වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




කකුල කැඩුණ නිසා මොලේ පෑදුණා

කකුල කැඩුණ නිසා මොලේ පෑදුණා
 

චතුර පෙරේරා
 

එදා සිංහල සිනමාවේ ප්‍රහසනාත්මක රංගනයෙන් මෙන්ම ගායනයෙන් ජනාදරය දිනූ රංග ශිල්පියෙකු වූ එල්. එම්. පෙරේරාගේ පුතෙකු වූ චතුර පෙරේරා පසුගියදා අනතුරකට මුහුණ දුන් වග ආරංචියට අපි ගියා ඔහු පදිංචි 134/14, සමනල පෙදෙස, මත්තෙගොඩ ලිපිනය සඳහන් නිවහන සොයාගෙන. ලැබුණු ආරංචිය සත්‍යයකි. චතුර සැබෑවටම අනතුරකට පත් වෙලාය. කිහිලිකරු වාරුවෙන් එහෙට මෙහෙට පැන පැන ඇවිද යන චතුර අපත් සමඟ කතාබහට හරිබරි ගැහුණේ වෙලුම් පටි මඟින් ඔතා ඇති කකුල අසල තිබුණු පුටුවක් මත තබමිනි.

මේකත් අර චිත්‍රපටවල ජෝක් එකක්ද එහෙමත් නැත්නම් රිහසල් එකක් ද? මම එහෙම ඇහුවේ කතාබහටත් මුල පුරන්නත් එක්ක.

මේ වගේ ඕනෑ තරම් චිත්‍රපටවල කළා. හැබැයි මේක නම් මට හැබැවටම වුණා.

කොහොමද ඔය අනතුර සිද්ධ වුණේ?

මැයි මාසේ දහ අට වෙනිදා ජිනදාස පෙරේරාගේ පිස්සු පූසෝ වේදිකා නාට්‍යයේ රිහසල් එකක් කළා මත්තෙගොඩ හෝල් එකක. එදාට මීඩියාවලට පින්තූර දෙන්නත් නාට්‍යයේ රිහසල් එකේදි පින්තූර ගත්තා. ඊට පස්සේ නාට්‍යයේ කට්ටියම මගේ ගෙදර ආවා. ඒ ඇවිත් ඉතිං නිකං හිටියේ නෑ. කට්ටිය සෙට් වුණා. ඔය අතරේ රෑ බෝ වුණා. එදා තරමක් වැහි දවසක්. ඔය අතරේ මගේ යාළුවෙක් කාර් එකකින් අපේ ගෙදර ඇවිත් යන කොට මඟදී පැට්‍රල් නැති වෙලා මට කෝල් කළා. මම මගේ කාර් එකෙන් ගිහින් එයාට පැට්‍රල් අරන් යාළුවාගේ කාර් එකට දාන්න මම ටැංකිය තියෙන පැත්තට ගියා. ඒ වෙලාව රාත්‍රී අටට විතර ඇති.

ඒ එක්කම පාරේ තිබුණ බෝක්කුව කඩාගෙන මාව ඇතුළට ඇද වැටුණා. කොහොම හරි මම ආපහු කකුල ඉහළට ඇදල අරගෙන මගේ කාර් එකට ගොඩ වුනා. ඒ එක්කම මගේ කකුලේ සෙවල සෙවල ගතියක් මට දැනෙන්න වුණ නිසා මම බැලුවා. ඒ පාර කකුල පුරා ලේ. මම කාරෙක හරවගෙන කොට්ටාව නර්සින් හෝම් එකට ආවා බේත් දමා ගන්න. එතනදි දොස්තර බලල කිව්වා ඔයාගේ කකුලේ බල නහරය කැපිල ගිහින් තියෙන්නේ. ඉක්මනට ඉස්පිරිතාලේ යන්න කියලා. ඒ පාර මම යාළුවන්ට කෝල් කළා. එයාලත් ආවා. ඒ පාර මාව කළුබෝවිල රෝහලට ඇතුළත් කළා. ඉස්පිරිතාලෙන් මාව නතර කර ගත්තා විසි හතේ වාට්ටුවේ. පහුවෙනිදා මගේ කකුල ඔපරේෂන් කළා. සති තුනක් මම ඉස්පිරිතාලේ හිටියා. කොහොම හරි මගේ කකුලේ තුවාලයේ මැහුම් පැහැවලා ආයෙත් දෙවැනි පාරටත් මගේ කකුල ඔපරේෂන් කළා.

