|
තුෂාරා හා සුහද පැතුම බලන්නට මුල්ලේරියාවේ සිට මරදානට ආවේ පයින්
අමරණීය මතක වෙනුවෙන් වෙන් වූ පුදුම හතේ මෙවර පැමිණි විශේෂිත චරිතය සිනමාවට අසීමිතව පෙම් කරන්නා වූ අයෙක්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක් සේම චිත්‍රපට නිෂ්පාදකයෙන් සහ අධ්‍යක්ෂවරයෙක්ද ලෙසින් ඔහු කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කලාව කෙරෙහි වූ අපමණ ලෙංගතුකම නිසාමයි. එපමණක් නොව ඔහු පුංචි තිරයේ සේම රිදී තිරයේද නළුවෙකු ලෙසින් තම දායකත්වය ලබා දෙන්නේ අසීමිත ආදරයෙන්. සහන් විජේසිංහ. විජයග්‍රහණය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට පිවිසි ඔහුගේ ප්‍රථම ටෙලි නිෂ්පාදනය සක්විති කිරුළ යි. තුෂාරා චිත්‍රපටයේ නව නිෂ්පාදනය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි සහන් කලාකරුවන්ගේ සුබ සිද්ධිය උදෙසාද තම මෙහෙවර කැප කරන්නා වූ අපූරු කලාකරුවෙක්. සහන් සරසවිය පුදුම හතට පවසන්නේ ඔහුගේ සිත ගත් විශේෂිත චරිත පණ පොවන සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි.
පරසතු මල් - ගාමිණි ෆොන්සේකා පරසතු මල් සිංහල සිනාමවට විශේෂිත චිත්‍රපටයක් වූවා සේම එය මගේ ජීවිතයේත් නැරඹූ සුවිශේෂ සිනමා නිර්මාණයක්. පරසතුමල් චිත්‍රපටය මට දැනෙන්නේ කවියක් වගේ අපූරු කලා නිර්මාණයක් ලෙසින් එහි සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා බොනී මහත්තයා ලෙසින් කළ චරිත නිරූපණය වගේම අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පෙන්වූ ප්‍රතිභාවද අපේ සිංහල සිනමාවට විශේෂයි. ගැහැණිය, සුරාව, සංගීතය එක් වු විටදි මැවෙන සුන්දරත්වය ඔහු පරසතු මල් චිත්‍රපටයෙන් පෙන්වා දෙන ආකාරය ඉතාම ආකර්ශනීයයි. පරසතු මල් චිත්‍රපටය කෙරෙහි මා දැඩි ලෙස සමීප වීමට බලපෑ හේතු වූයේත් ඒ සුන්දරත්වය යි. සංගීතයටත් මගේ ජීවිතයේදී හිමි වෙන්නේ ඉතාම විශේෂිත වූ ස්ථානයක්. මා තුළත් ඒ සුන්දරත්වයට සමානකම් තිබෙන බව මට හැඟෙනවා. පරසතු මල් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකළේ ලයනල් අල්ගම විසින්. එම සංගීත නිර්මාණය ඉතාම විශිෂ්ටයි. පරසතු මල් චිත්‍රපටයට මම පුදුමාකාර විදියට ආදරය කරනවා.
‘පරවුණු මල් වල සුවඳ අතීතේ
තුෂාරා - විජය කුමාරතුංග තුෂාරා චිත්‍රපටය මම මේ දක්වා නරඹා ඇති චිත්‍රපට අතුරින් විශේෂිතම වූ චිත්‍රපටයක් ලෙසින් හඳුන්වන්න කැමැතියි. එදා යසපාලිත නානායක්තාර තුෂාරා නිර්මාණය කළේ සිංහල සිනමාවේ සොඳුරුතම යුගයේදීයි. එය ඒ කාලයේ ජනප්‍රියතම චිත්‍රපටයක් බවට පත් වෙලා තිබුණේ. මමත් චිත්‍රපට පිස්සුවෙන් හිටියේ ඒ කාලයේදීයි. මාලිනි – විජය වගේම එච්. ආර් ජෝතිපාල – ඇන්ජලීන් ගුණතිලකගේ යුග ගායනයන් සිනමාවට ගෙන ආවේ අපූර්වත්වයක්. මගේ ගම මුල්ලේරියාව. මුල්ලේරියාවේ සිට කොළඹ එල්ෆින්ස්ටන් ශාලාවට තුෂාරා බලන්න මම ආවේ පයින්. පයින් ඇවිත් පයින්ම ගෙදර ගියා. තුෂාරා චිත්‍රපටයට මම කෙතරම් ඇලුම් කළාද කීවොත් විසිහය වතාවක් මම ඒ විදියට තුෂාරා චිත්‍රපටය බලන්න ගියා. එක දවසක් එහි විජය කුමාරතුංගයන් වගේ ඇඳගෙන තමයි තුෂාරා බලන්න ගියේ. ඒ සුන්දර මතකය තව තවත් අමරණීයත්වයට පත් වුණේ 2007 වසරේදී මමත් තුෂාරා චිත්‍රපටයේ නව නිෂ්පාදනය කිරීමෙන්.
