|
ටෝනි 1937.07.31 - 2015.06.16 දේවදූතයෝ සපිරිවරින් ඔබ නිදි ගැන්මට ගී ගයත්වා
සිනමාකරුවෙක් වන්නට අවැසි රුව සහ තේජස එක සේ දෝත දැරූව ද ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය ලාංකික සිනමාව බිහි කළ විශිෂ්ට රංගවේදියාණන් පසුගිය අඟහරුවාදා මෙලොව හැර ගියේය. දේශීය සිනමාව බිහි කරන ලද්දා වූ අග්‍රගණ්‍ය රංගන රජ තුන්කට්ටුව ලෙස සැලකුණේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ටෝනි රණසිංහය. ගාමිණී සියල්ලන්ටම කලින් මෙලොව හැර ගියේය. ඒ දෙදෙනාටම වැඩිමල් ජෝ අබේවික්‍රම දෙවැනුව අවසන් ගමන් ගියේය. ඉතිරිව සිටියේ ටෝනි රණසිංහය. ටෝනි රණසිංහයන්ගේ අභාවය දේශීය සිනමා රංගන ඉතිහාසයේ මහා වනස්පතියක් ඇද වැටුණා පමණක් නොව එයින් එක් පරිච්ඡේදයක් ද නිම විය. ගිය අඟහරුවාදා දවස ඇරැඹුණේම අඳුරෙන් බරව මහා මූසල හැඟීම් සමුදායක් සමඟය. රාජකාරී සඳහා පැමිණෙන්නට පිළියන්දල බස් නැවතුම් පොළේ සිටි මට දුරකථන ඇමතුමක් පැමිණියේය. ඒ වර්තමාන රංගන පරම්පරාවේ මහා නළු රවීන්ද්‍ර රන්දෙණියගෙනි. මා දුරකථන ඇමතුම ආරම්භ කළේ 'ගුඩ් මෝනිං' යනුවෙන් සුබ පතමිනි. 'මෝනිං' තමයි 'ගුඩ්' කියන්නට බැහැ. අපේ හිතවතෙක් සමු ගත්තා' රවි අයියා පැවසුවේ බිඳුණු හඬකිනි. මගේ කුතුහලය කල් නොයවාම ඔහු හමාර කළේය. 'ටෝනි අයියා නැති වෙලා' අඳුරු අහස විනි විඳිමින් මහ අකුණක් වැදුණා යැයි මට දැනිණි. රංගනයේ මහා ත්‍රිමූර්තියෙන් පසුව එකී ඔවුන්ගේ යෂ්ටිය අතට ගත්තේ රවීන්ද්‍ර රන්දෙණියයි. මේ අඳුරු උදෑසන රවි අයියා මට පවසන්නේ එකී යෂ්ටියේ මුල් හිමිකරුවන් සදහටම සමුගත් බව නොවේද? මා ටෝනි රණසිංහයන් මුල්වරට දැක ගත්තේ 'ගොපලු හඬ' චිත්‍රපටයෙනි. බට නලාවක් වයමින් 'මගේ නාමලී බැඳි ආදරේ' ගීතය ගයන මේ අපූරු හැඩකාරයා ළමා වියේ සිටි මගේ සිත පැහැර ගත්තේය. ඉන් අනතුරුව මා ඔහු දකින්නේ 'අහසින් පොළවට' චිත්‍රපටයේ ජීවිතය සඟවා ගත් වෛද්‍යවරයකු හැටියටය. ඒ යුගය වන විට 'ගොපලු හඬ' නැරැඹූ යුගයට වඩා මගේ වයස ගෙවී ගොසිනි. අහසින් පොළවට රංගනය වෙනුවෙන් ජනාධිපති සිනමා සම්මානය පිරිනැමිණ. එයින් දෙවසරකට පසු ඔහු සරසවිය පුවත්පතට අපූරු ලිපියක් රචනා කළේය.