කකුලේ ආබාධය නිසාම නිර්මාණත් මඟ හැරෙන්න ඇති?

කල්‍යාණ චන්ද්‍රසේකරගේ මැද පොඩ්ඩක් පැත්තක් නෑ චිත්‍රපටයේ ෂූටින් කර කර තිබුණා ජාඇල. ත්‍රිෂූලදීප තඹවිටගේ අලුත් ටෙලි නාට්‍යයත් මට අතහරින්න සිද්ධ වුණා. රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ තව සිංදුවක් හා සීන් දෙකක් ගන්න තියෙනවා. උදයකාන්ත වර්ණසූරියගේ අලුත් චිත්‍රපටයේ රඟපාන්නත් බැරි වෙයි මේ තත්ත්වය නිසා.

ඔබ රගපෑ චිත්‍රපටත් තව තිරගත වෙන්නත් ඇති?

දිනේෂ් ප්‍රියසාද්ගේ ඔලුව ජපන් කඳ ජර්මන්, ලාල් ප්‍රියදේවගේ අන්දුන් කුන්දුන්, ත්‍රිෂූලදීප තඹවිටගේ මලයන්ඩි, සුනිල් ආරියරත්නගේ පත්තිනි.

සිනමාව පසෙක තබා ටෙලි නාට්‍යය පැත්තට ඔබ යොමු වුණේ ආරථික වාසිය කතාද?

මම ටෙලි නාට්‍ය කළේ තෝරා බේරාගෙන. බුද්ධික ජයරත්න තමයි මට ටෙලි නාට්‍ය පැත්ත ගැන අයිඩියා එක දැම්මේ. ෆිල්ම්වල තියෙන ජෝක්ස් නැතුව මේ විදියට ඇට් කරපන් කියලා බුද්ධික තමයි මට කිව්වේ. ඉටි මල්, ආදරී, දම්සාරි, තරුමල්, වාසුලිකන්ද ටෙලි නාට්‍යවල මම රඟපෑවා. තව ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා මම රඟපෑ.

කලා ජීවිතයටත් දැන් සෑහෙන කාලයක් ගත වෙලා?

සුනිල්සෝම පීරිස්ගේ ජූලි 27 කියන චිත්‍රපටයේ තමයි මම මුලින්ම රඟපෑවේ. මේ චිත්‍රපටය තිරගත වුණෙත් නැහැ. එදා මෙදාතුර මම චිත්‍රපට හැටක විතර චරිත රඟපාලා ඇති. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා සහ මේ ඊයේ පෙරේදා බිහි වූ අධ්‍යක්ෂවරයෙක් ඇරෙන්න අනෙක් සියලු දෙනාගේම පාහේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. ඉතා කුඩා දර්ශනයක් හරි මම චිත්‍රපටයක කරලා තියෙනවා.

බොහෝ දෙනෙක් ඔබ රංගන ක්ෂේත්‍රයේ කොමඩිකාරයෙක් ලෙස හඳුනාගෙන තිබුණත් ඔබ ස්ටන් ශිල්පියෙක් ලෙසින් සිංහල සිනමාවේ කැපී පෙනෙන චරිතයක් නේද?

