වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලි නාට්‍ය තැනුවාට තවම මට මුහුදු කොල්ලකාරයෝ හමු වෙලා නෑ

ටෙලි නාට්‍ය තැනුවාට තවම මට මුහුදු කොල්ලකාරයෝ හමු වෙලා නෑ

- කපිතාන් ප්‍රියන්ත ද සිල්වා

නැව් කපිතාන්වරයකු සිනමා පුවත්පත් කලාවේදියකුට හමුවන්නේ කලාතුරකිනි. එබඳු කෙනෙකු සරසවියට ගොඩ වන්නේ එහෙමත් කලාතුරකිනි.

ඔහු කපිතාන් ප්‍රියන්ත ද සිල්වාය. නැවක ගෙවන ජීවිතය කාලයත් සමඟ ප්‍රියන්තට ඒකාකාරී වී තිබිණ. ඔහු කලාවට පිවිසෙනුයේ ඒ හුදකලාව තරමක් හෝ මකා දැමීමේ අටියෙනි. වසර ගණනාවක් නැව් සමඟ ජිවිතය ගෙවා දැමූ කපිතාන් ප්‍රියන්ත තමන් කලාවට ආදරය කළ අන්දම අප හා මෙසේ බෙදා ගත්තේය.

කපිතාන් ප්‍රියන්ත, මා කැමැතියි ඔබේ අතීතයට මඳක් ගිහිල්ලා එන්න?

මං ඉපදුණේ කොළඹ. ඉගෙන ගත්තේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන්. ඉස්කෝලේ අපිට සාහිත්‍ය ඉගැන්නුවේ ගරු මර්සලීනු ජයකොඩි පියතුමා. එතුමාණන් සාහිත්‍ය පිළිබඳ උගන්වද්දී ඇසිපිය නොහෙලා අප බලාගෙන හිටියා. කවි කියලා දෙන අන්දම අහන් ඉන්න ආසයි. මේ ආභාෂය මාව සාහිත්‍යයට ගොඩක් ළං කළා. හැබැයි පාසලෙන් අයින් වුණාට පසුව මට වෘත්තියක් කරන්න උවමනාව ඇති වුණා. 1973 ආධුනික කැඩෙට් නිලධාරියකු හැටියට මං සේවයට බැඳුණා. ක්‍රම ක්‍රමයෙන් රැකියාවෙහි ඉහළට ගොස් කපිතාන් කෙනෙක් බවට මා පත් වුණා.

ඔය කාලය අතරතුරදී කලාවට එකතු වන්නට ලැබුණේ නැතිද?

මං හිතේ තිබුණ ආසාවට කෙටි කතා කිහිපයක් ලිව්වා. නමුත් පබ්ලිෂ් කළේ නැහැ.

හේතුව?

මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ මුහුදේ. පොතක් ලියලා පළ කරන්න තරම් විවේකයක් තිබුණේ නැහැ. වෙලාවකට එපා වෙනවා. මේ හින්දම වැඩිදුර කලාවේ නියැලෙන්න තියෙනවා නම් කියලා හිතුණු වාර අනන්තයි.

කොහොම හරි ඔබ ඒ අභියෝගය ජය ගන්නවා?

අනිවාර්යයෙන්ම. ඒක වුණේ මෙහෙමයි.

මං කපිතාන් කෙනෙක් වුණාට පස්සේ මට විවේකය ලැබුණා වැඩියි. ඔන්න ඒ අවස්ථාවන්වලදී මං ලේඛනයට යොමු වුණා.

කැප්ටන් කෙනෙකු වුණාට පසු වගකීම් වැඩි වෙනවා නොවේද?

මෙහෙමයි, එක දිගට මාස හතරක් විතර වැඩ කළායින් පසුව මාස 2 කට ආසන්න කාලයක් මට නිවාඩු ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී මාස හයක් එක දිගට නිවාඩු. ඒ කාලයේදී තමයි මං නිර්මාණයන්ට එක් වුණේ.

ඔබ නවකතාකරණයට පිවිසෙන්නේ ඔය යුගයේ නේද?

ඔව්. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ පදිංචිය ඇමරිකාවේ. මං එහිදියි මගේ පළමු නවකතාව ලිවවේ. එකේ නම සිඳු රළ අතරින්. ඒක ඉංග්‍රීසි නවකතාවක්. මම ඇමරිකාවේ මං හිටපු ප්‍රාන්තයේ ඒ නවකතාව බෙදා හැරියා. හොඳ ඉල්ලුමක් තිබුණා.

ඔබේ දෙවැනි නවකතාව ඔබේ දෛවය පවා වෙනස් කරනවා.

