වර්ෂ 2015 ක්වූ ජූලි 09 වැනිදා බ්‍රහස්පතින්දා




බනිනව නම් බනින්න හොඳ කියනවා නම් කියන්න

බනිනව නම් බනින්න හොඳ කියනවා නම් කියන්න
 

- සුගත් සමරකෝන් 23 වසරකට පසු යළිත් වේදිකාවට

එදා අමල් බිසෝ, දේශපාලුවා, සාගරයක් මැද්දේ, උතුරේ රාහුල හිමි, කොමාන්ඩෝ දියසේන වැනි ආන්දෝලනාත්මක නාට්‍යය රැසක් එකල නිර්මාණය කළ සුගත් සමරකෝන් යළිත් වේදිකාවට ගොඩ වෙයි. ඒ මෙම මස 11 වැනිදා සවස අනුරාධපුර යොවුන් රඟහලේදීය. නාට්‍යයේ නම වී. අයි. පී. සුන්දර බණ්ඩා. සුන්දර බණ්ඩා වනුයේ සුගත්ගේ පුතු සංජය සමරකෝන්ය. එය සංජයගේ පළමු වේදිකා නාට්‍ය රංගනය වීම ද විශේෂත්වයකි. එමෙන්ම පුංචි තිරයේ ජනප්‍රිය නිළියක් මෙන්ම නිවේදිකාවක ද වන විනූ සිරිවර්ධන ද සුන්දර බණ්ඩා සමඟින් වේදිකාවට පිවිසෙන්නීය. සුන්දර බණ්ඩා ගැන තවත් බොහෝ දේ කතා කිරීමට එහි නිර්මාණකරු වූ සුගත් සමරකෝන් අපි හමු වුණෙමු.

සුගත් ඔබ දිර්ඝ කාලයක් සිටියේ විදෙස් ගත වෙලා. ලංකාවට ආ සැනින් චිත්‍රපට තුනක් නිර්මාණය කළා. ඉන් දෙකක්ම ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගතව අවසන්. ඒ වගේම ඔබ එක දිගට චිත්‍රපට හතක් නිර්මාණය කරනවා කියලත් මාධ්‍යයට දැන්වූවා. ඒ අතර කවුරුත් නොසිතූ ලෙස ඔබ වේදිකා නාට්‍යයක් කිරීමටත් යොමු වුණා?

මා අවසන් වතාවට වේදිකා නාට්‍යයක් නිර්මාණය කළේ 1992 අවුරුද්දේ. ලංකාවට ආවට පසුව කඩින්කඩ පරණ නාට්‍යක් දෙකක් වේදිකා ගත කළා. නමුත් ඔබ කිව්වා වගේ ප්‍රේ්ක්ෂකයෝ මගෙන් දිගින් දිගටම බලාපොරොත්තු වුණේ සිනමා නිර්මාණ. ඒත් සිනමාකරුවකු විදිහට එක්තරා තැනක සුගත් සමරකෝන් කියන නිර්මාණකරුවා හිර වුණා.

ඒ කොතෙන්දිද?

මේ වන විට සිංහල සිනමාව අම්මා අප්පා නැති දරුවකු බවට පත් වෙලා තියෙනවා. සිනමාවේ වගකිවයුතු තීන්දු තීරණ දෙන්න කෙනෙක් නැහැ. සිනමාවට සම්බන්ධ ආයතන නමට පමණයි තියෙන්නේ. මං අන්තිම වතාවට නිර්මාණය කළ අපේ කාලයේ පටාචාරා තිරගත කිරීමට තවම දින ලැබුණේ නැහැ. ඒ චිත්‍රපටය වෙනුවෙන් මගේ නිෂ්පාදක කෝටි තුනකට ආසන්න මුදලක් වැයකොට ඉවරයි. ඉතින් මං කොහොමද ඒක තිරගත නොකොට තවත් චිත්‍රපට කරන්නේ. මං ටිකක් නිහඬ වුණා. ඒත් කලාකරුවො විදිහට මට නිකම් ඉන්න බැහැ. මොනවා හරි කරන්න ඕනෑ. ඒකයි මේ නාට්‍ය පටන් ගත්තේ. අනික වේදිකාව කියන්නේ මගේ තිඹිරි ගෙය. ඒක අමතක කරන්න බැහැ. ඒ වගේම කිසිවකුගෙන්වත් උදව් නැතුව නිර්මාණ කරන්න පුළුවන් එකම තැන තමයි වේදිකාව. මේ නාට්‍යයේ හැම තීරණයක්ම ගත්තේ මං.