ඒ ගැන සමහරු දන්නවා. සමහරු නොදන්නවා මම ටෙඩී විද්‍යාලංකාර යටතේ තමයි ස්ටන්ට් ශිල්පියෙක් ලෙස වැඩ කරන්නේ. මම ටිකක් වාහනවල වැඩ දාන්න දන්නවා. ටයිමින් වලට හරියට වැඩේ කරන්න පුළුවන් පොරක් කියලා ටෙඩී මාව හඳුනගෙන තියෙනවා. මමත් කෙස් ගහට ඒ වැඩේ කරනවා. අලිමංකඩ චිත්‍රපටයේ අඩි 150 ක් පහළට ජීප් එක පෙරලන්නේ මම. ඔය වගේ ත්‍රාසජනක වැඩත් මේ ජෝකර් සිනමාවේ කරලා තියෙනවා, කරමිනුත් ඉන්නවා.

මේ දවස්වල ප්‍රසංග වේදිකාවෙනුත් ඔබ ඈත් වෙලාද?

කකුලේ ආබාධය කියලා නිකන් ඉන්නත් බෑ. ආර්ථික ප්‍රශ්නත් තියෙනවා. කලින් භාරගෙන තිබුණ මියුසිකල් ෂෝ එකකට මැණික්හින්නේ ගියා. යාළුවෙක් තමයි මාව එක්ක ගියේ. කිහිලිකරු දෙකෙන් ස්ටේජ් නැග්ගා. සිංදුත් කිව්වා. ප්‍රතිචාරත් ලැබුණා. අතට මුදලුත් ලැබුණා. මුලින්ම සිංදුත් කිව්වා. චියර් එක වැඩි වෙන කොට කකුල අමතක වුණා. මාත් සිංදු කියමින් ඇඟ හෙලෙව්වා පුරද්දට. ගෙදර ආවා. කකුලේ අමාරුව වැඩි වුණා. දවස් තුනක් එක තැන විඳවන්න වුණා.

ප්‍රසංග වේදිකාවේ ඔබේ හඬින් ඇහන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ ගීත නේද?

ෆ්‍රෙඩී සිල්වාගේ පුත් ජනේෂ් සිල්වාත් මමත් තමයි එදා ප්‍රසංග වේදිකවේ වැඩියෙන් ගීත කිව්වේ. ජනේෂ් ජීවිතයෙන් සමුගත්තට පස්සේ ජනේෂ්ගේ බිරිය මාලා අක්කා මට ෆ්‍රෙඩීගේ ගීත ප්‍රසංග වේදිකාවේ කියන්න කියලා අවසරය දුන්නා.

ඇයි ඔබේම ගීත ගායනා නොකරන්නේ?

කසාදයක් බඳිමු කියා ගෙදරින් මට කිව්ව නිසා . . . සුරලෝකේ නේදෝ අපි ඉන්නේ මේ යාමේ . . . කියන ගීත දෙක මමත් ජනේෂ් අපි දෙන්නම තමයි ප්‍රසංග වේදිකාවේදී කිව්වේ. දැන් මේ ගීත කිව්ව ඔරිජිනල් එක මනුස්සයෙක් ජීවතුන් අතර නැහැ. ජනේෂ් නැතුව මට ඒක තනියෙන් කියන්න බැහැ. සිංදුවේ හෙවි එක තිබුණේ ජනේෂ් ළඟ. කවුරු හරි මේ ගීත කියන්න කියලා මට කිව්වොත් මම ඒ ඉල්ලීමට පද පේලි දෙකක් කියලා සිංදුව නතර කරනවා ජනේෂ්ට ගරු කිරීමක් ලෙස.

අඩුම තරමින් ඔබේ පියා එල්. එම්. පෙරේරාගේ ගීතවත් ඔබට කියන්න පුළුවන්නේ. පිය උරුමයේ අයිති ඔබටනේ?

තාත්තා කිව්ව සිංදු තිස් ගාණක් තියෙනවා. ඒ අතරින් මම පාගල යාමුකො හැටේ . . ., ඩාලිං මයි ලව් . . ., තනිකඩයා මම තනිකඩයා . . . කියන ගීත ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා.

ෆ්‍රෙඩී සිල්වාගේ ගීත අතරින් ඔබ ප්‍රසංග වේදිකාව රසවත් කරන්නේ මොන ගීතවලින්ද?

