වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




බයිසිකල් හොරු වියරු මිනිසා සහ ප්‍රවේගය

බයිසිකල් හොරු වියරු මිනිසා සහ ප්‍රවේගය

ඉන්දියානු සිනමාව තරම් සිංහල සිනමාවට බලපෑ තවත් සාධකයක් නොමැති තරම්ය. 1947 වසරේ මුල්ම සිංහල කතානාද චිත්‍රපටය ලෙස එළි දකින කඩවුණු පොරොන්දුව වේදිකා නාට්‍යයක් පාදක කර ගත්තක් වුව ද චිත්‍රපටය මුලුමනින්ම නිර්මාණය වූයේ දකුණු ඉන්දියාවේ චිත්‍රපටයක හැඩතල ඇතිවය. මේ නිසාම ප්‍රවීණ සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ පසු කලෙක එය හඳුන්වා දී තිබුණේ ඉන්දියානු සිනමාවට තවත් භාෂාවක් එක්වීමක් හැටියටය. කෙටියෙන්ම කියනවා නම් සිංහල සිනමාව සහ දකුණු ඉන්දියානු සිනමාව සමඟ ඇති සබඳතාවය වර්තමාන තමිල්නාඩු ප්‍රාන්තයේ බිහිවීමටත් වඩා පැරැණිය.

තමිල්නාඩු ප්‍රාන්තය යනුවෙන් ඉන්දියාවේ දකුණු පාර්ශවයේ බෙංගාල බොක්කෙන් සහ ලංකාවේ මුහුදු තීරයෙන් සීමා වන කොටසට එම නාමය ලැබුණේ 1969 වසරේදීය. 1947 වසරේ සමස්ථ ඉන්දියාවම බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන්නට පළමුව අපේ ඇත්තන් අතර රුක්මණී දේවි, එඩී ජයමාන්න ඇතුළු පිරිස කඩවුණු පොරොන්දුව තනන්නටත්, ශාන්ති කුමාර්, එමලින් දිඹුලාන ඇතුළු පිරිසක් අශෝකමාලා චිත්‍රපටය තනන්නටත් ඉන්දියාවේ දකුණු පෙදෙසට ගියහ. සුද්දන්ගෙන් නිදහස ලද ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව දකුණු ඉන්දියාවේ වෙනම ප්‍රාන්තයක් වෙන් කරන ලද්දේ 1951 වසරේදීය. ඒ මදුරාසි ප්‍රාන්තය යනුවෙනි. පසුව තමිල්නාඩුව ලෙස නම් වන්නේ එකී ප්‍රාන්තයයි. 1947 සිට 1961 දක්වා කාලය ඇතුළත තැනූ සිංහල චිත්‍රපට නිෂ්පාදනය සඳහා අපේ පිරිස ගියේ මදුරාසි ප්‍රාන්තයටය. මදුරාසිය නැතිනම් වර්තමාන චෙන්නායි මෙන්ම කොයිම්බතූර්, සේලම්, මදුරෙයි ඇතුළු නගරයන්හි සිංහල චිත්‍රපට රාශියක් උපත ලදහ.

දෛවයෝගය තනන්නට මහාරාෂ්ඨයේ පූනා නගරයට යෑම හැරුණු විට වෙනත් කිසිදු සිංහල චිත්‍රපටයක් තනන්නට දකුණු ඉන්දියාවට අයත් සෙසු ප්‍රාන්තයන් වන කේරළය, කර්නාටකය හෝ අන්ද්‍රා ප්‍රදේශයට හෝ ගිය වගක් ඉතිහාසයේ සඳහන් නොවේ. මුලින් මුලින් දකුණු ඉන්දියානු ආභාෂය පමණක් ලැබූ අපේ සිනමාකරණය ප්‍රේම තරගය චිත්‍රපටයෙන් පසුව ගෙඩි පිටින් කොපි කරන්නට ද පටන් ගත්තේය. ප්‍රේම තරගය, සුජාතා, අශෝකා, ඇතුළු මුල් යුගයේ චිත්‍රපට මෙන්ම මේ ඊයේ පෙරේදා තිරගත වූ ප්‍රවේගය දක්වාම දෙමළ හෝ හින්දි චිත්‍රපට බහුතරයක් ඇසුරෙන් සිංහල චිත්‍රපට නිපදවිණ. එසේ නොමැතිව තනන ලද සිංහල චිත්‍රපට රාශියක් ද ශෛලිය අතින් නෑකම් කීවේ දකුණු ඉන්දියාවේ ගති ලක්ෂණවලටය. ජෝ අබේවික්‍රම හැරුණු විට අපේ විකට නළුවන් සියල්ලන්ම පාහේ අනුකරණය කරන ලද්දේ දකුණේ සිටි චන්ද්‍ර බාබුලා සහ නාගේෂ්ලාගේ රංගනයයි.

