වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: බැලුම් පුම්බන්න බෑ බනිස් කන්නම්: Sarasaviya e edition - Lake House - Sri Lanka

බැලුම් පුම්බන්න බෑ බනිස් කන්නම්

නව පරපුරේ නළු බට්ටෙකුට වෙච්ච කතන්දරයක් කියන්නයි මේ හදන්නේ. හැබැයි ඕං නම නම් අහන්න එපා. මොකද එහෙම නම දැම්මොත් ඒක ඔහුට හරි නැහැ. මොනවා වුණත් නළුවෙක්නෙ. ඔන්න මේ නළුවා ගමේ ඉඳන් කොළඹට ආව කෙනෙක්. ගමේදී ඔහු කල් ගෙවලා තියෙන්නේ බෝ පැලයක් වගේ. නමුත් ක්ෂේත්‍රයට ආවට පස්සේ එහෙම ඉන්න බැහැනෙ. (ඒක තමයි ඇත්ත) ඒ හින්දා ඔහු ටිකක් ඒ සමාජෙට ගැළපෙන විදිහට ඉන්න උත්සාහ කරලා. පළමුව කරලා තියෙන්නේ යාළුවෙක් එක්ක මත්පැන් බොන්න සෙට් වෙන එක. ක්ෂේත්‍රයේ හැමෝම මත්පැන් බොන්නේ නැති වුණත් කවුදෝ කෙනෙක් කියලා ෆීල්ඩ් එකේ ඉන්නවා නම් ටිකක් බොන්න ඕනෑ කියලා. ඒ හින්දා වෙන්න ඇති මේකා යාළුවෙකුත් එක්ක බීලා බැලුවේ. බීලා බීලා දැන් මිනිහට වෙරි. ඉතින් බාර් එක වහද්දියි කල්පනා වුණේ ගෙයක් දොරක් තියෙනවා කියලා. අලුතින්ම ගත්තු බයිසිකලේට නැගලා වෙරි මරගාතෙම ස්ටාර්ට් කරගෙන දැන් ඩබලම යනවා. ටික දුරයිලු යන්න ලැබුණේ පොලීසියෙන් බයිසිකලය නැවැත්තුවාලු. දෙන්නගෙම එතකොට වෙරි බැහැලා, හික්මීයෝ වගේ රාලහාමිලා ගාවට මේ දෙන්නා ගියාලු.

තමුසෙලා බීලා නේද?

රාළහාමි කෙනෙක් අඩි හප්පලා අහලා.

අලුත් නළුවා නැහැ කියන්න ඔළුව දෙපැත්තට වැනුවලු.

බීලා, තවත් බොරු කියන්නත් හදනවා. පුම්බනවා මේ බැලුම.

එහෙම කියපු රාළහාමි කෙනෙක් නළු බට්ටට බැලුම දීලා. ගමේ කොල්ලෙක් හින්දා ඔහු දන්නෙ නැතිලු මේ බැලුම් පුම්බන කතාව.

අනේ රාළහාමි මං බැලුම් පුම්බන්න ආස නැහැ. පුපුරයි කියලා බයයි.

නළුවා ගත්කටටම එහෙම කියලා.

එහෙනම් තමුන් මොනවටද කැමැති?

බනිස් කෑමේ තරඟයට. හැම අවුරුද්දකම ගමේ අවුරුදු උත්සවයේ බනිස් කාලා මං තමයි දිනන්නේ. රාළහාමි මාව ඒ තරඟයට දාන්න. බැලුම් පුම්බන්න නම් බැහැ.

නළුවා බයාදු ලෙස එහෙම කිව්වලු. ඒ කතාවට රාළහාමිලා දෙන්නටත් හොඳටම හිනා. එතැනින් පසුව මොකද වුණේ කියලා අර නළුවාගේ යාළුවා නම් මට කිව්වේ නැහැ.