දවසක් දා කකුළුවා..., පාන් කිරිත්තා..., ජිගිරි ජගරි හඬවලා..., පරණ කෝට්..., ආරොන් මාමා..., ආරුන්ගේ මල්ලි බහරුන්....

ප්‍රසංග වේදිකවේ රසිකයෝ ඔබෙන් ඉල්ලන්නේ ෆ්‍රෙඩීගේ ගීත ද, එල්. එම්. පෙරේරාගේ ගීතද?

දෙන්නගෙන් කොයි එක් කෙනාගෙද ඉල්ලන්නේ මම ඉල්ලන කෙනාගේ සිංදුව දෙනවා.

ඔබත් පියාගේ නාමයෙන් කලාවේ රැඳෙන කෙනෙක්ද?

අපෝ නැහැ මම තාත්තාව විකුණගෙන කන පුතෙක් නොවෙයි. ප්‍රසංග වේදිකාවෙක වුණත් එල්. එම්. පෙරේරාගේ පුත් චතුර පෙරේරා කියලා හඳුන්වනවට මම කැමැති නැහැ. මම කියලා තියෙනවා චතුර පෙරේරා කියලා කිව්වහම ඇති කියලා. කවදාවත් චතුර පෙරේරාට එල්. එම්. පෙරේරා කෙනෙක් වෙන්න බැහැ. තාත්තා කියන්නේ වටිනා පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අහලකටවත් මාව තියන්න බැහැ. තාත්තාව ආශිර්වාද කරගෙන චතුර පෙරේරා කෙනෙක් වැජඹෙන්න මට ඕනෑ නැහැ, මගේ දක්ෂකමින් මම චතුර පෙරේරා කෙනෙක් වෙනවා මිසක්. ඒකයි මගේ ප්‍රතිපත්තිය.

ප්‍රහසනාත්මක රංගන ශිල්පීන්ගේ අඩුවක් අද අපට තියනවා නේද?

ප්‍රහසනය කියන දේ රඟපෑවා කියලා හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ඇඟ ඇතුලෙන්ම එන්න ඕනෑ දෙයක්. මම මේ දවස්වල ගෝලයෙක් හදාගෙන යනවා බිංදු බෝතලගම. මට ඕනෑ බන්දු කෙනෙක් නොවෙයි බිංදු කෙනෙක්. මම බිංදුට කියන්නෙත් උඹ බන්දු නොවී බිංදු වෙයන් කියලා. හැඩහුරුකම එක වගේ කියලා තාත්තගේ පුතා කියලා මේ වැඩේ හරියට කරන්න බැහැ කාට වුණත් හැකියාව ඇඟේ නැත්නම්.

අද ඩී. වී. ඩී. චිත්‍රපටවලට තියෙන්නේ විශාල ඉල්ලුමක් නේද?

ගිහාන් රවීන්ද්‍ර, චන්දන සමරවික්‍රම මේ ඩී. වී. ඩී. බිස්නස් එක හොඳට කරනවා. පුදුම ඩී. වී. ඩී මාකට් එකක් තියෙන්නේ. පහුගිය අප්‍රේල්වල විතරක් ඩී. වී. ඩී හැටක් විතර මම බැලුවා. ඒවායින් පහළොවක විතර මම හිටියා. මේක අපිටත් හොඳයි. අපි වගේ පොඩි නළුවො විතරක් නෙමේ, ටෙනිසන් කුරේ, බන්දු සමරසිංහ වගේ ලොකු නළුවොත් මේවායේ රඟපානවා.

ඔය චිත්‍රපටවල හරයක් තියෙනවාද?