ඉන්දියාවේදී සිංහල චිත්‍රපට සෑදීම තහනම් කළ පසු මෙරටදී චිත්‍රපට තැනුව ද 1970 දක්වාම දකුණු ඉන්දියානු සිනමා ශිල්පීන් මෙරට රැඳී සිටියහ. එමෙන්ම එයින් පසු සිනමාව අතට ගත් බහුතරය ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් නැතහොත් සුවච කීකරු ගෝලයෝ වූහ. ටෙලිවිෂනය පැමිණි අලුත සමස්ථ සිංහල චිත්‍රපට කර්මාන්තයම කඩා වැටෙද්දී අපට පිළිසරණ වූයේ වීඩියෝ පට මඟින් රූපයෙන් රූපයට කොපි කරන ලද හින්දි හෝ දෙමළ චිත්‍රපටයන්ය.

ඒ වන විට දමිළ චිත්‍රපටවලට වඩා අනුකරණය කරන්නට තැත් කළේ හින්දි චිත්‍රපටය. 1982 වසරේ රූපවාහිනිය මෙරට සැරිසරන්නට පටන් ගැනීමත් සමඟ සිංහල චිත්‍රපට නිෂ්පාදනය කරන්නට යළි ගෙඩි පිටින් ඉන්දියානු චිත්‍රපට අනුකරණය කරන්නට පටන් ගැනීම එදා විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එම චිත්‍රපට අතිශය සාර්ථක වූ වග රහසක් නොවේ. මුල්වරට හින්දි චිත්‍රපටයක් වීඩියෝ පටයක් හරහා නරඹමින් අනුකරණය කරන ලද්දේ නැවත හමුවෙමු චිත්‍රපටය උදෙසාය. ඒ යසපාලිත නානායක්කාර සිනමාකරුවාණන්ය. එහි වගකීම ද ඔහු ප්‍රසිද්ධියේ බාර ගත්තේය. ඊළඟට වසර දහයක් පමණ මේ රැල්ල ගලා ගියේය. ලෝකයේ චිත්‍රපට ඉතිහාසය පුරා චිත්‍රපට අනුකරණය සුලබය උතුරු ඉන්දියාවේ තැනෙන චිත්‍රපට දකුණේත්, දකුණු ඉන්දියාවේ හැදෙන චිත්‍රපට උතුරේත් ප්‍රතිනිර්මාණය වීම සුලබ කරුණකි. හොලිවුඩ් චිත්‍රපට බොලිවුඩයේ ද, ප්‍රංශ, චීන, ජපන් චිත්‍රපට හොලිවුඩයේ ද ප්‍රතිනිර්මාණය වන කාරණාව කොයි කවුරුත් දන්නා එකකි. චිත්‍රපට අනුකරණය හෝ ආභාසය ලැබීමත් කිසි කලෙකත් වරදක් ලෙස දකින්නට මා නම් කැමැති නැත.

මේ දීර්ඝ ටිප්පනිය ලියන්නට මට සිදු වූයේ මේ දිනවල තිරගත වන ප්‍රවේගය චිත්‍රපටය ද එයට පාදක වූ පොල්ලාදවන් නම් දෙමළ චිත්‍රපටය ද නැරැඹූ පසුවය. සාමාන්‍යයෙන් මා පුරුද්දක් හැටියට සිංහල චිත්‍රපට පිළිබඳ මගේ අදහස් ප්‍රසිද්ධීයේ පළ කරන්නේ නැත. බලන්නට නොහැකි නම් අතරමඟ නැඟිට යනවා පමණි. මම ප්‍රවේගය මුළුමනින්ම නැරැඹුවෙමි. එහෙත් ප්‍රවේගය ගැන ලියන්නට මට සිතුණේ මෑත කාලයේ ලාංකික සිනමාවට යම් උත්තේජනයක් එය සපයනු ඇතැයි මා තුළ විශ්වාසයක් ඇති වුණ බැවිනි.

එක් අතකින් උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී පැල්බැඳගෙන ඇස්වහක් කටවහක් නැතුව දුවද්දී ප්‍රවේගය තිරගත වනුයේ අලුත් අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් හැටියටය. කොටින්ම ගින්දරී චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්තගේ නම ප්‍රවේගයේ අධ්‍යක්ෂ ලෙස සටහන් වේ. චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු ලෙස සරව් නැමැත්තෙකුගේ නම (ඔහුගේ සැබෑ නම සරවනන් බව චිත්‍රපටයට දායක වූ කිහිප දෙනෙක්ම මා සමඟ පැවසීය) සඳහන්ය. ප්‍රවේගය පිළිබඳ විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වනුයේ එය ඉන්දියානු අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයක් බවයි.

