වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




අති භයානක ඒ, තරුණ චෙලෝකාර මහත්වරු දෙදෙනා

අපේ කාලයේ නිර්මාණයන් ගැන කතාකරන විශේෂාංගය

අති භයානක ඒ, තරුණ චෙලෝකාර මහත්වරු දෙදෙනා

මේ චෙලෝකරුවන් දෙදෙනා හුදෙක් වයන්නෝ නොවෙති. ඔවුන්ට ඇත්තේ සංගීතාත්මක උමතුවකි. තතින් තත බිඳ දමා තමන් වෙතට අවධානය යොමු කරවා ගැනීමේ මූලික සැලැස්මකි. යූ ටියුබ්ගත ගීත කවර අතර නිතර සෙවුම් අතර රැදෙන නමකි. ප්‍රකට ගායක මයිකල් ජැක්සන්ගේ 'දේ ඩෝන්ට් කෙයාර් එබවුට් අස්' සාමාන්‍ය සෙවුමකින් හමු වූවකි. මයිකල්ගේ සංගීත වීඩියෝවේ මෙන් අමුතු හැඩයක් ඇතිව කළ ඒ ගීත කවරය වඩාත් සමීප රූපවාහිනී කතා මාලාවන්හි ඇරඹුම් නාමාවලි දක්වන විනාඩි කිහිපයටය. ගරා වැටුණු ගොඩනැඟිලි, යුද්ධ, ගිනි, අධික හිරු රශ්මිය සහ විසිරී යන කුරුලු පිහාටු ආදිය උමතුවෙන් වයන චෙලෝකරුවන් දෙදෙනාට සහය දක්වයි. අහසින් වැටෙන ෂෙල් වෙඩි වරුසා, ගිනිගෙන දැවෙන මහ පොළොව කියන්නේ 'ඔවුන් අපව නොසලකන බව'යි. එහෙත් 4,244,037ක යූටියුබ් නැරඹුම් කියන්නේ ඊට වෙනස් කතාන්දරයකි.

'ස්මූත් ක්‍රිමිනල්' ගීත කවරය මද වේගයෙන් චලිතය අරඹා ඔබේ මනස වේගවත් චලිතයකට ඇද දමයි. මයිකල් ජැක්සන්ගේ ගීතවලට ඔවුන් යම් නැඹුරුවක් තිබෙන සැටියකි. මෙතෙක් දුටු කියැවීම් අමතක කර අලුත් කියැවීමකට, නැරැඹීමකට මේ උමතු චෙලෝකරුවන් යුගල ඔබට අණ කරන්නේ යැයි සිතීම ලජ්ජාවට කරුණක් නොවේ. වැයීම හැරුණු විට අන් කිසිවකට අවධානය යොමු නොකරන හෙයින් නැරැඹීම හැර අන් යමක් ඔබටද කළ නොහැක. යූ ටියුබ් නැරඹුම් 12,735,048ක් පෙන්වන ස්මූත් ක්‍රිමිනල් මුල් ගීතයේ වචන මතක් නොකරන සුළු වීම අනෙක් වැදගත් කාරණයයි.

මේ හිතුවක්කාරීබව නිසාම චෙලෝවකින් වයන්නට නොහැකි යැයි සිතෙන ඒසී.ඩීසී සංගීත කණ්ඩායම ගැයූ 'තන්ඩර්ස්ට්‍රක්' වයයි. ඒ වීඩියෝවේ නැරඹුම් ප්‍රමාණය මිලියන දෙකකි. ඔබ කලබල විය යුතු නොවේ. මක්නිසාදයත් දැනටමත් එල්ටන් ජෝන් කලබල වී ඇති බැවිනි.

'එයාලා යූටියුබ් එක පුරාම ඉන්නවා. මම නම් එක සින්දුවක් වයනවා අහපු ගමන් එයාලට කැමති වුණා. මුලින්ම මට හිතුණේ අම්මෝ...මෙහෙම වාදනයක් !!! කියලා. වෙනින් කවුරුවත් මේ වගේ චෙලෝ ගහනවා මං මීට කලින් දැකලා නෑ. ඉතිං මං එයාලට මගේ බෑන්ඩ් එකට කතා කළා. ළඟදීම 'ටූචෙලෝස්' එක්ක කරපු ඇල්බම් එක බලන්න පුළුවන් වේවි. රොක් මියුසින් වගේම ක්ලැසිකල් මියුසික් එකම විදිහෙ ආකර්ශණීයබවකින් වාදනය කරන්න එයාලට පුළුවන්. ඇත්තමයි, මං ආයෙ, ආයෙත් පුදුම වෙනවා. ඔවුන් දෙන්නා පුදුමයි. ආවේනිකයි. නැවුම්. කාන්දම් වගේ.'

එල්ටන් ජෝන්ගේ පුදුමයට වඩා පුදුමයක් ඔබට තිබෙන්නට පුළුවන. මට ඊට එරෙහි වීමට ද නොහැකිය.