හරයක් තියෙන නිසානේ මිනිස්සු බලන්නේ. ඩී. වී. ඩී. නිෂ්පාදනය වෙන්නේ. මේව කරන්න ගොඩක් අලුත් අය කතා කරනවා, අයියේ වැඩක් තියෙනවා. පොඩි කතාවකුත් තියෙනවා. අපිට පොඩි පන්ච් එකක් දෙන්න කියලා. වැඩේට යන කොට ස්ක්‍රිප්ට් එකක්වත් නැහැ. මේ වගේ වැඩක මගේ ගාණ දවසට රුපියල් පහලොස් දහසයි. රඟපාන අපට තෘප්තියක් නැහැ. අතට ලැබෙන මුදල තමයි වැදගත්. අවශ්‍ය කෙනා එක්ක කතා කරන කොට අපිට බේස් එක මොකක් ද කියලා වැටහෙනවා. ස්ක්‍රිප්ට් නැති චිත්‍රපටයේ අපිම කතාව හදලා රඟපානවා. හුඟක් ඒවායේ නිෂ්පාදකත් අධ්‍යක්ෂකත් එක්කෙනාමයි. බලපුවහම ඌ ඒක කරලා තියෙන්නේ කෙල්ල එක්ක මේන් රෝල් එක ඌ රඟපාන්න.

මේ වගේ දේවල්වලින් කලාව අගාධයකට වැටෙන්නේ නැද්ද?

සීන් පහස් හතයි, දවස් දෙකයි, කැමරා දෙකයි. ෂූටින් ඉවරයි. හිතාගන්නකෝ නිර්මාණ කෙරුවාව. මට තනියෙන් කලාව හදන්න බැහැ. මට ගෙදර හදාගන්න තියෙනවා. මගේ දරු පවුල ජීවත් කරවන්න තියෙනවා. මගේ ගාණ මට ලැබෙනවා නම් ඒක තමයි මගේ පැවැත්ම. මම මොනවායේ රඟපෑවා කියලාවත් ඉහළ ගියෙත් නැහැ, පහළ ගියෙත් නැහැ. මැද මාවතේ චතුර පෙර්රා හිටියා එදා වගේම අදත්.

හාස්‍ය චරිත තුළ ඔබ නියැලී ඉන්න ද අපේක්ෂාව?

හාස්‍ය කියන්නේ, උපහාසය කියන්නේ මොකක්ද කියලා මම හොඳට තේරුම් ගත්තා. කුණුහරුප අනිත් පැත්ත හරවලා හිනස්සන පහත් පෙළේ තුට්ටු දෙකේ කොමඩි මම ළඟ නැහැ. මගේ තාත්තා තමයි සිංහල මිනිහෙක් දෙමළෙන් කතා කරන කොට තියෙන වෙනස අනුව හාස්‍ය ඇති කළ මුල් නළුවා. එදා තාත්තා ඒ සඳහා අනුකරණය කළේ ඉන්දියාවේ චන්ද්‍ර බාබු කියන නළුවා. අද බොහෝ අය කියනවා අපි අනුකරණය කරන්නේ නෑ කියලා. ඒක අමූලික බොරුවක්. අපි හැමෝම අනුකරණය කිරීමක් තමයි රඟපෑමේදී කරන්නේ. සමාජයේ දකින චරිත තමයි අප රඟපෑමේදී එකතු කර ගන්නේ. මම වන්ෂොට් චිත්‍රපටයෙන් තමයි මගේ ගමනේ වෙනසක් ඇති කර ගත්තේ.

කොටුවීම තුළින් එහාට ගියා කියලා ඔබ අද සතුටු වෙනවාද?

තිෂූලදීප තඹවිටගේ ආදරී ටෙලි නාට්‍යයේ මාව සම්බන්ධ කර ගත්තේ සීන් පහකට. අන්තිමට කතාව ඉවර වෙනකන් මේන් රෝල් කොමඩි විලන් මම තෝරා බේරාගෙන රඟපෑම තුළ මම කොටුවීම කඩා බිඳ දැමූ කෙනෙක්.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය චූලා ලලනි, ලොකු පුතා විශ්ව විමුක්ති. දෙවැනි පුතා ලකිදු වරුණ. තුන්වෙනියා දුව එනුමි පෙරේරා. දරුවෝ තාම ඉගෙන ගන්නවා.