2007 වසරේ පොල්ලාදවන් (එහි සිංහල අර්ථය නරක මිනිසා ලෙස දැනගන්නට ලැබිණ) නම් දමිළ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ වෙට්‍රිමාරන් නම් තරුණ සිනමාකරුවෙකි. ඔහු පොල්ලාදවන් නිර්මාණය කරන විට තිස් දෙහැවිරිදි වියෙහි පසු විය. එය පසුව කන්නඩ බසින් පුන්ඩා නමින් ද, තෙළිඟු බසින් කුරාදු නමින් ද, බෙංගාලි බසින් බෝර්බාද් නමින් ද නිිර්මාණය විය. පොල්ලාදවන් එම වසරේ ඉන්දියාවේ ජාතික සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන යුගලම දිනා ගත්තේය. වෙට්‍රිමාරන් එම සම්මානය රැගෙන මුලින්ම පැමිණ තම ගුරුවරයා වූ ශ්‍රී ලංකාවේ උපත ලද බාලු මහේන්ද්‍රගේ දෙපා මුල තබා ගුරු දක්ෂිණාව පැවැත්වූවේය. වෙට්‍රිමාරන් පවසන පරිදි පොල්ලාදවන් පිළිබඳ අදහස ඔහුගේ සිතට එන්නේ ලොව විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙසට හඳුන්වන බයිසිකල් තීව්ස් චිත්‍රපටය නැරැඹීමෙන් අනතුරුවය. 1948 වසරේදී ඉතාලියේ විටෝරියෝ ඩි සිකා විසින් නිර්මාණය කරන ලද බයිසිකල් තීව්ස් චිත්‍රපටයට පාදක වනුයේ තම පාපැදිය කිසියම් කෙනෙකු විසින් සොරකම් කරනු ලැබීමෙන් ඛේදජනක ඉරණමකට මුහුණපාන මිනිසකු පිළිබඳ වෘතාන්තයකි.

එය එදා මෙදා තුර ලෝක සිනමාවේ බිහි වූ අති රමණීය සිනමා කාව්‍යයකි. ඩිසිකාගේ චිත්‍රපටයේ අන්තෝනියෝ රිචී මෙන් නොව වෙට්‍රිමාරන්ගේ තරුණයා වන ප්‍රභූ ගෙනයන අරගලය පොදු ගැටළුවක් බවට පත් වන්නේ නැත. එහෙත් වෙට්‍රිමාරන් නිර්මාණය කරන ලද චිත්‍රපටය 2007 වර්ෂයේ තිරගත වූ බොහෝ චිත්‍රපටවලට වඩා විචාරකයන්ගේ අවධානයට පාත්‍ර විය. එය සිංහලෙන් නිෂ්පාදනය වනුයේ එයින් වසර කිහිපයකට පසුවය.

චිත්‍රපට ප්‍රදර්ශනයේ ඇති විවිධ කඹ ඇදිලි මත එය තිරගත වනුයේ මෙම වසරේදීය. දිගු කලකට පසු ප්‍රවේගය සිංහල සිනමාවට ගෙනා ලොකුම දායාදය නම් අලුත් ගැටවරයකු සිනමාවට හඳුන්වාදීමත්, දීර්ඝ කාලයක් සිහිපත් කළ හැකි දුෂ්ටයකු ඉස්මතු කරවීමත්ය. මේ දුෂ්ටයා නැතහොත් බ්‍රැන්ඩෝගේ චරිතය දමිළ චිත්‍රපටයෙහි කිෂොර් විසින් නිරූපණය කරනු ලබන සෙල්වම්ගේ චරිතයට එහා යන චරිතයක් බවට පත් වේ. ඕනෑම හිස් චරිතයක් හොඳ නළුවකුට ඇට මස් ලේ සම් සපයා ජීවය දිය හැකි බවට පසුගිය වසර දෙක තුන තුළ සිංහල සිනමාවෙන් මා දුටු හොඳම උදාහරණය ජැක්සන් ඇන්තනී විසින් නිරූපණය කරනු ලබන බ්‍රැන්ඩෝගේ චරිතයයි. මෙම චරිතය ගොඩ නැංවීමේදී ස්්වාධීන වන්නට ශ්‍රී ලාංකීය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට හැකි වී ඇත.

