වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




නාලන්දා ‘ගීත්මා’වට අමරදේවයන් පැමිණි දා

නාලන්දා ‘ගීත්මා’වට අමරදේවයන් පැමිණි දා

කොළඹ, නාලන්දා විද්‍යාලයේ සමූහ වාද්‍ය වෘන්දය විසින් පසුගියදා ‘ගීත්මා’ සංගීත ප්‍රංගය බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන් මෙම ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි විය.

වර්තමාන දරු පරපුරට මෙතෙක් බිහිවූ වටිනාම සහ සොඳුරුතම ගීත සජීවීව රස විඳින්නට සැළැස්වූ ගීත්මා ප්‍රංගයට නාලන්දා විද්‍යාලයේ සමූහ වාද්‍ය වෘන්දයේ දරුවන් 50 දෙනෙකුගේ ගායන හැකියා සහ වාදනයන් ඇතුළත් විය.

එහිදී නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ජේ. එච්. එම්. ඩබ්ලිව් රංජිත් විසින් පණ්ඩිත් අමරදේවයන්හට උපහාර තිළිණයක් පිරිනැමූ අයුරුයි මේ.

ටවර් හෝල් මහ පුටුවට ලයනල් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියකු වූ ලයනල් ප්‍රනාන්දු මහතා ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ධුරයට පත් විය.

1960 වර්ෂයේදී ගාලු දිස්ත්‍රික්කයේ ආදායම් පාලකවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ඇරැඹි ඔහු පසුකාලීනව කළුතර, කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි දිසාපති වශයෙන් ද කටයුතු කළේය. අනතුරුව උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වීම් ලබන ලයනල් ප්‍රනාන්දු මහතා ඒ කාලවකවනුවේ උතුරු නැගෙනහිර සංස්කෘතික පුනරුදය සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සකස් කරලීය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ පළමු දෙටු වැදි චරිතයෙන් රංගනයට පිවිසි ලයනල් ප්‍රනාන්දු මහතා චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක විය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ද ලේකම් ධුරය හෙබ වූ ඔහු කලක් ලේක්හවුස් ආයතනයේ ද, ජාතික රූපවාහිනියේ ද සභාපති ධුරය ද හෙබ වීය. නැසීගිය නාට්‍යවේදිනී ආචාර්ය සෝමලතා සුබසිංහගේ සැමියා වූ ලයනල් ප්‍රනාන්දු මහතා ආචාර්ය කෞශල්‍යා ප්‍රනාන්දුගේ පියාණන් ද වේ.

ඊ. ඒ. පී. සමාගමට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට දේශීය චිත්‍රපට සමාගමක් ජාත්‍යන්තර ධ්ඉර්‍ණ 9001:2008 තත්ත්ව සහතිකයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඒ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමයි. මෙම සම්මානය සඳහා එහි කළමනාකාරිත්වය සිනමා ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වය සහ වර්තමාන තත්වානුරූප යාවත්කාලීන කොට ප්‍රේක්ෂකයන් තෘප්තිමත් කිරීම යන කාරණා සැලකිල්ලට ගනී. මෙම තත්ත්වය සහතිකය පුද කිරීමේදී ආයතනයේ මෙහෙයවීම, කළමනාකාරිත්වය සහ ප්‍රේක්ෂකයා කෙරෙහි දක්වන්නා වූ අවධානය යන කරුණු පිළිබඳ සලකා බලා තිබිණි.

1957 අප්‍රේල් 24 වැනිදා අංජලී චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට එක් වූ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම දුලීකා, සෙයිලම, පිරිමියෙක් නිසා, විසිදෑල, ඉර මැදියම, වන් ෂොට් වන් ඇතුළු චිත්‍රපට 25 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇත. චිත්‍රපට ප්‍රදර්ශනය, ආනයනය, බෙදා හැරීම සහ නිෂ්පාදනය යන සිව් වැදෑරුම් අංගයන්හි නියැලී ඊ. ඒ. පී. සමාගම සැවෝයි, එක්සෙල්, විල්මැක්ස්, ක්වීන් යන ත්‍රිමාන සිනමා ශාලා මෙන්ම ලිබර්ටි, සිනෙමැක්ස්, ඉම්පාලා, කොම්කෝඩ් ඇතුළු සිනමා ශාලා 31 ක හිමිකාරිත්වය දරයි.

ඊ. ඒ. පී. සිනමා සමාගම නිපද වූ චිත්‍රපට රාශියක්ම සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය සහ ජනප්‍රියම චිත්‍රපට ලෙස සම්මාන දිනා ඇත්තේය.

විශාඛා වේදිකාවට

ලංකාවේ උසම නිළිය තමයි විශාඛා සිරිවර්ධන. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ. වසර ගණනාවක් ගෙවුණත් විශකාගේ වාර්තාව බිඳ දමන්න තියා සම කරන්නවවත් කාටවත් පුළුවන් වුණේ නැහැ.

මේ විශාකා අලුත් වැඩකට අත ගහලා. තවත් විදියකින් කිව්වොත් නිෂ්පාදනයට පිවිසිලා. ඇය නිෂ්පාදනය කරන්නේ වේදිකා නාට්‍යයක්. ඒකේ නම එයා වගේද මෙයා. එය අධ්‍යක්ෂණය කරන්නේ කීර්ති බණ්ඩාර. පසුගියදා කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැති මුහුරත් උත්සවයකින් අනතුරුව මෙහි වැඩ කටයුතු ආරම්භ වුණා.

එයා වගේද මෙයා හි විශාකාත් රඟපානවා. ඇයට අමතරව කුමාරි මුණසිංහ, කීර්ති බණ්ඩාර, උපතිස්ස බාලසූරිය, තිලකරත්න ලියනගේ හෙලන් රොනෙල්ඩා, සුසන්ත ප්‍රියදර්ශන, චින්තක පතිරණ, ගාමිණී කුලසේකර, සුගත් ශාන්ත මොරගහකුඹුර, ජානක මනුරත්න, මාධි පණ්ඩිතරත්න, තුෂාර ජාගොඩ, සුනේත්‍රා ලක්ෂ්මී, හිමායා සහ සමුදි, දේශාන් චාමර ආදීහු රංගනයෙන් දායක වනවා. මෙහි මංගල දැක්ම අගෝස්තුවේදී පැවැත්වෙන බව විශාකා අපට දන්වා සිටියා.