දරුවොත් රඟපෑමට යොමු කරන්න ඔබේ අදහසක් නැද්ද?

තාත්තා නළුවෙක් වුණා කියලා පුතාට නළුවො වෙන්න බැහැ. මම මෙතනට ආවේ සෙට් එකේ තේ හදලා. කරපු නැති දෙයක් නැහැ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. මම කවදාවත් තාත්තා වික්කේ නැහැ. මම කියන්නෙත් දරුවන්ට මාව විකුණන්න එපා. පුළුවන් නම් නළුවෙක් වෙන්න මටත් වඩා හොඳට. ඒකට මගෙන් බාධාවක් නැහැ. අද අපේ කලාවේ ඇඟ තියෙනවා මොලය නැහැ. එහෙම අය අද ඕනෑ තරම්.

අද කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ජූනියර් සීනියර් කියන පන්ති භේදය නිසා පුංචි මිනිහට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. අපේම කලාව නැති කරන්නේ අපේම මිනිස්සු. පුංචි මිනිහට දහසක් කැපිලි කෙටිලි ගෙරවිලි. ලොකු මිනිහට සැප සම්පත්. මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අයට උදවු කරල තියෙනවා. සමහර රඟපාන්න එන අයට මම අතින් සල්ලි දීලා තියෙනවා ගෙදර යන්න. මම සහාය අධ්‍යක්ෂවරු, අධ්‍යක්ෂවරුන් කරලා තියෙනවා. ඒ වගේ උදවු කරපු කෙනෙක් මම. ලොකු මිනිස්සු ළඟ නැති ගුණය අපි වගේ පොඩි මිනිස්සු ළඟ තියෙනවා.

කලාව ඔබ ජීවනෝපාය කරගෙන කියන එකට ඔබ එකඟද?

කලාවෙන් ජීවත් වෙනවා කියන එක හරි අමාරු කාර්යයක්. ජීවත් වෙන්න පුළුවන් මම බැහැයි කියනවා නොවෙයි. ඒත් කලාවෙන් ජීවත් වෙමින් කලාවටම බනින කොටසකුත් අපි අතරේ ඉන්නවනේ. මම කියන්නේ කලාකරුවෝ හිඟාකන්න ඕනෑ නැහැ. මම කලාව නැති වුණා කියලා හිඟාකන්නේ නෑ. මගේ මේ කකුල කිසිදාක සනීප නොවුණත් මම රඟපාන්නේ නැහැ කියලා හිඟාකන්නේ නැහැ. ස්ක්‍රිප්ට් එකක් හරි ලියලා මම ජීවත් වෙනවා. කකුල පණ නැති වුණත් මම ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අනිත් අයට බැරි ඇයි?

ඔබේ නමේ ලකිදු කොටස අද අතහැරලාද?

මට පුංචි කාලේ නමදාලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර මහත්තයා. මගේ නම එන්නේ චතුර ලකිදු පෙරේරා. ලකිදු කෑල්ල භාවිත නොවන නිසා මම ඒ නම දැම්මා මගේ පුතාට ලකිදු වරුණ කියලා.

කළුබෝවිල ඉස්පිරිතලේදි ඔබ පුංචි ළමයෙක් වුණා කියන කතාව මොකක්ද?

දොස්තර මහත්තයා ඇඳ ළඟට ඇවිත් ඇහුවා නම මොකක්ද කියලා. මම කිව්වා චතුර ලකිදු පෙරේරා කියලා. ඒ පාර දොස්තර කිව්වා ඔයාට තියෙන්නේ පුංචි ළමයෙක්ගේ නමක්නේ කියලා. ඒ පාර මම කිව්වා ඇත්ත ඩොක්ට මට තාත්තා ඔය නම දැම්මේ පුංචි කාලේ කියලා. ඔය කතාව ඇහුන ඒ අවට හිටිය කට්ටියට බකස් ගාල හිනා වුණේ දොස්තරවත් අපහසුතාවයට පත් කරමින්.