බ‍්‍රැන්ඩෝ මරා දැමීමෙන් පසු ඔහුගේ දේහය දමිළ චිත්‍රපටයේ අපි දකිනුයේ මිනී කාමරයේ සිට ට්‍රොලියක දමාගෙන ආපසු මධ්‍ය සමීප රුවකිනි. එහෙත් වඩා නිර්මාණශීලී වූ ලාංකික චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා එම දේහය අපට පෙන්වා දෙනු ලබනුයේ අවමංගල්‍ය රථයකින් බාගත් පසු වහා විවර කරන ලද මිනී පෙට්ටියක සැතප වූ පසුවය. එය ද උඩුකුරු කෝණයකිනි. මෙම දැක්ම සමඟ ඒ වන විට දුෂ්ටයකු නොව ප්‍රතිවීරයකු ලෙස ගොඩ නැඟුණු බ්‍රැන්ඩෝ දකින ප්‍රේක්ෂකයකු කම්පාවට පත්වීම වලක්වා ගත නොහැකිය. අපේ සිනමාවේ විශිෂ්ට නළුවන් කෙතෙක් සිටිය ද එහි වීර පෞරුෂය මුල්වරට ඉස්මතු කරන ලද්දේ ගාමිණී ෆොන්සේකා විසිනි. එහි ජීවත් වූයේ භද්‍ර යෞවනයාය. විජය කුමාරතුංගයන් ද අපේ සිනමාවට එම යෞවනය තිළිණ කළේය. ජනප්‍රිය සිනමාවේදී වීරයන් පිදීම සුලබ කරුණකි. එය සිනමාවෙහි අත්‍යවශ්‍ය සාධකයකි. කර්මාන්තය බිඳ වැටෙද්දී සිංහල සිනමාවේ සුපිරි වීරයා ලෙස එය රැක ගත්තේ රන්ජන් රාමනායක බව විචාරකයන්ගේ ද මතය විය. ඔහු ද නියෝජනය කරන ලද්දේ භද්‍ර යෞවනයයි.

සිනමාවේ අනාගතය පවත්වන්නට නම් අලුත් වීරයකුගේ පැමිණීම අවශ්‍ය කරුණකි. ප්‍රවේගය හරහා හේමාල් රණසිංහ නම් නවක නළුවාගේ පැමිණීම වසර ගණනාවකට පසු තවත් එබඳු හැඩරුව ඇති ඉලන්දාරියකුගේ පැමිණීමක් ලෙස අපි විශ්වාස කරමු. ඔහුට නටන්නට ද හැකිය. කමිසය ගලවා ගහ ගන්නට ද හැකිය. ඒ කරුණු දෙකම මෙන්ම ඔහුට රඟපාන්නට ද හැකිය. ප්‍රවේගය චිත්‍රපටයෙහි ඔහු මෙහෙයවනු ලබන්නේ ප්‍රභූ ලෙස රඟපෑ ධනුෂ්ගේ ආකෘතියටමය. එහෙත් හේමාල් තමාට ලැබෙන හැම ඉඩකඩක්ම හොඳින් වටහාගෙන තම අනන්‍යතාව ගොඩනගන්නට සමත්වීම හේතුවෙන් ඔහු පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීම යුක්ති සහගත යැයි අපේ සිත අපට බල කරයි. මේ ප්‍රශස්තියෙන් උදම් නොවන්නට යැයි ද මේ සමඟ ලියන්නට කැමැත්තෙමි. ඔහු සිය මුල් චිත්‍රපටය වූ සුපර් සික්ස් චිත්‍රපටයේ ද කැපී පෙනෙන ලකුණු පළ කළේය.

ඉන් එහා ගොසින් ප්‍රවේගයේදී ඔහු ස්ථිර අඩිතාලමක් දමා ගත්තේය. ලාංකික සිනමාවෙහි විශිෂ්ට නළුවන් වන්නට දකුණු ඉන්දියවේ චිත්‍රපටවලට ජීවය දීමෙන් පමණක් ප්‍රමාණවත් නොවේ. වඩා හොඳ චරිත සොයා ගැනීම ද කළ යුතුය. කවර බැරිකම් මැද්දේ වුව ද නිතර දෙවේලේ ටෙලිවිෂනයේ නොපෙනී සිටීම ද කළ යුතුය. ගාමිණී හෝ විජය ජීවත් වූ සිනමාවේ ස්වර්ණමය යුගය බිඳ වැටුණු පසු සුපිරි තරුවක ලෙස ගොඩ නැගෙන්නට රන්ජන් එකී දුෂ්කර මාර්ගයේ ගමන් කළා මට මතකය. ප්‍රවේගය සිනමා ඉතිහාසයෙහි අත්පත් කර ගන්නා වූ ස්ථානය ගොඩ නංවාලනුයේ හේමාල් සහ බ්‍රැන්ඩෝ විසින් නිරූපණය කරන ලද චරිත සිනමා රසිකයන්ගේ සිතෙහි ලැගුම් ගන්නා ඉඩකඩ අනුවය. ඒ පිළිබඳ සටහන් කරන්නට කැමැත්තේ සිනමාව යනු හැමවිටම දැවැන්ත ආයෝජනයක් ලෙස මා අදහන හෙයිනි.