වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ළයාන්විතයාගෙන් අලුත්ම වැඩක්...

ළයාන්විතයාගෙන් අලුත්ම වැඩක්...

Tribute to The legends සමඟ කීර්ති පැස්කුවල්...

අපේ ගී ලොව ළයාන්විතයා නොහොත් කීර්ති පැස්කුවල් කවදත් තම රසික, රසිකාවන්ට නැවුම් අත්දැකීමක් ගෙන එන සංගීත ශිල්පියෙක්. වසර ගණනාවක් මුළුල්ලේ සප්ත ස්වරයේ මිහිරියාවෙන් රස හදවත් කුල්මත් කළ ඔහු වටා තවමත් සුවිසල් රසික ප්‍රජාවක් අත්වැල් බැඳ ඉන්නේ ඒ නිසයි.

අද අපි කතා කරන්නේ ඔහුගේ අලුත්ම සංගීත කටයුත්ත ගැන. ඒ තමයි “Tribute to The legends” ගී ප්‍රසංගය. එළැඹෙන 11 වැනි දින සැඳෑ යාමයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මේ ප්‍රසංගයේ දී කීර්ති, අපෙන් වියෝ වූ ජන කාන්ත ගායක, ගායිකාවන් විසිතුන් දෙනෙකුගේ අතිශය ජනපි‍්‍රය ගීත විසිතුනක් ගායනා කිරීමට සූදානම්. තවත් විශේෂත්වයක් වන්නේ එදිනම ඔහුගේ නවතම ගීත ඇල්බමය “සුදු සේල” සහ “කීර්ති එකෝස්ටිකා” ගී ප්‍රසංගයේ සංගත රූප තැටිය (D. V. D.) එළි දැක්වීමයි.

එකී කරුණු මුල් කරගෙන කීර්ති අප හා මෙසේ සංවාදයකට එක්වුණා...

ඇයි ඔබ “Tribute to The legends” ප්‍රසංගය රසිකයන් වෙත ගෙන එන්න අදහස් කළේ?

ඇත්තටම මේක අප අතරින් වියෝ වූ ගායක, ගායිකාවන් ගේ අතිශය ජනපි‍්‍රය වූ ගී ගොන්නක් අද පරපුර වෙත ගෙන යන්නට, ඔවුනගේ මතකය යළි අවදි කරන්නට දරන උත්සාහයක්. ඒ වගේම මෙම ගීත රචනා කළ සහ සංගීතවත් කළ කලාකරුවන් එක්ක බැලුවොත් ඒ පිරිස හතළිහක් පමණ වෙනවා. ඒ සියලුම දෙනාට උපහාරයක් වශයෙන් තමයි මේ ගී ප්‍රසංගය මම ඉදිරිපත් කරන්නේ.

කුමන ගායක, ගායිකාවන්ගේ ගීත ද ඔබ මේ ප්‍රසංගයේ දී ගායනා කරන්නේ?

සුනිල් සාන්ත, රුක්මණී දේවි, සුසිල් ප්‍රේමරත්න, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, සී. ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, එම්. එස්. ප්‍රනාන්දු, සිඩ්නි ආටිගල, නාරද දිසාසේකර, එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ටී. ෂෙල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, මර්වින් පෙරේරා, තිලකසිරි ප්‍රනාන්දු, පද්මසිරි පැස්කුවල්, මාලිනී බුලත්සිංහල, ග්‍රේෂන් ආනන්ද වැනි ගායක, ගායිකාවන් ගේ ගීත මම මේ ප්‍රසංගයට ගායනා කරනවා. යුග ගැයුමෙන් මට දායක වෙන්නේ සමිතා මුදුන්කොටුව සහ නෙලූ අධිකාරී. මහින්ද බණ්ඩාර ප්‍රමුඛ පහළොස් දෙනෙකුගෙන් යුත් වාද්‍ය වෘන්දයක් සංගීතය සපයන මේ ප්‍රසංගයට කථනයෙන් දායක වන්නේ කැලුම් ශ්‍රීමාල්.

මොනවාද ගායනා කරන ගීත?

ඒ ඒ ශිල්පීන්ගේ මම වඩාත් පි‍්‍රය කරන සහ මට හොඳින් ගායනා කළ හැකි ගීත මම තෝරා ගත්තා. මොකද සෑම ගීතයක්ම මට ගායනා කරන්න බැහැ. කොහොමත් මම තෝරා ගත්තේ ඉතා මියුරු ගීත. ඒ වගේම නිතර දෙවේලේ නෑසෙන ගීත. උදාහරණයක් හැටියට මම රුක්මණී දේවිය “දෛවයෝගය” චිත්‍රපටයට ගැයූ “ආදරයයි කරුණාවයි” කියන අතිශය ජනපි‍්‍රය ගීය ගායනා කරනවා. ඒවා රසික හදවත් තුළ සදා ජීවමාන ගීත. අනෙක් ගීත අපි රසිකයන්ට දැනට හෙළි නොකර ඉමු. මේ ප්‍රසංගයේ දී නැවුම් අත්දැකීමක් මම ඔවුන්ට ලබා දෙනවා.