සුන්දර බණ්ඩා අන්තර්ගතය ගැන කතා කළොත්?

සමස්ථ ලෝකයේ සමාජවාදී සහ ධනවාදී කඳවුරු දෙකේ ගැටීම තමයි මෙමඟින් පිළිබිඹු වෙන්නේ.

ඔබ කියු දේ සරලව පැහැදිලි කරන්න?

ධනවාදීන්ට ගැතිකම් කරන පිරිසක් ඉන්නවා. ඔවුන් නිසා ධනවාදීන් රැකෙනවා. ආරක්ෂා වෙනවා. ජනතාව අසරණයි. ජනතාව සෑම දවසකම දුකින් ඉන්නේ. පාලකයෝ ඇති තරම් භෞතික සම්පත් භුක්ති විඳිනවා. මේ කතිකාවතයි මං සුන්දර බණ්ඩා හරහා විවරණය කරන්නේ.

සුන්දර බණ්ඩා යන නම ඇසේද්දීම අපට හිතෙන්නේ එය හාස්‍යයට බර වූ වේදිකා නාට්‍යයක් කියලා? මම හරිද?

ඔව් හරි.

හාස්‍යෝත්පාදක නාට්‍යයක් හරහා ඔබ පැවසූ බරපතල මතවාද එළි දක්වන්න පුළුවන්ද?

මොකද බැරි. ඕනෑම බැරෑරුම් විෂයක් ඉතාම සරල අන්දමින් කියාදෙන අන්දම මං දන්නවා. මං මේ නාට්‍ය පවුලේ ඕනෑම කෙනෙකුට රස විඳින්න පුළුවන් විදිහටයි ලියලා තියෙන්නේ.

ඔබ සතුව ඇති දේශපාලන චින්තනය සුන්දර බණ්ඩාට ගොනු කොට සමාජගත කරනවා කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්?

නැහැ. මගේ දේශපාලන චින්තනය වේදිකා නාට්‍යයක් හරහා සමාජයට දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි කලාකරුවකු විදිහට මගේ චින්තනයයි මෙහි අන්තර්ගත වන්නේ.

සුන්දර බණ්ඩා නාට්‍යයේ සුන්දර බණ්ඩා වන්නේ සංජය සමරකෝන්. ඒ කියන්නේ ඔබගේ පුතා. වේදිකාවට පය නොතැබූ අයකු ප්‍රධාන චරිතයක් දී වේදිකාවට ගත්තේ ඇයි?

සුන්දර බණ්ඩා අවිහිංසාවාදී නායකයෙක්. එම චරිතයට සංජයව හොඳට ගැලපුණා. ඔහු නාට්‍යකරණය පිළිබඳ පිටරට ගිහින් ඉගෙන ගත් අයෙක්. ඒත් ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ. මාත් ලංකාවට ආව ගමන්ම චිත්‍රපට කළේ. මං හිතුවා මගේ නාට්‍ය හරහා පුතාව කලඑළි දක්වන්න.

ඒ වගේම ඔබ විනු සිරිවර්ධනව මෙහි ප්‍රධාන චරිතය ලබා දෙනවා. ඇයි විනු වගේ කෙනෙක්ව නාට්‍යයට ගත්තේ?

මං තමයි ඇයව සිනමාවට හඳුන්වා දුන්නේ. ඒ ගෞරවය තවමත් ඇයගේ සිතේ තියෙනවා. විනුට වේදිකා නාට්‍ය රැසකට ආරාධනා කරලා තිබුණත් ඇය ගියේ නැහැ. නමුත් මගේ නාට්‍යට ආවා. විනු මෙය මල්සර දෝනි වගේ ලස්සනම ලස්සන චරිතයක් රඟපානවා. ඒ චරිතයට ඇය මනා සාධාරණයකුත් ඉටු කළා. විනු හරිම කීකරු ළමයෙක්. දඩබ්බර අය අරගෙන වේදිකා නාට්‍ය කරන්න බැහැනෙ. මේ කරුණු කාරණා මත විනුව මං මේ චරිතයට ගත්තා.

