයිති වන විදිහටයි.

මේ වෙන කොට වැඩිම මුදලක් ගෙවා චිත්‍රපටයක් මිලට ගෙන තිබෙන්නේ ඔබ?

ඔව්. ඒ 'ප්‍රවේගය' චිත්‍රපටය. D.V.D. ඉතිහාසයේ වැඩිම මිලක් මේ වෙනකොට ගෙවූ චිත්‍රපටය මම හිතන්නේ 'ප්‍රවේගය'යි. එය අති දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ, අදටත් නරඹන චිත්‍රපටයක් බවට පත්ව තිබෙනවා.

මේ වෙනකොට 'බ්ලූරේ' නැමැති තාක්ෂණය පවා සිනමාවට ඇවිත් තිබෙනවා. එය ඉදිරියේ ච්. ඍ. ච් තාක්ෂණයට අභියෝගයක් විය හැකියි?

අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්. ඒ නිසා ලබන වසරේ සිට අපි D.V.D. සියල්ල 'බ්ලූරේ' තාක්ෂණයට හරවන්න කටයුතු කරනවා.