මෙබඳු උපහාර ගී ප්‍රසංගයක් මින් පෙර වෙනත් ගායන ශිල්පියෙක් පවත්වා නොමැති බවයි මගේ වැටහීම?

මටත් එහෙම හිතෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි මම දන්නා තරමින් මෙබඳු ප්‍රසංගයක් මින් පෙර වෙනත් රටක ගායකයෙක් වත් පවත්වලා නෑ. සමහර විට මේක ගිනස් වාර්තාවක් වෙන්නත් පුළුවන්.

මේ නාමාවලිය දිහා බලනකොට අප දකින්නේ විවිධ හඬ පරාසයන් හා ගායන ශෛලීන්වලට උරුමකම් කියන පිරිසක්. තනි පුද්ගලයෙක් මෙවැනි ශිල්පීන් පිරිසකගේ ගීත එකම ප්‍රසංගයකදී ගායනා කිරීම විශේෂත්වයක්. මේක ඔබට අභියෝගයක් නෙවෙයිද?

මේක සුන්දර අභියෝගයක් විදිහටයි මම පිළිගන්නේ. ඒ අභියෝගයට මට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. මොකද ක්ෂේත්‍රයේ ගායකයෙක් විදිහට ස්ථාවර වෙන්න පෙරාතුව සිට තමයි මේ ගීත මම ගායනා කළේ. ඉස්සර කාගේ හරි මිත්‍රයකුගේ ගෙදර රැස්වෙලා මම මේ ගීත ගායනා කරනකොට සෙසු මිත්‍රයන් ඒ ගීත රස විඳින්නේ දැහැනට සමවැදිලා. සමහරදාට මම ගීත විස්ස, තිහ ගායනා කරනවා. ඒත් මිතුරන් බොහොම සංයමයකින් තමයි ඒ ගීත රස වින්දේ. ඔවුන් තමයි මාව ගායකයෙක් විදිහට මුලින්ම අගය කළේ. ඒ පෙරහුරුව මට තියෙනවා.

එක්තරා සිදුවීමක් ඔබට ලොකු උත්තේජනයක් වුණා මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්න?

ඒක ඇත්ත. ජාතික රූපවාහිනියේ “සිහිනයකි රෑ” සංගීත වැඩසටහනට සහභාගි වෙලා මම වෙනත් ශිල්පීන් කිහිපදෙනකුගේ ගීත කිහිපයක් ගායනා කළා. ඒ වැඩසටහනේ ස්වභාවය එයයි. මට ඉතා විශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඇත්තෙන්ම කිව්වොත් මගේ ගායන දිවියේ මා ලබපු දැවැන්තම රසික ප්‍රතිචාරය එයයි. හරියට ඒක මට හීනයක් වගේ.

“නිර්මාණ මංකොල්ලය” අද බහුලවම සිදුවෙනවා. විශේෂයෙන්ම සිනමාවේ සහ සංගීත ක්ෂේත්‍රයේ?

ඔව්, ඇත්තටම ඒක අද ලොකු ව්‍යසනයක් බවට පත්වෙලා තියෙනවා. කෙතරම් නීති රීති ආවත් කොල්ලකරුවන් ඒ නීතියේ පුංචි සිදුරක් අස්සෙන් රිංගලා යනවා.

මෙබඳු පසුබිමක් යටතේ බුද්ධිමය දේපළ කියන කාරණාව අද ලොකු අභියෝගයකට ලක් වෙලා. මොකද අනුන්ගේ ගීත තමන්ගේ කරගත් යුගයක අපි ජීවත් වෙන්නේ. මේ ප්‍රසංගයේ දී ඔබ ගායනා කරන්නෙත් වෙනත් අයගේ ගීත?

අපේ සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකළ සදා නොමියෙන ගී සමුදායක් තිළිණ කර අප අතරින් නික්මගිය ප්‍රවීණයන්ට උපහාර පිදීමක් හැටියටයි මම මේ ප්‍රසංගය පවත්වන්නේ. මේ ගීත ගැයීම සඳහා ඒ අදාළ පාර්ශවයන් ඉතාම කැමැත්තෙන් ඔවුන්ගේ ආශීර්වාදාත්මක අවසරය මට ලබා දුන්නා. ඉන් පසුව තමයි සියල්ල සංවිධානය කළේ.

මේ කලාකරුවන් අද ජීවතුන් අතර නෑ. ඔවුන් ගේ පවුල්වල සමීපතමයන් ඇතැමෙක් ජීවත් වෙනවා. හැබැයි ඉතා අසරණව. ඔවුන් වෙනුවෙන් කිසියම් මූල්‍යමය පරිත්‍යගයක් සිදු කෙරෙනවාද මේ ප්‍රසංගය හරහා?

Tribute to The legends” ප්‍රසංගයේ මා ගායනා කරන සියලුම ගීත මා ප්‍රණාමයක් ලෙස නැවත ඔවුන්ටම පුදකරනවා. ඔවුන්ගේ නාමයට. මේ ප්‍රසංගය මා D. V. D. වලට නගන්නේ නැහැ. ඒ වගේම youtube එකටවත් මුදා හරින්නේ නෑ. කොටින්ම කිව්වොත් කිසිම වාණිජ පරමාර්ථයකින් තොරවයි මේ ප්‍රසංගය පවත්වන්නේ. අනෙක මේ ප්‍රසංගය පමණයි මම ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අර ප්‍රණාමය හැරුණාම ඒ ඥාතීන්ට මුදල් පරිත්‍යාගයක් නම් සිදු කෙරෙන්නේ නෑ.

එතකොට මේ ප්‍රසංගය සඳහා රසික ඉල්ලුමක් ඇති වුණොත්?

එහෙම වුණොත් යළි ප්‍රසංගයක් කරන්නට සූදානම්. එතකොට නැවතවරක් ඒ ගීතවල අයිතිය තිබෙන පාර්ශවයන්ගෙන් අවසරය ලබාගෙන ඔවුන්ටත් කිසියම් උපකාරයක් කළ හැකි ආකාරයේ ප්‍රසංගයක් පවත්වන්නට උත්සාහ කරනවා.

ඝෝෂාකාරී සංගීත රටා, නර්තන අංග බොහෝ විට ඔබේ ප්‍රසංග තුළ අපි දකින්නේ නැහැ. මෙවරත් එහෙමද?

විශේෂයෙන්ම කියන්න ඕනෑ, මුල් නිර්මාණයට හානිවන කිසිම සංගීත රටාවක් මම යොදා ගන්නේ නෑ. ඒ නිසා කිසිදු විකෘතියකින් තොරව ඒ ගීත රස විඳින්නට රසිකයන්ට අවස්ථාව තිබෙනවා. සිත් නිවී සැනසෙන ළයාන්විත සංගීත නාද රටාවන් ඔස්සේ තමයි මේ ගීත ඉදිරිපත් කෙරෙන්නේ. අනෙක වෙනදා වගේම මේ ප්‍රසංගයේත් මම නර්තන අංග යොදා ගන්නේ නෑ. ගීත රසාස්වාදයටයි ප්‍රමුඛ තැන ලබා දෙන්නේ.

ඔබේ නවතම සංයුක්ත තැටිය එළි දැක්වෙන්නෙත් එදින?

සෑම වසරකම මගේ ගීත ප්‍රසංගයක් හෝ නවතම ගීත ඇල්බමයක් රසිකයන්ට පිරිනැමීමට මා කටයුතු යොදා තිබෙනවා. මෙවර ගී ප්‍රසංගයත් සමඟ නව නිර්මාණ එකතුවක් එළි දැක්වීමට හැකිවීම ගැන මම සතුටට පත් වෙනවා. එම සංයුක්ත තැටිය නම් කර තිබෙන්නේ ‘සුදු සේල’ නමින්. මගේ නවතම ගීත එකතුවක් මේ එළි දැක්වෙන්නේ වසර දෙකකට පසුව. මා මින් පෙර ගායනා නොකළ ආකාරයේ සංගීත ශෛලීන් හා විවිධ තේමාවන් ඔස්සේ ගැයූ ගීත මෙයට ඇතුළත් වෙනවා.

“සුදු සේල” ගීත එකතුවට දායකවූ පිරිස?

කැලුම් ශ්‍රීමාල්, ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, උපුල් පෙරේරා, ලලිත් කුමාර, ජෝජ් රොබ්සන් ද සිල්වා, නන්දන වික්‍රමගේ, ධනුෂ්ක ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු ගී පද රචනයෙන් මේ ගීත එකතුවට දායකත්වය ලබා දුන්නා. ගී තනු හා සංගීත නිර්මාණයෙන් මහින්ද බණ්ඩාර, පද්මසිරි පැස්කුවල්, උපුල් පෙරේරා, ලක්‍ෂමන් හිල්මි, ලලිත් කුමාර, අනුර විජේසිංහ, රධීෂ් වැන්දබෝනා, අරුණ ගුණවර්ධන යන සංගීතවේදීන් “සුදු සේල” ගීත ඇල්බමය වර්ණවත් කළා.