වැලිකතර - ජෝ අබේවික්‍රම වැලිකතර චිත්‍රපටය සිංහල සිනමාවට තවත් සුවිශේෂ චිත්‍රපටයක් වගේම මා කැමැතිම චිත්‍රපට අතරේ විශේෂිත ස්ථානයක් හිමිකර ගත් චිත්‍රපටයක්. එහිදී ගාමිණි ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කරට කර තරඟකාරී රංගනයන්හි නිරත වූ ආකාරය තවමත් මා සිත තුළ දර්ශනය වෙනවා. ඒ වගේමයි සුවිනීතා වීරසිංහගේ රංගනයක් කැපී පෙනෙන්නක්. “රජ දැක්මට අවසරද?” මේ දෙබස තවමත් මා සිත තුළ දෝංකාර දෙන්නා සේ ඇසෙනවා. ඒ වගේම මේ දක්වා මට සිනමාවේ රැඳී සිටින්න හැකියාව ධෛර්යය ලැබුණෙත් වැලිකතර චිත්‍රපටය නිසා බව කිව යුතුමයි. මා ඒ තරමටම සිනමා පිපාසාවෙන් පෙළුනු අයෙක්. වැලිකතර චිත්‍රපටයේ ජෝ අබේවික්‍රමයන්ගේ රංගනය මා සිත තුළ ඇති කළේ රංගනය පිළිබඳ කිසිදා නිම නොමවන උනන්දුවක්. අල්ලපු ගෙදර චිත්‍රපටයේ කපිල මල්කිරණ ලෙසින් විකට රංගනයක යෙදුණු ජෝ අබේවික්‍රමයන් එදා මුළු රටම හිනැස්ස වූවා. ඔහු සම්පූර්ණයෙන් වෙනස් කළ චරිතයක් ලෙස වැලිකතර චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතය මා දකිනවා. මේ දක්වා සිංහල සිනමාවේ ඔහු තරම් හාස්‍ය මතු කළ වෙනත් නළුවෙකු නොමැති බව මගේ හැඟිමයි. හාස්‍ය රංගනයේ සේම චරිතාංග නළුවෙකු ලෙසත් ඉතාම විශිෂ්ඨ රංග ප්‍රතිභාවක් පෙන්නුම් කළ රංගධරයෙකු ලෙසින් ජෝ අබේවික්‍රමයන් අපට විශේෂ වෙනවා.
දඩයම – රවීන්ද්‍ර රන්දෙණිය සිරිපාල හා රන් මැණිකා, සෙයිලම, සිරිමැදුර, අස්වැසුම වැනි චිත්‍රපටවල කා අතරත් කතා බහට ලක් වූ චරිත නිරූපණය කළත් මම රවීන්ද්‍ර අයියාගේ හොඳම රංගන දකින්නේ දඩයම චිත්‍රපටයෙන්. කෙළිලොල් තාරුණ්‍යයෙන් පිරි ගුරුවරයෙකුගේ චරිතයක් නිරූපණය කළ ඔහු රත්මලී නම් තරුණිය කුරිරු ලෙස ඝාතනය කිරීම දක්වා සැහැසි වන අයුරු නිරූපණය කළ ආකාරය ඉතාම විශිෂ්ට ලෙසින් මම දකිනවා. සුන්දරත්වය පිරි චරිතයක් තුළින් සැහැසි ලෙස කෲරත්වය විදහා දක්වමින් රවීන්ද්‍ර අයියා දඩයම චිත්‍රපටයේ කළ ඒ රංගනය දෙස මම බලා සිටියේ මවිතයෙන්. ඇත්තටම රංගනය පිළිබඳ බොහෝ පාඩම් ඒ තුළින් රංගනට උනන්දු කාටත් ඉගෙන ගන්නට තිබෙනවා.
දුහුළු මලක් - ටෝනි රණසිංහ දුහුළු මලක් චිත්‍රපටය සිංහල සිනමාවේ මා නැරඹූ සිනමා නිර්මාණ අතරේ විශේෂිත මතකයක් ලෙසින් සටහන් වූ තවත් චිත්‍රපටයක්. දුහුළු මලක් චිත්‍රපටයත් මා දොළොස් වතාවකට වඩා නරඹා තිබෙනවා. එහිදී ඔහුගේ චරිත නිරූපණය තුළ එම චරිතයේ ගති ලක්ෂණ නිරූපණය කළ ආකාරය ඉතාම විශිෂ්ට ලෙසින් මා දකිනවා. රංගන ශිල්පියෙකු ලෙසින් අදාළ චරිතය මනා ලෙස වටහා ගෙන එය සාර්ථක අයුරින් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එන්නට ටෝනි රණසිංහයන් සතුව තිබුණේ පුදුමාකාර හැකියාවක්. එහිදී සුරවීරගේ චරිතයෙන් රැකියාව, පවුල ආරක්ෂා කර ගැනීමට ඔහු දැක් වූ ඉවසීමේ ගුණය ඉතාම පුදුමාකාරයි. ඔහු අපේ සිනමාවේ ප්‍රතාපවත් රංගධරයෙක්. සිනමාව පිළිබඳ ඔහු සතු වූ දැනුම විශ්වකෝශයක් බඳුයි. ඇත්තටම ඔහුගෙන් අපට බොහෝ දේ ඉගෙන ගන්නට තිබුණා. පසුගියදා ටෝනි අයියා අප අතරින් සමුගෙන ගියත් ඔහුගේ විශිෂ්ට රංග ප්‍රතිභාව සිංහල සිනමාවේ අමරණීයයි.
