|
පියාපත් ලද දඬු මොණරයක් ළඟ එන අලුත්ම චිත්‍රපටය හීරෝ නීරෝ
රවිඳු සෙමෙන් සෙමෙන් ගමන් කළේ කල්පනා බරිතවය. ඔහු දෙපා එසෙව්වේ සිය මිතුරා හමුවීමට යෑමටය. එක්වරම රවිඳුගේ නෙත ගැටුණේ බෝධියේ බෝපත්ය. මද පවන වැදී ඒ බෝපත් සෙලවෙන්නේ ලතාවකටය. ඔහු ඒ දෙසම බලාගෙන සිටියේය. සිතට රැගෙන එන්නේ පහන් හැඟීමකි. ඒ පහන් හැඟීම සිත තෙරපද්දීම පියගැටපෙළ නැංග ඔහු පා තැබුවේ වැලිමළුවටය. සුදු පැහැයෙන් දිලෙන වැලිමළුව බලන්නට ලස්සන ය. එහි පා නඟා ඇවිදින විට පාවලට දැනෙන්නේ අපූරු සුවයකි. ඒ සුවය පිළිබඳ සිතමින්ම රවිඳු වටපිට බැලුවේ වෙනදා පෙනෙන්නට සිටින මිතුරාට කුමක්ද වූයේ යන්නය. සුපුරුදු ලෙස ආවාසය දෙසට යන්නට සැරැසුණු ඔහුට ඈතින් ඇසුණේ ෆයිට් කරන ශබ්දයකි. ඔහු ඒ හඬ ඔස්සේ ඇවිද ගියේය. “ පොඩි හාමුදුරුවෝ සටන් පුරුදු වෙනවා.” රවිඳු සෙමෙන් තමාටම මුමුණා ගත්තේය. අවුරුදු දහයක් පමණ වයසැති මේ කුඩා ළමයා සටන් පුහුණුව අසා සිටියේ මහත් උනන්දු වෙනි. සැනෙන් ඔහු ඒ කාමරයේ දොර හැරියේය. “ තට්ටු කරලා දොර ඇරිය නම් හොඳයි නේද?” පොඩි හාමුදුරුවෝ මිතුරාට පැවසුවේ මේ අතර ය. එසැනින් නැවතත් දොර වසන්නට රවිඳු අමතක නොකළේ ය. “ දැන් ඉතිං වහන්න උවමනා නැහැ. ලොකු හාමුදුරුවෝ දැක්ක නම් දෙන්නටම හොඳට බැණුම් අහගන්න තිබුණා.” දොරෙන් ඇතුළට පිවිසීමට ඉඩහසර ළඟා කරමින් පොඩි හාමුදුරුවෝ පැවසුවේ පන්සලේ යම් නීතියක් ඇත්නම් ඊට ගරු කිරීම මැනවැයි සිතූ නිසා ය. “ රවිඳු එන්න ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.” පොඩි හාමුදුරුවෝ සිය පණ හා සමාන මිත්‍රයා සමඟ වැඩියේ යමක් පෙන්වා ඔහුව පුදුම කරවනු පිණිස ය. “ මාර භාණ්ඩයක් නේ.” පුදුමයට පත්වන රවිඳු පවසන්නේ විමතියෙනි. “ භාණ්ඩයක් නොවෙයි මේකට කියන්නේ බයිසිකලයක්. පොඩි හාමුදුරුවෝ රවිඳුගේ කතාව නිවැරැදි කළහ. “ කොහොන්ද මේක ලැබුණේ.” මෙවැනි බයිසිකලයක් තමන්ටද තිබුණේ නම් මැනවි යැයි රවිඳුට සිතුණේ ඉබේම ය. “ ඕක මට තාත්තාගේ යාළුවෙක් දුන්න එකක්.” පොඩි හාමුදුරුවන් රවිඳුගේ මුහුණම බලා සිටියේ මොහොතකටවත් වෙනතක් නොබලමිනි. “ පොඩි හාමුදුරුවන්ට කවුරුවත් නැහැ. මට අම්මා නැහැ.” සිය මිතුරාගේ මුහුණේ වූ සෝබර බව හඳුනා ගැනීමට උන්වහන්සේට වැඩි කාලයක් නොගියේය. “ඔයා බයිසිකලය අරගෙන යන්න.” රවිඳු පොඩි හාමුදුරුවන්ගේ මුහුණ බැලුවේ පුදුමයෙනි. මන්ද ඔහුගේ තාත්තා නම් කිසිදු දිනෙක මේ තරම් වටින බයිසිකලයක් අරන් නොදෙන වග රවිඳුට ඉර, හද මෙන් විශ්වාස ය. “ මේ බයිසිකලය මට” රවිඳුගේ දෙනෙතේ වූ කදුළු ගුලි දෙකක් එක්වරම බිමට පැන්න බව පොඩි හාමුදුරුවෝ දුටුවහ. ඔහු බයිසිකලය අත ගෑවේ දැඩි සතුටෙනි. තම මිතුරාගෙන් ලද තිළිණය රවිඳු පරිස්සමෙන් එළියට ගත්තේ ය. එහි නැඟුණු ඔහු තටු ලැබුණු කුරුල්ලකු සේ ඉගිල යන අයුරු පොඩි හාමුදුරුවෝ බලා සිටියේ මුහුණට නැගුණු මද සිනහවෙනි. අලුත්ම බයිසිකලය අපූරුය. එය පුළුන් පොදක් තරම් සැහැල්ලු ය. ඕනෑ ඕනෑ අතට හරව හරවා පදවන්නට තරම් වන සැහැල්ලු බව කදිමය. ඔහු නිවාස සංකීර්ණයේ එක් පෙදෙසක් පසු කළේ සිතුවාටත් වඩා ඉක්මනෙනි. වරක් ඔහු අත් දෙකම බයිසිකලයේ හැඩලය මතින් ඉවතට ගෙන බයිසිකලය පැද්දේය. රවිඳු නිවෙසට පැමිණියේ බයිසිකලය ලැබීම නිසා සිතේ ඇතිවුණු ප්‍රීතියත්, එහි නැඟ සිතේ හැටියට රවුම් යන්නටත් හැකි වූ ප්‍රීතියත් සමඟ ය. “ ඇයි ඔයා බයිසිකලය ලැබුණු වගක් ආන්ටිට නොකිව්වේ” රවිඳුගේ පියා රවිඳුගෙන් ප්‍රශ්න කළේය. “ නෑ කිසිම දෙයක් මට කියන්න උවමනා නැහැ. මම ඔයාලගේ කවුරුවත් නොවෙයි නේ.” ආන්ටි පැවසුවේ ද නෝක්කාඩු ස්වරයෙනි. “ ඉතිං අහන්න එපායැ කියන්න. ” රවිඳු කිව්වේ ගණනකට නොගෙනය. ඔහුට ඉස්පාසුවක් නොවූයේ බයිසිකලය නිවෙසට රැගෙන ආ පසුව එහි හැඩ බලන්නට ය. ඒ දෙස බලා සිටි නිවාස සංකීර්ණයේ ළමයි ඔහුට මැවී පෙනෙන්නට විය. අලුත්ම වර්ගයේ බයිසිකලයකින් හක්කලං කරන රවිඳු දුටු නිවාස සංකීර්ණයේ සිටින ළමයින් කණ්ඩායමේ සිටින ගැජට්, සීක්, කචල්, කරාටේ, ඉනොසන්ට්, නෙගිටිව් යන එකිනෙකා කජු ගස යටට රැස් වන්නේ ඉක්මනිනි. “ මොකද හිතන්නේ අපට වඩා හොඳ බයිසිකලයක් නේ. ” එක් අයෙක් තම සිතැඟි නැඟුණු අදහස සියල්ලන්ටම පැවසුවේ ඔවුන්ගේ අදහස් ද දැනගනු පිණිසය. “ ඒක ටුවෙල් ස්පීඩ් එකක්” තවත් අයෙක් පවසන්නේ රවිඳු බයිසිකලය පදින ලද වේගය සලකා ගෙන ය. “අපි දෙමුද බයිසිකලයට වැඩක්.” සියල්ලන්ගේම අවධානය යොමුව ඇත්තේ රවිඳුගේ බයිසිකලයට වැඩක් දෙන්නේ කෙසේදැයි සැලසුම් කරන්නටය. ළමයි ටික බලාගෙන සිටියේ රවිඳු බයිසිකලයේ නැඟී පැමිණෙන තුරුය. ඔහු හැමදාමත් මෙතැනින් යන්නේ මේ වෙලාවටය. එහෙත් ඈතින් පිම්මේ දුවගෙන පැමිණියේ නීරෝය. ඔවුන් එළන ලද උගුලට අසුවුණේ ඌ ය. ළමයින් එකිනෙකා මුහුණින් මුහුණ බලා ගත්තේ සිය අදහස සඵල නොවූ හෙයිනි. නීරෝ බේරා ගැනීමට ඔවුන් එතැනට රොක් වන්නේ ඉක්මනිනි. රවිඳු කඩයට ගියේ බඩු කිහිපයක් ගැනීමටය. බයිසිකලය අසලම සිටියේ නීරෝ ය. හදිසියේම ඇසුණු නීරෝගේ ස්වරය එන්න එන්නම උස්ව නැගෙයි. රවිඳු කඩයෙන් එළියට පැමිණියේ නීරෝ නොනවත්වාම බුරන්නේ ඇයිදැයි බලන්නටය. වාහනයට යට කිරීම නිසා ඌ සිටියේ කකුලක් උස්සා ගෙන ය. සිදු වූ සියලු දෙය ඔහුට සිතාගත හැකිය. ඉදිරියට පැමිණෙන රථය ඉදිරියේ රවිඳු සිට ගත්තේ ය. රථය බ්රේක් ගසා නතර කළේ විගසිනි. “මැරෙන්නද හදන්නේ ” ඩන්ස්ටන්ගේ පවුලටම සත්තුන්ගේ ලොම් අගුණ බව රවිඳුගේ මතකයට නැගුණේ එවිට ය. නීරෝ පිළිබඳ රවිඳුගේ සිතට පිවිසියේ දැඩි දුකකි. ඌට බෙහෙත් ගන්නට තාත්තා මුදල් නොදෙන බව නම් විශ්වාස ය. මේ වනවිට යහළුවන් වී සිටින ගැජට්, සීක්, කචල්, කරාටේ, ඉනොසන්ට්, නෙගිටිව් අද තමා තවම පාසල් යන්නට නොපැමිණියේ මන්දැයි සිතනවා නිසැක ය. “රවිඳු........ රවිඳු........” ඒ කතා කරන්නේ ඔවුන් නොවේද? “ මොකද ඔයා අද ඉස්කෝලේ යන්නේ නැද්ද? ” රවිඳු මුහුණ පා ඇති තත්ත්වය කියාපෑවේ ය. සියල්ලන්ම සූදානම් වූයේ නීරෝව වෛද්‍යවරයෙක් වෙත රැගෙන යෑමට ය. වෛද්‍යවරයාට නීරෝව පෙන්වූ ඔවුහු එකිනෙකාගේ මුහුණු බලන්නට වූහ. එකිනෙකාගේ අදහස් තේරුම් ගියා මෙන් ඔවුහු සිය කලිසම්වල පතුලට අත් රැගෙන ගොස් තමා ළඟ ඇති මුදල වෛද්‍යවරයාගේ මේසය මත තබන්නට වූහ. “අපිට ප්‍රශ්නයක් තිබෙනවා ඩොක්ටර්” සිනහවක් මුවඟට නඟා ගෙන ළමුන් දෙස බලා සිටි වෛද්‍යවරයා ගෙනාවේ අපූරු යෝජනාවකි. වෛද්‍යවරයා ළමුන්ට ගෙනා යෝජනාව කුමක්ද ? පාසල් නොයෑම නිසා ළමුන්ට කුමක් වේද ? නීරෝ සුව වේවිද? ලොම් විස ඩන්ස්ටන් නීරෝව අතුරුදන් කරයිද? මේ ගැන දැන ගැනීමට නම් ඔබට ළඟදීම තිරගත වීමට නියමිත ප්‍රදීප් මහේෂ්ගේ ‘හීරෝ නීරෝ’ චිත්‍රපටය නැරැඹීමට සිදුවනු නියතය.
|