'මට මේ හැඟීම විස්තර කරලා ඉවර කරන්න බෑ. මං හිතන්නේ ටූචෙලෝස්ලා, චෙලෝ වාදනය වෙනත් මානයකට අරන් ගියා කියලයි ජිමී හෙන්රික්ස්ට පස්සේ චෙලෝවෙන් වෙනත් වැඩ ගත්ත දෙන්නෙක් තමයි මේ ඉන්නේ.'

එල්ටන් ජෝන්ගේ සහතිකය මේ තරුණයන් දෙදෙනාට බොහෝ වටිනා බව යළිත් මතක් කිරීම අනවැසිය.

සැබැවින්ම සංගීතය යනු කියා විස්තර කළ නොහැකි මේ අපූරු හැඟීමම වේ. ඔබට රිදෙන්නේ චෙලෝවේ තතක් වැයෙන විටද, පියානෝවේ අකුරක් තෙරපෙන විටද, වයලීනයේ මන්ද්‍ර ස්වරයක් ඈතින් ඇසෙන විටද කියා නිශ්චය කරගත නුහුණු තරම් මොහොතක අතරමංවීම කෙතරම් අහ්ලාදජනකද? කෙතරම් උමතුසහගත වේදනාවක්ද? දැන් වැයෙන්නේ සුප්‍රකට යූ2 සංගීත කණ්ඩායමේ 'විත් ඕ විතවුට් යූ' ගීත කවරයයි. ඒ සජීවී සංගීත ප්‍රසංගයකය. නරඹන්නෝ දෑස් වසාගෙන වෙනත් සදෙව් තලයකය. වයන්නෝ බිමට නැඹුරු කරගත් හිසින්, වැසුණු දෑසින්ය. පසුබිමින් මද ආලෝකය වගුරුවන නිල් පැහැ ෆ්ලෑෂ් ලයිට්ය. කිසි විට වචන මතකයට නො එන මේ සියලු ගීත ඇතුළට ටූචෙලෝස් තරුණයන් වෙන මොනවාදෝ වක් කෙරුවාක් වැනිය. ඒ අලුතින් එකතු වුණ රසය ඔබව කැළඹීම නියත බව කියමි.

ලූකා යුලායික් සහ ස්ටෙපන් හවුසර් පිළිවෙලින් ස්ලොවේනියාවේ සහ ක්‍රොඒෂියාවේ උපන්නෝය. සම්භාව්‍ය සංගීතය ක්‍රමානූකූලව හැදෑරූ මේ දෙපොළ හදිසියේ හමුව හදිසියේ ගීත කවරයක් සෑදූ දෙදෙනෙකි. මයිකල් ජැක්සන්ගේ ස්මූත් ක්‍රිමිනල් ගීතය චෙලෝවෙන් වයා යූ ටියුබයට ඇතුළත් කර අන් සියලු තරුණයන් මෙන් නරඹන්නන් සංඛ්‍යාව ගණනය කරමින් හුන් දෙදෙනෙකි. සියල්ල නොසිතූ විරූ ලෙස වෙනස් වී ගියේ ගීත කවරය යූටුබ්ගත කර සති දෙකකින් මිලියන තුනක නරඹන්නන් ප්‍රමාණයක් ලබා ගැනීමෙනි. 2011 අප්‍රේල් වන විට මිලියන දහයක නරඹන්නන් ප්‍රමාණයක් ලබා ගත් මේ වීඩියෝව ඔවුන් දෙදෙනාට වාසනාව කැන්දූ බව කිව හැකිය. ඉන් පසුව සෝනි ලේබලය යටතේ ගීත කවර ඉදිරිපත් කිරීමේ කොන්ත්‍රාත්තුවකට අස්සන් තැබුණි.

යළිත් කළු-සුදු පසුබිමක සිට ටූචෙලෝස් වයන්නට පටන් ගෙනය. මෙවර ඉන්සෙප්ෂන් සිනමාපටයේ 'මොම්බාසා'ය. චෙලෝවක් ඇතුළෙන් වෙනත් සංගීත භාණ්ඩයන්ගේ සංගීත නාද ඇසෙන හෙයින් ඔබද-මමද එක සේ සැලකිලිමත් විය යුතුය. මේ උමතුව කොතනින් පැන නැග්ගේදැයි ඊළඟට සිතිය යුතුය.මේ සා ගීත යෙදවුම් රාශියක් එක සංගීත භාණ්ඩයක් ඇතුළේ කෙලෙසක නම් සැඟවී තිබේද?