ඉස්පිරිතාලේ තනි නොතනියට නැවතුණු බිංදුට වුණ අකරතැබ්බය මොකක්ද?

බිංදු තමයි මුල් දවස් දෙකේ මගේ ළඟ හිටියේ. කොහොම හරි එක දවසක් මගේ ඇඳ ළඟ හිටිය අනික් ලෙඩා ඉස්පිරිතාලෙන් පැනලා ගිහිල්ලා. ඒ හිස් ඇඳේ රෑට හෙමින් සැරේ බිංදු නිදාගෙන. කොහොම හරි දොස්තර ඒ බවක් නොදැන ලෙඩා කියලා හිතාගෙන බිංදුට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඇවිත්. කොහොම හරි බිංදු ඒකෙන් බේරුණත් තවදුරටත් මෙහෙ හිටියොත් මූට මොනවා වෙයි ද කියලා මම කිව්වා උඹ ගෙදර පලයං කියලා.

අනතුර වෙච්ච නිසාම යාළුවොත් උදව් කරන්න ඇති නේද?

කළුබෝවිල රෝහලේ දොස්තරලා, කාර්ය මණ්ඩලය මම ප්‍රතිකාර ගත්ත තිලක් දොස්තරත් මතක් කරන්න ඕනෑ. බුද්ධික රඹුක්වැල්ල, ටෙඩී විද්‍යාලංකාර, රන්ජන් රාමනායක, දීපාල් සිල්වා, ජිනදාස පෙරේරා, මොහාන් හෙට්ටිආරච්චි, බිංදු මේ හැමෝම මම කෘතවේදීම සිහිපත් කරනවා.

කතරගම දෙවියන්ට පූජාවක් දෙන්න ගිහින් මිනිස්සු වටකර ගත්තා කියන්නේ ඇත්තක්ද?

ඒ දවස්වල දම්සාරි ටෙලි නාට්‍ය විකාශය වන කාලේ. මම ගෙදර කට්ටිය එක්ක කතරගම ගියා. මෙන්න බොලේ පූජාව දෙන්න ඇවිත් හිටිය හුඟක් අය මාව වට කරගෙන දම්සාරි ගැන කතාව. මට පූජාව දෙන්නත් නැහැ. පැය ගණනක් ලත වෙලා යන්තම් පූජාව දීගත්තා. හැබැයි මේ ළඟදී දවසක මම ඒ වගේ කතරගම පූජාවකට ගියා. එදා නම් කාගෙන්වත් කරදර නෑ දෙවියන්ට පූජාව තියලා මම හනික ගෙදර ආවා.

කකුලේ ආබාධය නිසාම මොලය පෑදුණා කියන කතාව මොකක්ද?

කකුල කැඩුන හරි තුවාල වුණා හරි කියන එකත් එක වෙලාවකට හොදයි කියලා මට හිතුණා. ඒ හින්දම මට ජීවිතය ගැන හොඳ අවබෝධයකුත් ආවා. මොලෙත් පෑදුණා. තියෙන කොට කවුරුත් මේ ගෙදර පිරිල සිංදු කියනවා, පාටි දානවා. සමහරු මහ රෑ මඟට ගිහිල්ලත් සිංදු කියනවා. කොහොම හරි පහුවදා මට ගමේ අයගෙන් කම්ප්ලේන් රෑට නිදා ගන්නත් නැහැ කියලා. කොහොම හරි ඒ කම්ප්ලේන් මේ දවස්වල මට එන්නෙත් නැහැ ඩ්‍රින්ක් එක දාල සිංදු කියන මහ පාරේ සිංදු කියන යාළුවෝ මේ දස්වල මගේ ගෙදරට නොඑන නිසා.

රසිකයන්ට කතා කරන්න දුරකතන අංකයත් මතක් කළොත්?

0772455016 අංකයට කතා කරන්න. මම අනිත් පැත්තෙන් චතුර ලකිදු පෙරේරා කතා කරනවා කියන්නම්.