සුන්දර බණ්ඩාගේ මංගල දැක්ම ඔබ පවත්වන්න තීරණය කරන්නේ අනුරාධපුරේ. සාමාන්‍යයෙන් නාට්‍යක මංගල දැක්මක් තියෙන්නේ කොළඹ?

අනුරාධපුරය කියන්නේ අපිට තියෙන සුවිශේෂීම පූජා නගරය. මං හිතුවා එවන් වූ තැනකින් මගේ අලුත්ම වැඩේ පටන් ගන්න. අගෝස්තු මාසේ පළමුවැනිදා සුන්දර බණ්ඩාගේ කොළඹ දර්ශනයක් පැවැත් වෙනවා. ඒ බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී.

ඔබ දශක කිහිපයකට පෙරාතුව වේදිකාවට එකතු වූ අයෙක්. එදා වේදිකා නිර්මාණ සහ අද වේදිකා නිර්මාණ අතර වෙනස කොහොමද දකින්නේ?

එදා වේදිකාවේ මහා පෞඪත්වයක් තිබුණා. අද ඒක නැහැ. වර්තමානය වන විට වේදිකා නාට්‍ය කියලා වෙන මොනවදෝ එකක් කරන්නේ. මිනිස්සු නාට්‍ය නළු නිළියන්ව හැබැහින් දකින්න එනවා. එහෙම දැකලා හිස් අතින් ගෙදර යනවා. කෙටියෙන්ම කිව්වොත් අද නාට්‍ය කලාව අන්තෙටම පිරිහිලා.

ඔබ දැන් කිව්වා බහුතරයක් ප්‍රේක්ෂකයෝ නළු නිළියන්ව බලලා යන්න නාට්‍යාගාරයට එනවා කියලා. විනු හැර ඔබේ නාට්‍යයේ ජනප්‍රියම කෙනෙක් නැහැ. ඉතින් ඔබේ නාට්‍ය බලන්න සෙනඟ ඒවිද?

ප්‍රේක්ෂකයෝ ගොනාට අන්දවන්න බැහැ. බුද්ධිමත් ප්‍රේක්ෂක කණ්ඩායමක් අදටත් අප සමාජයේ ඉන්නවා. ඔවුන් මේ නාට්‍ය බලාවි. නාට්‍ය බලලා මනසට යමක් එකතු කරගෙන ගෙදර යාවි.

ඔබගෙන් හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යක් බලාපොරොත්තු නොවුණ අයට මොනවද කියන්න තියෙන්නේ?

ඇවිත් බලන්න. බලල තීරණය කරන්න මේක මොකක්ද කියලා. බෙහෙත කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ ලේබලය වර්ණවත් නැත්නම්. මං හොඳ බෙහෙතක් හැදුවා. ලේබලයත් වර්ණ ගැන්වූවා. පුහු ආටෝපයක් නෙවෙයි. සුන්දර බණ්ඩා නරඹලා බනිනව නම් බනින්න. හොඳ කියනවා නම් කියන්න.

සුන්දර බණ්ඩා රංගනයෙන් හැඩකරන පිරිස සඳහන් කරමු?

සංජය, විනුට අමතරව රින්ස්ලි වීරරත්න, රංජිත් විතාරණ, නලීන් ගුරුගේ, සුරංග චන්ද්‍රසිරි, නෝබට් පෙරේරා, ලසන්ත සමරකෝන්, ෆිලීෂියන් පෙරේරා, ප්‍රියංග විශ්වජිත්, වසන්ති සෙනරත්, ප්‍රියා විතානාරච්චි, සත්‍ය ලක්මාලි මෙයට රංගනයෙන් එකතු වෙනවා. සුන්දර බණ්ඩා සමන්ත වීරකෝන්ගේ නිෂ්පාදනයක්.