ස්ටින්ග් ගයන 'ෂේප් ඔෆ් මයි හාර්ට්' වැයෙන්නේ ඊළඟටය. අහා...ඒ හද කළඹන රස කොතරම්ද? චෙලෝවෙන් වතුර බින්දු බිමට වැටෙයි. පා හඬ ඇසෙයි. සුළඟ ඕනෑකමින් අතර මැදින් හමා යයි. ඒ සියලු ශබ්ද මැද උවමණා නම් මදක් හඬන්නටද පුළුවන. හැඬීමකට ඇවැසි සියලු කලමනා ඔවුන් සපයයි. අනේ...ඊළඟට හදවත ගැහෙන්නෙට වෙයි. ගින්දර ද - අයිස් ද එක විට පහළ වෙතොත් ඒ සංගීතයෙනි. මොහොතකට නතර වී මේ ගීතයේ වචන මතක් කරන්න. ඒ අපහසුම ක්‍රියාවක් කර නැතිද? ඔබට වචන අමතක කර ඒ සියලු ඉඩට සංගීත ස්වර රාශියක් පුරවන මේ තරුණ මහතුන් දෙපොළ චෙලෝවෙන් යන දුර කොයිතරම්ද? ඒ පසුපස කැදවාගෙන යන දුර කොයි තරම්ද? මේ මායාකාරී ආභාෂය කොතැනකින් පැන නැඟුණද සොයන්නට යාම පාප සහගතය. මන්දයත් මේ ඒකමිතිය බිඳ ගැනීම යුතු නොවන බැවිනි.

රිහානාගේ 'වී ෆවුන්ඩ් ලව්' වයන තරුණ මහතුන් මහත් උද්‍යෝගයෙනි. ප්‍රේක්ෂකාගාරය මීයාට පිම්බාක් මෙනි. තරුණ මහතුන් දෙදෙනා වටා කලින් සංගීතය සැපයූ සංගීත ශිල්පීන් රාශියකි. ඔවුන් වාද්‍ය භාණ්ඩ ළයට තුරුලු කරගත් ගමන්ය. ඉටි රූපය. කිසිවෙකු සෙලවෙනවා පෙනෙන්නේ නැත.

පොලිස් සංගීත කණ්ඩායම ගැයූ 'එව්රි බ්‍රෙත් යූ ටේක්' වයන්නේ ඉතාම අඩු ළයකිනි, එහෙත් සුපුරුදු ආවේශයෙනි. සෑම වීඩියෝවක්ම අවම ලක්ෂ දෙකක නැරඹුම් සටහන් කර ඇත. මේ වීඩියෝව නරඹා, වැයීම අසා යූ ට්යුබ් අඩවියේ ඊට ප්‍රතිචාර දැක්වූ අහඹු රසිකයන් කිහිප දෙනෙකි. පළමු වැන්නා ක්‍රිස්ටල් හාෂ්බර්ගර් ය.

' ටූචෙලෝස්ලා ගැන මීට පැයකට කලින් මං අහලවත් තිබ්බෙ නෑ. ඒත් මේ දැන් මට ඒ අයගේ ගීත කවර අහන එක නතර කරගන්න බෑ. ඔවුන්ගේ හැකියාව වර්ණනා කරන්න පුළුවන් ප්‍රමාණයෙන් එහා තියෙන්නේ. මේ සින්දු අහද්දි මාව වෙනම අමුතු ලෝකෙකට පාවෙලා ගියා. ඒක හරි පුදුම සැනසීමක් තියෙන ලෝකයක්'

අනෙක් තැනැත්තිය කැත්‍රීන් ටිඩ්මෝර් ය.

'අහලා ඉවරයක් කරන්න නම් බෑ'

සන්තියාගෝ කැස්ටන්ඩේ කියන්නේ මෙවැන්නකි.

'කොහෙන්ද දෙයියනේ මේ වැයීම ආවේ? අති විශිෂ්ටයි මිත්‍රවරුනි.'

පසුබිමින් වැයෙන්නේ මම්ෆෝඩ් ඇන්ඩ් සන්ස් ගැයූ 'අයි විල් වේට්' ගීතයයි. නැරඹුම් මිලියන තුනක් ඉක්මවා ගොසිනි. සමාජ මාධ්‍ය හරහා බෙදා ගැනීම්ද ලක්ෂ ගණනකි.

වඩාත් ආකර්ශණීය ටූචෙලෝස් අනුගමනය කරමින් තවත් තරුණ යුගල බොහොමයක් චෙලෝ වයන්නට පටන් ගෙන තිබීමය. ආකර්ශණීය හැඟීමකට එහා ගිය අපූරු වාදන කිහිපයක් 'ඇමරිකාස් ගොට් ටැලන්ට්' වැඩසටහනට ඉදිරිපත් වී තිබීම යූටියුබ් සෙවුම් කිහිපයකින් නැරඹිය හැකිය. එමිල් සහ ඩේරියල් සොහොයුරන් එක් උදාහරණයක් පමණි.

සංගීතය විසින් මිනිසා පත් කරවන ඉතාම අපහසු තත්ත්වය නම් වචන අමතක කරවීමයි. වචනවල බලය කෙරෙහි නිතර විශ්වාසය තබන ඒ සියලු මිනිසුන්ට ස්වර පමණක් සංවේදනා දැනවීමට සෑහෙන බව නොකියා කියන මේ උමතු චෙලෝ වයන්නන් දෙදෙනා මඟ නොහරින්න. හිත රිද්දා ගන්න. අහන්න.