සුහද පැතුම – තිස්ස විජේසුරේන්ද්‍ර අපේ සිංහල සිනමාවේ විශේෂ වූ චරිතයක් ලෙසින් තිස්ස විජේසුරේන්ද්‍ර හඳුන්වන්න පුළුවන්. මම ඔහු දුටුවේ සිංහල සිනමාවේ හොඳම බොළඳ පෙම්වතා ලෙසින්. ඒ වගේම ඔහුත් සිනමාවේ ඉහළ ආකර්ශනයත් දිනා ගත් නළුවෙක්. ඒ අතරේ ඔහු රංගනයෙන් දායක වූ සුහද පැතුම චිත්‍රපටය මා නැරඹුයේ තුෂාරා චිත්‍රපටය නරඹන කාලයේදීමයි. තුෂාරා තිරගත කළේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදීයි. ඒකාලයේදීම සුහද පැතුම මරදාන ගාමිණි හෝල් එකේ තිරගත කළා. මුල්ලේරියාවේ ඉඳලා පයින් එන මම එල්ෆින්ස්ටන් එකේ තුෂාරා බලලා ගාමිණි හෝල් එකට ඇවිත් සුහද පැතුමත් බලලාම තමයි ගෙදර ගියේ. ඒ නිසා සුහද පැතුමත් මම විසිහය වතාවක් නැරඹුවා. සුහද පැතුම චිත්‍රපටය ගැනත් මගේ හිතේ දැන් වෙනම පැතුමක් තියෙනවා. තුෂාරා චිත්‍රපටය වගේම සුහද පැතුමත් මගේ හිතේ සුවිශේෂ වූ නිසාම එයත් නව නිර්මාණයක් ලෙසින් අධ්‍යක්ෂණය කරන්න මා අදහස් කරගෙන සිටිනවා. අලුත් පරම්පරාව සහ නව තාක්ෂණයද සමඟින් අලුත් විදියට සුහද පැතුම යළිත් රිදි තිරයට ගෙන ඒම මගේ බලාපොරොත්තුවයි.
විජයග්‍රහණය විජයග්‍රහණය චිත්‍රපටය මගේ සිනමා ජීවිතයේ ආරම්භය කිව්වොත් ඉතාම නිවැරදියි. සිනමාව රංගනය පිළිබඳ පිපාසයෙන් පෙළුණු මට සිනමාවේ බලාපොරොත්තු වූ සිහිල් දිය පොද වුණේ විජයග්‍රහණය යි. විජයග්‍රහණය කියන්නේ මම ගොඩක් දුක් විඳලා නිෂ්පාදනය කළ චිත්‍රපටයයි. මම එය නිෂ්පාදනය කළේ අපේ මහගෙදර විකුණලා සහෝදරන් නවදෙනෙකු අතරේ බෙදී ගිය මුදලින් මට හිමි වූ කොටසෙනුයි. සිනමාව පිළිබඳ අප්‍රමාණ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටි මට විජයග්‍රහණය මගේ සිනමා ජීවිතයට විජග්‍රහණයක්ම වුණා. මම සිනමාවට එන්න ගොඩක් දුක් විඳපු කෙනෙක්. එක දවසක් අධ්‍යක්ෂවරයෙක් රඟපාන්න අවස්ථාවක් දෙන බව කියූ නිසා දර්ශන තලයට ගිය මම උදෑසන හයේ පමණ සිට හවස හයවන තුරු බලාසිටීම නතර වුණේ ක්ලාන්තය වී ඇද වැටීමෙන්. මගේ සල්ලිවලින් හරි චිත්‍රපටයක් නිර්මාණය කරලා සිනමාවට එනවා කියලා එදා අවසානයේ මම තීරණය කළා. වීණා ජයකොඩි, සනෝජා බිබිලේ, ටෙනිසන් කුරේ, ගෝතමි පතිරාජ වැනි රංගන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ රංගන දායකත්වයෙන් මම 1997 වසරේදී විජයග්‍රහණය චිත්‍රපටය නිෂ්පාදනය කළා. විජයග්‍රහණයේ කියවෙන්නේ මවකට අසිමිතව ආදරය කරන පුතෙකු පිළිබඳ කතාවක්. අජන්තා රණසිංහ ඒ වෙනුවෙන් ගී රචනා කළා. එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලීන් ගීත ගායන්යෙන් දායක වන විටදී සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. මගේ බලාපොරොත්තුව පරිදිම විජයග්‍රහණය කුසුම් චන්ද්‍රගමගේ විසින් එය අධ්‍යක්ෂණය කළා.
|