වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




යකා මහත්තයා එක්ක වේදිකාවට එන සරත්

යකා මහත්තයා එක්ක වේදිකාවට එන සරත්

යකා මහත්තයා වේදිකාවට එන අලුත්ම නාට්‍යයයි. මේ එළැඹෙන 18 දා කඩුවෙල නගර ශාලාවේදී වේදිකා ගත වන එහි රචකයා, අධ්‍යක්ෂ මෙන්ම නළුවා වනුයේ ද සරත් විජේසිංහ.

සරත් ‘යකා මහත්තයා’ හැදුවේ මොන කාලයේද?

මේ නාට්‍යය පළමුවෙන් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේ 1993 නෙවැම්බර් 29 වැනිදා ලුම්බිණි රඟහලේදී. ඉන් පසුව විටින් විට පාසල් ශාලාවලත් වේදිකා ගත කළා. 1998 දී රාජ්‍ය නාට්‍යය උළෙලට ද යකා මහත්තයා නියෝජනය කළා.

යකා මහත්තයා හදන්න පාදක වූ කතාව?

60 දශකයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිටි යකා මහත්තයා නම් දාමරිකයෙක් පිළිබඳ ගෙතුනු කතාවකට නව අර්ථයක් දී මෙම නාට්‍යය තැනුවා.

මෙහි අර්ථය කෙටියෙන් විග්‍රහ කළොත්?

මිනීමරු මුදලාලි කෙනෙකු හා අහිංසකයකු අතර අරගලය නිසා දාමරිකයෙක් බවට පත් වූ හැටි. මේ කතාව තුළ හෝටලයක්, හිර ගෙයක්, මැතිවරණය පදනම් කරගෙන තමයි මෙය පෝෂණය වී තිබෙන්නේ. හොඳ ආදර්ශවත් අර්ථයක් ප්‍රේක්ෂකයාට ලබා දෙන විනෝදාත්මක පවුලේ සැමට එකට සිට නැරැඹිය හැකි නිර්මාණයක් කියන එක තමා කියන්න තිබෙන්නේ.

මෙයට දායක වන්නෝ?

මිලින්ද පෙරේරා, නිරෝෂන් කුමාර, කීර්ති දිසානායක, දිනේෂ් තිලකරත්න, හේමා වෙල්ගම, රෂ්මි පබෝධා, කුසුම් මල්දෙණිය, අයිරාංගනී තිලකරත්න, මයුර නිසල් සමඟ (සරත් විජේසිංහ) මම ද රඟපානවා.

1993 සිට මේ දක්වා ආ ගමන් මඟේ ඇති වූ බාධක?

මුල් කාලේ සිටි අය අයින් වුණා. අලුත් කට්ටිය අරන් පුහුණු කරන්න වුණා. දැනට මේ නාට්‍යය දොළොස් වතාවක් වේදිකා ගත කර තිබෙනවා. අපි අය කරන්නේ පොඩි මුදලක්. එය විකුණ ගන්නත් මම තනිව බස්වල කෝච්චිවල දන්න අයට කියා විකුණනවා. අපි නිර්මාණයක් කළාම අපට එය කරගෙන යන්න අත දෙන්න රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න නැති එක හරි අඩුවක්. අපට ණයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදා දෙනවා නම් බොහොම අගෙයි.

අපට ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමුද?

මම අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය දක්වා හැදෑරුවා. රැකියාව වශයෙන් පෞද්ගලික ආරක්ෂක නියාමක ලෙස කටයුතු කළා. ලේඛන කලාවට තිබෙන ආශාව නිසා උද්‍යානයක දවසක් කියන පොත ලිව්වා. ආර්ථිකය මට බරක් නැහැ. පවුලේ උදවිය කලා කටයුතු සඳහා මට ඉඩ දීලා තියෙන්නේ. දැන් මගේ සම්පූර්ණ කාලය නාට්‍යය සඳහා යොදවලා තිබෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව මුදල් ඉපයීම නෙමේ. මේ නාට්‍යය ජනතාව අතරට ගෙන යාමයි.

ඉදිරි බලාපොරොත්තුව?

තව නාට්‍යය පිටපතක් සකස් කර තිබෙනවා. ළඟදීම පුහුණුවීම් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. එයින් පසුව මේ නාට්‍යය දෙකම අරගෙන රට වටා යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ‘යකා මහත්තයා’ නරඹලා එයට ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව දෙමු?

මට ලියනවා නම් නො. 176, ඇතුගල් සෙවන, කලුගමුව, කුරුණෑගල. නැතිනම් මට කතා කරනවා නම් 0712970079 ඔස්සේ මා ඇමැතිය හැකියි.