'ටෝනි ලියන රස කතා' නම් වූ එය තමාට ලැබුණු සම්මානය තමා විසින්ම උපහාසයට ලක් කරගන්නා ලද අවස්ථාවකි. එකල මා පාඨකයකු ලෙස බ්‍රහස්පතින්දාට සරසවිය මිලයට ගෙන කියවන යුගයයි. තවත් වසර ගණනාවකට පසු එනම් 1992 වසරේදී පෙබරවාරි මාසයේදී මට ටෝනි රණසිංහ ඇත්තටම මුණ ගැසෙන්නට වරම් ලැබෙන්නේය. ඒ වන විට මම සරසවිය පුවත්පතේ සාමාජිකයෙක්ව සිටියෙමි. ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'සිසිල ගිනි ගනී' චිත්‍රපටයේ ටෝනි අයියා රඟපෑවේ පොලිස් නිලධාරියකුගේ චරිතයයි. එවකට සරසවිය පුවත්පතේ කර්තෘ ධූරය දැරූ රංජිත් කුමාර මහතාගේ නියමය පරිදි එම චිත්‍රපටය අළලා ටෝනි රණසිංහ පිළිබඳ ලිපියක් ලියන්නට මට පැවරිණ. එක් අඟහරුවාදාවක මට කොටහේන බස්පොල නැවතුම අසල වූ අවන්හලකට පැමිණෙන්නැයි ටෝනි අයියා දැන්වූයේය. මම මඟ තොරතුරු සොයමින් අවන්හල කරා ගියෙමි. ටෝනි අයියා පැමිණියේ කොච්චිකඩේ පල්ලියේ සිටය. කොළඹ විවේකයක් ලැබෙන විට සෑම අඟහරුවාදාවකම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යෑම ටෝනි අයියාගේ සිරිතක් වන වග මා දැනගත්තේ එදාය. එදා ටෝනි අයියාගේ කොණ්ඩය දුඹුරු පැහැගැන්වී තිබිණි. කොටින්ම ටින්ට් කරන්නට ගොස් වැරැදුණු ගානය. 'මේ දවස්වල රටයාගේ ටෙලි නාට්‍යයක් ෂූටින්' ටෝනි අයියා රටයා යැයි කිව්වේ දයාරත්න රටගෙදරටය. ටෙලි නාට්‍යය වූයේ 'මහමෙර පාමුල'ය. අපි 'සිසිල ගිනි ගනී' චිත්‍රපටයේ පොලිස් නිලධාරියා පිළිබඳ දීර්ඝ කාලයක් කතාබස් කළෙමු. මේ ආරම්භය පසුගිය අඟහරුවාදා දක්වාම එක ලෙස පවත්වා ගත් දීර්ඝ මිත්‍රත්වයක් වනු ඇතැයි මට නිකමට හෝ සිතුණේ නැත. එතෙක් මට ටෝනි අයියා පෙනුණේ අපට කිසි විටෙකත් ළං විය නොහැකි සුවිසල් චරිතයක් ලෙසය. එහෙත් ටෝනි රණසිංහ යනු බෙහෙවින් සුන්දර එමෙන්ම මහා දැනුම් සම්භාරයක් කැටි කර ගත් නිහතමානී පුරුෂයකු යැයි ටික දවසකින්ම මට අවබෝධ විය. නීටා ප්‍රනාන්දු නිෂ්පාදනය කරන ලද 'පවුරු වළලු' චිත්‍රපටය සැලසුම් කෙරුණේ මේ අතරතුරය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද පවුරු වළලු චිත්‍රපටයේ තිර නාටකය රචනා කෙරුණේ ටෝනි අයියා අතිනි. ඒ වන විට ටෝනි අයියා 'කොටි වලිගය' චිත්‍රපටයේ තිරනාටක රචකයාව නමක් දරා සිටියේය. ඒ දවස්වල කැනඩාවේ පදිංචිව සිටි නීටා අක්කා ඇගේ සැමියා ඊලියන් සමඟ තාවකාලිකව කොළඹ නාරාහේන්පිට පැත්තේ නතරව සිටියාය. චිත්‍රපටයේ මූලික සාකච්ඡා