මොන කජ්ජක්ද අවුරුදු එකසිය විස්ස
මොන කජ්ජක්ද අවුරුදු එකසිය විස්ස
ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණියගේ හැත්තෑ වැනි උපන් දිනය සැමරුවේ මාසයකට පමණ
කලින්. නමුත් ඊයේ පෙරේදා දිනයක ඔහුට තමන්ගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුමක් ලැබුණා.
නිකම්ම නිකම් සුබ පැතුමක් නෙවෙයි. එය රසවත් කවි පේලි කිහිපයකින්ම සමන්විතයි. මෙසේ
පමා වී සුබපැතුම රවීට එවා තිබුණේ බණ්ඩාර ඇහැලියගොඩයි. ඔහු එවූ සුබපැතුම මෙසේ අපි
සටහන් කරන්නෙමු.
එස්එම්එස් වලින් ඇරැයුම ලැබුණානේ
දින ගණනක් පුරා මම සිටියෙමි චීනේ
ඒකයි සාදයට එන්නට හැකි නොවුණේ
සිහි වුණි එදින ඔබ සැම මොහොතක් ගානේ
පණහක්වත් නොමැති තරුණයකුට යෝද
හැත්තෑවක් කියා ගොනුකර ප්‍රිය සාද
ප්රීතිල තරුණ වෙන්නට දඟලනවාද
මේවා මහ පොළව නුහුලන අපරාද
සිනමා ලොව සැබෑ ලොව නිති දැකිය හැකි
සම්මස් ලේ සහිත මිනිසා ඔබය සකී
දුවමින් ගස වටේ පෙම් ගී ගයත හැකි
මට නම් ඔබ තවම හිරිමල් තරුණයකි
නොමියන චරිත රඟපාමින් සිනමාවේ
මිළ කළ නොහැක ඔබ මෙතුවක් කළ සේවේ
නිලබල මුදල නැත කිසිවක් සැලකූවේ
යහපත් වැඩක් වන කොයි තැනටද නාවේ
හරියට දැන හැඳිනගෙන කළ යුතු නිස්ස
අවැඩක් වන තැනදි මඟහැර පසුබැස්ස
ඔබ වැනි අයට කොයි දේටත් අති දස්ස
මොන කජ්ජක් ද අවුරුදු එකසිය විස්ස
|