වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




පිණිමුතු වැස්සේ මැගී අම්මා

පිණිමුතු වැස්සේ මැගී අම්මා

සිරස ‘තරු මංසල’ වැඩසටහනෙන් රංගන ක්ෂේත්‍රයට මං විවර කර ගන්නා ප්‍රියංගනි කැකුළුවලගේ මේ දිනවල ඔබගේ නිවෙසට පැමිණෙන්නේ ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය වන ‘පිණි මුතු වැස්සේ ’ ටෙලි නාට්‍ය යේ ‘මැගී අම්මා’ ලෙසත්, හිරු රූපවාහිනියේ රාත්‍රි 9.00ට විකාශය වන ‘දේවි’ ටෙලි නාට්‍ය යේ ‘ගමේ කාන්තාවක්’ ලෙසත් ය. ඇය සිය රංගන ගමන පිළිබඳ පැවසූයේ මෙවැනි අදහස් රැසකි.

ඔබගේ රංගන ගමනේ සංදිස්ථානය ‘තරු මංසල’ මගින් ඇරැඹෙන්නේ කෙසේ ද?

මම 2003 වසරේදියි තරු මංසල ඔස්සේ මගේ රංගන ගමන අරඹන්නේ. මුලින්ම ඒ තරගයේ දී මා එක්දහස් හයසියයකින් හැටකට තේරුණා. හැටකින් හතළිස් අටකටත්, එයින් විසි හතරකටත් තරග කරලා මට ජයග්‍රාහිකාව වන්නට හැකියාව ලැබුණා. ඉන් ලැබූ ජයග්‍රහණයත් සමඟ මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ලිප්ටන් සිලෝන්ටා කියන වෙළෙඳ දැන්වීමෙයි.

ඊට පස්සේ ‘යෙහෙළි’ වැඩසටහන් මාලාවේත්, සමන් කුමාර ලියනගේගේ ‘කන්දෙ හන්දිය’ ටෙලි නාට්‍ය යේත් රඟපාන්නට මට වරම් ලැබුණා. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමනේදී අද වනවිට ටෙලි නාට්‍ය රැසකටම මගේ රංගන දායකත්වය ලැබුණා. ඒ අතර ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘සරා සහ සුබා’, ‘සුදු හාමිනේ’, දි.ග. සෝමපාලගේ ‘පබළු මුහුද’, පියල් යටවරගේ ‘දොරටු පාල’, සමන් කුමාරගේ ‘සඳගිරි පව්ව’, චන්දික විජේසේනගේ ‘ඉතිං ඊට පස්සේ’, මොහාන් නියාස්ගේ ‘සිහිනයක් අරන්’ ඇතුළු නාට්‍ය රැසක්ම ඊට ඇතුළත්.

ඔබගේ රංගන ගමන සීමා වන්නේ ටෙලි නාට්‍ය නිර්මාණවලට පමණක් නොවෙයි ?

ඔව්. මේ වනවිට ප්‍රසන්න විතානගේ කළ ‘ආකාස කුසුම්, සුනිල් ටී.ගේ ‘ජෙම්ස් බොන්ඩ්’, ‘වැඩබැරි ටාසන් ටූ’, චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘ ප්‍රිති ඇන්ඩ් ජෝයී’, සූරියන්ගේ ‘ආදරයේ නාමයෙන්’ චිත්‍රපටවලට වගේම දීපා මෙහෙතාගේ ‘වෝටර්’, ‘වින්ස් ඔෆ් චේන්ජ්’ කියන විදේශීය චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වීමට තරම් වාසනාව හිමිවුණා. වේදිකා නාට්‍ය සඳහා දායක වුණේ සුගත් සමරකෝන්ගේ ‘සුකුමලීගේ කේන්දරේ’ හා දයා වයමන්ගේ ‘දඟකාරයා’ යන නිර්මාණ සඳහායි. මේ චරිත සඳහා ලැබුණු ප්‍රතිචාර නම් මා සතුටට පත්කළා. ඉදිරියේ දී සිහිනයක් ඇවිත් කියන ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකටමත් රඟපෑමට ආරාධනා ලැබිලා තිබෙනවා.

ඒ කියන්නේ දැන් ඔබ පූර්ණකාලීනවම රංගන ශිල්පිනියක් ?

මගේ රංගන ගමන මුලින්ම ආරම්භ වෙන්නේ පාසල් වේදිකාවෙන්. නමුත් මට පාසලේ දි කරන්නට සිදුවුණේ සංගීතයයි. රංගනයට එදා පටන්ම කැමැත්ත තිබුණත් එය නියමාකරයෙන් ඉටු කර ගන්නට ලැබුණේ 2003 වසරේ දී. ඒ නිසා ඔවුන්ට මා ස්තූතිවන්ත විය යුතුයි. එහි සිටි චතුර මහත්තයාටත්, රංගන කටයුතුවලදි මගේ ගුරුවරයෙක් බවට පත්වුණු ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්තයාටත්, සමන් කුමාර ලියනගේ, මොහාන් නියාස්, මාපිටිගම කියන මහත්වරුන්ටත් විශේෂයෙන් මගේ ස්තූතිය හිමිවිය යුතුයි. සමදරා ආරියවංශ, නුවන්ගි ලියනගේ, උදය කුමාරි කියන මගේ ආදරණීය ශිල්පිනියන්වත් ආදරයෙන් මතකයට නැගිය යුතුයි.

ඔබගේ කලා කටයුතුවලට නිවෙසෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ මහත්තයා තමයි මට දිරි දෙමින් රඟපාන්න යැයි මා දිරිමත් කරන්නේ. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. ඔහු ෂෙල්ටන් කැකුළුවලගේ සහෝදරයා. ඒ වගේම ඔහුත් රඟපෑම්වල සම්බන්ධ කෙනෙක්. එහෙත් ඔහු රඟපාන්නේ වෙළෙඳ දැන්වීම්වල පමණයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.

ඉදිරියට රඟපාන්න කැමැති මොනවගේ චරිතද?

කටකාර ගැහැනියකගේ චරිතයක්. ඒ වගේ චරිතයක් මට චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සකිසඳ සුවාරිස්’ ටෙලි නාට්‍යයේදි හිමිවුණා. නැවතත් ඒ වගේ චරිතයක් රඟපාන්න මම කැමැතියි.