ඇත්තටම ඔව්. ඒකත් ඉංග්‍රීසි නවකතාවක්. සවුන්ඩ් ඔෆ් මෙනි වෝටර්ස් යනුවෙන් එය නම් කළේ. මට එහි දෙවැනි පරිච්ඡේදය සිංහලයට පරිවර්තනය කරන්න වුවමනා වුණා. මට මතක් වුණේ අපේ රංජිත් කුමාර මහත්තයා. එතුමා මගේ හිතවතෙක්. මං ඒ කාරණය කියලා නවකතාව දුන්නා. ඔහු එය කියවපු සැනින් මට කතා කරලා කිව්වා මේක නාට්‍යයකට සුදුසුයි කියලා. ඔහු මට අධ්‍යක්ෂ සුනිල් කොස්තා මහතාව හඳුන්වා දුන්නා.

ඒ ඔස්සේ පියස නම් වූ නාට්‍යත් ඔබ අතිින් නිෂ්පාදනය වුණා?

සුනිල් කොස්තා නාට්‍ය ගැන බොහෝ දේ පැවසුවා. ඔහුට ඕනෑ වුණේ හොඳ නිර්මාණයක් කරන්න. කලාවේ කාලය ගත කරන්න අවස්ථා හොයමින් සිට මට එය මගේ ජීවිතයේ ටර්නිං පොයින්ට් එකක් වුණා. මමයි තව යාළුවො කිහිප දෙනෙක් එකතු වෙලා නාට්‍යය නිෂ්පාදනය කළා.

මේ කාලයේ නාට්‍යකට සල්ලි දාන්න බය හිතුණේ නැතිද?

ඇත්තම කිව්වොත් මගේ අතේ සම්පූර්ණ මුදල තිබුණේ නැහැ දමන්න. ඉතා සුළු කාලයක් ඇසුරු කළ අය තමයි ඉතිරි මුදල දැම්මේ. එහෙම වුණේ මේ කෘතියේ තියෙන වාසනාවට. ඉතින් මං මොකටද බය වෙන්නේ.

පියස නාට්‍ය නිර්මාණය කරන අන්දම ගැන ඔබ තෘප්තිමත්ද? මම ඇහැව්වේ ඔබේ නවකතාවට ඒ මඟින් සාධාරණයක් වුණාද කියලා?

අපි දැනට කොටස් 25 ක් කරලා ඉවරයි. ඒවා බලද්දී මට ගොඩක් සතුට දැනුණා. අපට යම් යම් බාධක ආවා. ඒත් හැම දෙයක්ම මැඬගෙන ඉදිරියට ගියා. මට දැනට අවුලක් නැහැ. මගේ කෘතියට සුනිල් හොඳ සාධාරණයක් ඉටු කළා.

ස්ථිරව ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැතිද?

මං ලංකාවට එන්නේ නිවාඩුවට. ඒත් මගේ වෘත්තියත් එක්ක එක දිගට මෙහෙ ඉන්න අමාරුයි. පියස නාට්‍යයේ ඊළඟ අදියරට මුදල් යොදවන්නේ මං තනියම. එතකොට නම් දිගු කාලයක් මෙරට රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා.

කපිතාන් කෙනෙකු විදිහට ඔබ මුහුණ දුන් බිහිසුණුම අත්දැකිම ගැනයි ඊළඟට මා අහන්නේ?

රතු මුහුදේ එක්තරා පටු ස්ථානයක් තියෙනවා. බොහොම පරිස්සමින් තමයි එතැන තරණය කළ යුතු වන්නේ. ඔන්න දවසක්දා සැර කුණාටුවක් තිබුණු දවසක එතැනින් අපට යන්න වුණා. රැල්ලත් ඉතාම වැඩියි. නැව පැද්දෙනවා තොටිල්ල වගේ. ඔන්න දැන් මට පේනවා අඩි ගාණක උස රැල්ලක් නැව පැත්තට එනවා. ඒ වෙලාවේ කරන්න ඕනෑ නැව ටිකක් අයිනට ගන්න එක. ඒත් මුහුදේ අනිත් අන්තයේ තිබුණේ ගල්පරයක් හින්දා එහෙම කරන්නත් බැහැ. මගේ එහා පැත්තේ හිටපු මගේ සහායක රැල්ල දෙස බලලා මට කිව්වා 'ගුඩ් නයිට්' සර් කියලා. ඒ කියන්නේ අවසානය තමයි දැන් අපගේ. මං කළේ දෙවියන්ට යාඥා කරපු එක. පුදුමයි රැල්ල ඇවිත් වැදුණේ සැර බාල වෙලා. නැව පෙරලුණේ නැහැ. ඇත්තටම එදා නම් පුදුම විදිහට බය වුණා. මං හිතුවේ එදා තමයි මගේ අවසාන දවස කියලා.

මුහුදු මංකොල්ලකාරයින් ඔබට හමු වෙලා නැතිද?

තවම නැහැ. අපි යන නැව්වල ආරක්ෂක පද්ධතිය ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඔවුන් ආවොත් ඒවටත් මුහුණපෑමට සූදානම්.

මොකක්ද ඔබේ ඊළඟ කලා නිර්මාණය?

තව කතාවක් ලියන්න තියෙනවා. ඒක ළඟදීම ලියන්න හිතාගෙන ඉන්නවා. පියස විකාශය කරලා තමයි ඊළඟ නිෂ්පාදනය ගැන හිතන්නේ.