දිනයේ මම ද එහි ගියෙමි. ටෝනි රණසිංහ රංගනයට පිවිසෙන්නේ කිසි කලෙක තිරයට නොපැමිණි චිත්‍රපටයකිනි. ඒ සිරිසේන විමලවීරගේ 'පුංචි අම්මා' නමැති නිර්මාණයෙනි. සිනමාවට පිවිසෙන්නට වෙර දැරූ ගාමිණී, ජෝ මෙන්ම ගායක එච්. ආර්. ජෝතිපාල ද හඳුනා ගන්නට අසමත් වන සිංහල සිනමාවේ පුරෝගාමී සිනමාකරුවකු වූ විමලවීර ටෝනි හඳුනාගැන්ම පුදුමයකි. ටෝනි රණසිංහට එම වරප්‍රසාදය ලැබෙන්නේ තරුණ සිනමා පුවත්පත් කලාවේදියකු වූ ආතර් යූ. අමරසේනගේ මඟ පෙන්වීම යටතේය. චිත්‍රපටය අතරමඟ නතර වූයේ විමලවීරයන්ගේ අභාවය සමඟය. ඉන් අනතුරුව ටෝනි රණසිංහ නම් රංගනවේදියා පිවිසෙන්නේ වේදිකාවටය. ඒ සුගතපාල ද සිල්වාගේ 'බෝඩිංකාරයෝ' නාට්‍යයෙනි. තාත්ත්වික නාට්‍ය සම්ප්‍රදාය මෙරටට බිහි කරන ලද්දා වූ 'බෝඩිංකාරයෝ' මෙකී කඩවසම් තරුණයාට රංගන පාසලක් විය. ලාංකික වේදිකාවේ මහ පෙරළියක් කළ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වූයේ සුගතපාල ද සිල්වා ප්‍රමුඛ කොට ගත් නාමෙල් වීරමුණි, රැලෙක්ස් රණසිංහ, පියසිරි නාගහවත්ත, සිරිල් බී. පෙරේරා, ධර්මසිරි වික්‍රමරත්න, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වැනි තරුණයන් පිරිසකි. ඔවුහු සමකාලීන සමාජයේ දේශපාලන හා කලා ප්‍රකාශනයේදී අන් නිර්මාණකරුවනට වඩා හැකියාවෙන් හා දැනුමෙන් ඉදිරියෙන් සිටියහ. මේ අතරින් රැලෙක්ස් රණසිංහ යනු ටෝනි රණසිංහ නම් විශිෂ්ට නළුවා පසුපස සිටි එක් බලසම්පන්න චරිතයක් වූයේය. ඔහු ටෝනිගේ වැඩිමල් සහෝදරයා වූයේය. 'බෝඩිංකාරයෝ' නාට්‍යයෙන් පසු 'හරිම බඩු තුනක්', 'තට්ටු ගෙවල්' වැනි අපේ කට්ටියේ නාට්‍ය අතරට ටෝනි නැතිවම බැරි චරිතයක් විය. ධර්මසිරි වික්‍රමරත්නගේ 'රන්තෝඩු' නාට්‍යයේදී ටෝනි රණසිංහ මුල්වරට හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. ටෝනි මුල්වරට අප දකිනුයේ 'ගම්පෙරළිය' චිත්‍රපටයෙනි. එහි බලදාස නම් කෙළිලොල් තරුණයා වනුයේ ටෝනි රණසිංහය. සුගතපාල ද සිල්වා හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන මහා පුරුෂයන් මත ගොඩ නැඟීමට තරම් වරම් ලැබීම රංගනය පිළිබඳ විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට ඇති ඉඩකඩට වඩා සිය දහස් ගුණයකින් ඔහුගේ හැකියාව ඉහළ නැංවූ වග නිසැකය. අපේ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම සිනමා චරිත අතර 'දෙලොවක් අතර' නිශ්ශංකට ලැබෙන්නේ ඉහළම ආස්ථානයකි. මුළුමනින්ම ඇතුළු හදවතට නැඹුරු වූ චරිතයක් විනිවිද දැක ප්‍රති නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. විවාහ ගිවිස ගෙන සිටි තරුණයෙක් වෙනත් හිතවතියක් සමඟ මෝටර් රථයක ගමන් කරද්දී අතරමඟ මිනිසකු අනතුරකට ගොදුරුවීමත්, ඉන් අනතුරුව තම හෘද සාක්කිය සමඟ අරගලයක යෙදීමට කිසිවකුට හෝ සිදු වුවහොත් එබඳු අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද? 'දෙලොවක් අතර' චිත්‍රපටයේ නිශ්ශංක මේ හෘද සාක්කිය හා ජිවිතයේ අඳුරු පාර්ශව එළිය කරයි. එහිදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය මාහැඟි නිර්මාණය ගොඩ නඟනුයේ මේ රංගධරයාගේ කෞෂල්‍ය ද මනාව උපයෝගී කොටගෙනය. ආචාර්ය ලෙස්ටර් මෙතරම් ගැඹුරු චරිතයක් ටෝනි රණසිංහට ලබා දෙනුයේ කවර නම් විශ්වාසයක් මත පිහිටා ද? එය ටෝනිගේ මුල්ම රඟපෑමෙන් එකක් විය. ටෝනි රණසිංහ ඉන්දීය අනුකාරක සහ ප්‍රධාන ප්‍රවාහයේ අංග ලක්ෂණ සහිත චිත්‍රපට රාශියකට දායක විය. ඒ අතර 'සැකය', 'සිහින හතක්', 'මනමාලයෝ', 'වසන්ති', 'සිඟිති සුරතල්' වැනි චිත්‍රපට රාශියක් ඒ අතර සඳහන් කළ හැකිය. මොකක්දෝ අවාසනාවකට නැතහොත් එම චිත්‍රපටවල අතිශය දුර්වල අධ්‍යක්ෂණය හේතුවෙන් මේ බහුතරයක් චිත්‍රපට ටෝනි රණසිංහ නම් විශිෂ්ට රංගධරයාට හෝ ලාංකේය සිනමාවට හෝ ප්‍රයෝජනවත් වූයේ නැත. එහෙත් ඒ අවධියේම 'පරසතු මල්', 'රන් සළු', 'දහසක් සිතුවිලි', 'ආදරවන්තයෝ', ' නාරිලතා' වැනි සිනමා නිර්මාණ ටෝනි කඩවසම් පෙම්වතාගේ චරිතයේ ඔසවා තැබුවේය. 'ෆිල්ම් ෆෙයා' සඟරාවේ එවකට කර්තෘ ධූරය දැරූ බී. කේ. කරන්ජියා මහතා ටෝනි දුටු මතින් වසඟ වූයේය. මේ කඩවසම් ඉළන්දාරියා වඩා හොඳ බොම්බායට යැයි ඔහු හඬ නඟා කිව්වේය. ස්වකීය චරිත රංගනයට විනා ඒවායේ ගැඹුරු හැඩතල පිරික්සන්නට මුල් යුගයේ ටෝනි රණසිංහයන්ට උවමනාවක් නොවූ තරම්ය. මේ න්‍යායම ජෝ මහත්තයා ද මුල්් යුගයේ අනුගමනය කළේය. එහෙත් ජෝ මහත්තයා ටෝනි අයියාට වඩා වාසනාවන්ත වූ බවක් පෙනී යයි. සිනමා රූපය පිළිබඳ ශක්‍යතාවෙන් යුත් ගාමිණී ෆොන්සේකා අතිශය දුර්වල අධ්‍යක්ෂවරයකු යටතේ පවා තමාට උවමනා පරිදි සිනමා කෘතිය හැසිරවීමට උත්සුක වූයේය. ජෝ මහත්තයාගේ න්‍යාය වූයේ කුලියට උළු වහන්නට යනවා නම් වත්තේ හතර මායිම කුමකට ද යන්නයි. ආචාර්ය ලෙස්ටර් සහ සුගතපාල ද සිල්වා යන ගුරු කුලයන්වල ශික්ෂණය ලැබ ශෙක්ස්පියර්ගේ සිට ස්ටැනිස්ලවුස්කි ඇතුළු න්‍යායාන් අතැඹුලක් සේ දත් ටෝනි අයියා බොහෝ චිත්‍රපටවල රඟපෑවේ තෘප්තියටම නොවේ. එමෙන්ම ඒ චිත්‍රපට තමනට රිසි පරිදි මෙහෙය වන්නට හැකියාව තිබුණ ද ඔහු කිසි විටෙකත් ඒ සඳහා උත්සුක වූයේ නැත. එහෙත් තම අභිමත සහ දැනුම පිළිබඳ තර්ක කරන්නට ටෝනි අයියා පසුබට වූයේ නැත. සිංහල, ඉංග්‍රීසි ද්වි භාෂා පිළිබඳ ටෝනි අයියාට තිබුණේ පුළුල් දැනුමකි. මේ නිසාම මෙරට සාහිත්‍යයට හා රංගනයට සිදු වූ විශිෂ්ට සේවාව වනුයේ ටෝනි අයියා අතින් සිදු වූ පරිවර්තන පොත් රාශියයි. ජීවිතයේ වියපත් වීම යනු මිනිසකුට තම ජීවිතය පිළිබඳ හැරී බලන්නට ප්‍රමාණාත්මක අවස්ථාවකි. අතීතය පිළිබඳ කම්පාවන බොහෝ දෙනාට ඇත්තේ අවිනිශ්චිතභාවයකි. ප්‍රිය මිතුරු සල්ලාපයේත්, රස සමාගමේත් ඇළුණු ටෝනි අයියා තරුණ වියේදී එයට අසීමිතව කාලය කැප කළේය. වියපත් වූ පසු මෙසේ කාලය නාස්ති කිරීම පිළිබඳ ටෝනි අයියා සැබෑවටම පශ්චත්තාප වූයේය. තවත් සාහිත්‍ය කෘති පරිශීලනය කරන්නට කාලය මදි වී යැයි ඔහු කම්පා වූයේය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සිහිනය ඔහුගේ හදවත පුරා හාරමින් නැඟී සිටියේය. වේදිකාවේදී ඔහු බලසම්පන්න නළුවෙක් විය. 'වැනීසියේ වෙළෙන්දා' හෝ 'ජුලියස් සීසර්' රඟපාද්දී ඔහුගේ රංග ප්‍රතිභාව ඉහවහා ගියේය. මෙයට පහළොස් වසරකට පෙර ටෝනි රණසිංහ නම් මහා නළුවාණන් අධ්‍යක්ෂණය කිරීමේලා මම වාසනාවන්තයෙක් වීමි. ඒ වන විට අප අතර මිත්‍රත්වයක් ගොඩ නැඟුණ ද රංගන ත්‍රිමූර්තියේ එක් සාධකයක් වූ ටෝනි රණසිංහයන් මෙහෙය වන්නට මගේ යටි සිතේ කඹ ඇදිල්ලක් තිබිණි. එහෙත් ටෝනි අයියා ගණනකට ගත්තේ නැත. මුල්ම රූපගත කිරීම සැලසුම් කළ දවසේ අවසාන ජවනිකාවේදී අතරමඟ ටෝනි අයියා මගේ කනට කොඳුරා ඉල්ලීමක් කළේය. ඒ ජවනිකාවේදී දෙබසක සුළු වෙනස්කමක් කරන ලෙසය. ටෝනි රණසිංහ යනු එතරම්ම නිහතමානී නළුවකු විය. එම දෙබස මගෙන් නොවිමසා හිතූ මනාපයට වෙනස් කරන්නට ඔහු වෙරදැරුවේ නැත. අපේ වැඩ කටයුතු අරඹන්නට දවස් දෙකකට පෙරාතුව ඔහු මා කැටුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ද ගියේය. ටෝනි අයියාට පෙරඅතුව මට හඳුනා ගන්නට ලැබුණේ රැලෙක්ස් රණසිංහය. රැලෙක්ස් අයියා නැතහොත් රැලෙක්ස් මාස්ටර් අතිශය විරල කුසලතා සපිරි මිනිසෙක් විය. ඔහු ටෝනි අයියාට වඩා හැඩරුවින් වෙනස්ය. ඔහු ජීවිතය විනෝදයෙන් ගත කළ පුද්ගලයෙක් විය. පසු කලෙක ටෝනි අයියා සමඟ බොහෝ වේලා ගත කරන්නට මට ඉඩකඩ ලැබිණි. කලාකරුවකුගේ අවමඟුලක් සැලවුණු විට නොවරදවාම එහි යෑම ටෝනි අයියාගේ සිරිත විය. එක් යුගයක් ඒ යන සෑම ගමනකම ටෝනි අයියාගේ හවුල්කරුවා වූයේ මාය. ටෝනි අයියා ලණු දීමේ නම් දැරූවෙක් විය. ඒ ඇතැම් ලණුවක් දිරවා ගන්න තරම් බරපතළ ඒවා විය. සමහර ලණු ඇස් රතු වනු නොව ඇස් ගැලවෙන ඒවාය. සිනමාවේ ද, ටෙලිවිෂනයේ ද, වේදිකාවේ ද ටෝනි අයියා වෙන්වීමෙන් ඇති කළ රික්තය පිරවීම අපහසු කාර්යයකි. සිනමා රංගනයේ ජ්‍යෙෂ්ඨයෙකු ගොඩ නැගෙන්නේ කෙලෙසද? ඒ සඳහා අධ්‍යයනය කළ යුතු හොඳම විෂය පාඨමාලාව ටෝනි රණසිංහගේ රඟපෑමය. ලාංකික සිනමවේ රංගන ත්‍රිමුර්තියම මේ වන විට අවසන් ගමන් ගොසිනි. ටෝනි අයියා සමඟ තනියට ගිය මට අවසන් මොහොතේ ඔහු දකින්නට යන්නට සිදුව ඇත්තේ තනිවමය. පසුගිය කාලයේ තිබුණු කාර්යබහුලත්වය මත ටෝනි අයියා මට මුහුණට මුණ ගැසුණේ නැත. දුරකථන ඇමතුමක් දුන් කළ ඔහු මට චෝදනා කළේය. ඒ ඇමතුම කෙළවර කළේ, 'උඹ කවද ද බං මේ පැත්තේ එන්නේ' යැයි කියමිනි. 'නොවැරැදීම ටෝනි අයියා හෙට' මම පවසන්ට අමතක නොකළෙමි. එහෙත් ඒ හෙට දිනට හැම විටම බාධා එල්ල විය. අන්තිමට ඒ දවස කවදා ද යැයි ටෝනි අයියා ඇසුවේ නැත. පසුගිය සතියේ ටෝනි අයියා රඟපෑ 'සිහින හතක්' චිත්‍රපටය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය විය. ඊට පසුදා වැඩ කටයුතු අධික වූ බැවින් ඊළඟ දිනයේ මම දුරකථනයෙන් ඔහුව ඇමතීමි. කිහිපවරක්ම ඇමතුව ද පිළිතුරු ලැබුණේ නැත. මගේ ඇමතුම මඟ හැරී ගිය ද අංකය දුටු සැනින් පිළිතුරු දෙන්නට ටෝනි අයියා සිරිතක් කරගෙන තිබුණි. සිකුරාදා හවස ටෝනි අයියා දකින්නට යනවා යැයි සඳුදා හැන්දෑවේ මම තීරණය කළෙමි. මා දුන් ඇමතුම් මඟ හැරුණේ මන්දැයි මට තිබුණේ කුහුලකි. එහෙත් මට මේ සිකුරාදා යන්නට වෙන්නේ ටෝනි අයියා සමඟ පැය ගණනක් කතා කරන්නට නොවේ. ටෝනි අයියාගෙන් සදහටම සමුගෙන එන්නටය. මේ වන විට ඔහු සුව නින්දකය. අප ඇමතුමක් දුන් කල්හි ටෝනි අයියා නිදි නම් ඇහැරවන්නට එපා යැයි අපි පවසන්නට පුරුදු වී සිටියෙමු. අප කතා කළ වග සැළවුණ සැණින් ඔහු අප අමතයි. එහෙත් ඔහු මේ නින්දෙන් පුබුදුවාලන්නට මට නොහැකිය. ඔහුට ආදරය කළ කිසිවෙකුට හෝ නොහැක. 'හැම්ලට්' නාට්‍යයේ හොරේෂියෝ හැම්ලට් කුමරුගේ නිසල දේහය අභියස පැවසූ ශෝකාලාපය මට සිහිපත් වේ. ශේක්ස්පියර්ට පෙම්බැඳි ටෝනි අයියා එය අසා සිටිනු ඇතැයි මම විශ්වාස කරමි.
උදාර හදවතක් බිඳී ගිය වගයි.
|