වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ඇය එහෙම හිනාවෙලා සිටියේ කොහොමද කියලා හිතා ගන්න බැහැ

ඇය එහෙම හිනාවෙලා සිටියේ කොහොමද කියලා හිතා ගන්න බැහැ

ඉර සේවය ගැන රොඩ්නි විදාන පතිරණ

රෙබෙකා නිර්මලීගේ අවසන් චිත්‍රපටය

ඉර සේවය හෙට (19) සිට සිංහල සිනමාවට එක්වන අලුත්ම සිනමා නිර්මාණයයි. ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, ගීත රචකයෙකු, චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන රොඩ්නි විදානපතිරණ විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ඉර සේවය චිත්‍රපටය මුදල්, බලය සහ ඒ හේතුවෙන් හට ගන්නා විවිධාකාර ප්‍රශ්න මිනිස් ජීවිතවලට කරනා බලපෑම රූපමය ලෙසින් එකිනෙක ගලපා ගත් අපූරු නිර්මාණයක්. පසුගියදා අප අතරින් වියෝවූ රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී අවසන් වරට කළ සිනමා රංගනය වන්නේද ඉර සේවය චිත්‍රපටයේ රංගනය යි. හෙට සිට මහරගම නැෂනල් සිනමාහලෙන් තිරගත වීම ආරම්භ කරන ඉර සේවය සමඟින් කාලයකට පසු සිනමාවට පැමිණි රොඩ්නි හමුවෙමු.

සිනමාවට ළෙංගතු ඔබ කාලයකට පසු සිනමා නිර්මාණයක් සමඟින්ම සිනමාවට ඇවිත්. ඉර සේවය ඔබේ ප්‍රථම සිනමා නිර්මාණයද?

ඉර සේවය මගේ දෙවැනි සිනමා නිර්මාණයයි. පළමු සිනමා නිර්මාණය වුණේ ‘ශිල්ප දෙනු මැන’ චිත්‍රපටය යි. ඒක සංස්කරණය කරලා තිබුණත් කාලයත් සමඟ එහි නෙගටිව් පට පවා විනාශයට පත් වුණා. යළිත් ඒක නිර්මාණය කරන්නත් බැහැ. ඒ අනුව ඉර සේවය මගේ දෙවැනි සිනමා නිර්මාණය වුණත් ප්‍රථමයෙන් තිරගත වෙන්නේ එයයි. විමල් අලහකෝන් එංගලන්තයේදී හමු වූ අවස්ථාවකදීයි මට මේ චිත්‍රපටය කරන්න යෝජනා කළේ. හෙට සිට මහරගම නැෂනල් සිනමාශාලාවෙන් තිරගත කිරීම ආරම්භ කරන්න සූදානම්.

’ඉර සේවය’ අපට හුරු පුරුදු නමක්. ඒ වගේම විශේෂිත සිදුවීමක්. මෙම චිත්‍රපටයට ඉර සේවය ලෙස නම යොදන්න විශේෂ වූ හේතුවක් තියෙනවාද?

මෙහි භික්ෂූන් වහන්සේ නමකගේ චරිතයක් සමඟ බැඳුනු කතා පුවතක් ඇතුළත් වෙනවා. අපි ශ්‍රී පාදය වන්දනා කරන්න යන විට ඉර සේවය නරඹනවා. ඒ වගේම දවසක් ආරම්භ වන්නේ ඉර සේවය සමඟින්. බාධක කෙසේ වෙතත් ඉර සේවය නොවෙනස්. භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතයත් ඉර සේවය වගෙයි. ඒ නොසැළීම නිසා මේ චිත්‍රපටයට ඉර සේවය ලෙසින් නම තබන්න මා තීරණය කළා.

ඉර සේවයෙන් ගෙන එන්නේ මොන වගේ කතාවක්ද?

ප්‍රාදේශීය දේශපාලඥයෙක් වටා ගෙතුණු කතා පුවතක් මේ තුළ ප්‍රධාන වෙනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් කරනා සටනේදී පවුල් ජීවිතය හා සම්බන්ධව ඇති වන විවිධාකාර ගැටුම් වගේම ආදරය මේ නිර්මාණය තුළ කතා බහට ලක් වෙනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් යන ගමනේදී ඔහු තම ජීවිතය අවුල්කර ගන්නා ආකාරය මෙහි පෙන්නුම් කෙරෙනවා.

මෙහි ඇතැම් රූගත කිරීම් සිදු කෙරෙන්නේ විදේශ රටකදී?

ඉර සේවය චිත්‍රපටයේ රූගත කිරීම්වලින් කොටස් අපි එංගලන්තයේ ලන්ඩන් නගරයේදී සිදු කළා. මෙහි කතා නායකයා වන දේශපාලඥයාගේ විදේශ ගමන් සම්බන්ධ වන අවස්ථා කිහිපයක් තිබෙන නිසා විදෙස් රටක රූගත කිරීම අවශ්‍ය වුණා. ඒ වෙනුවෙන් අපි ලන්ඩන් නගරය තෝරා ගත්තා. එහිදී ජවනිකා කිහිපයක රූගත කිරීම් ලන්ඩන් නගරයේදී සිදු කළා. අපේ රටේ දර්ශන හොරණ සහ රත්නපුර ප්‍රදේශවලදී සිදු කළා.

වර්තමානයේදී අප අතර නැති හිතවතියක් මේ නිර්මාණයේදී දැකබලා ගන්නත් අවස්ථාව ලැබෙනවා?

ඇත්තටම ඒක ඉතා සංවේගජනක අත්දැකීමක්. රෙබෙකා නිර්මලී මෙහි විශේෂිත ප්‍රධාන චරිතයකට පණ පොවනවා. අපි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරනවිට රෙබෙකාට අසනීපයක් තිබෙන බව පෙනුණේ නැහැ. ඇය බොහොම ආසාවෙන් ඒ වගේම උද්යෝගයෙන් රූගත කිරීම් සඳහා දායක වුණා. නමුත් රූගත කිරිම් අතරතුරදී ඇය වකුගඩු සම්බන්ධ රෝගී තත්ත්වයක් ගැන සඳහන් කළා. ජීවිතයට අවදානම් අසනීප තත්ත්වයක් තිබෙන බව කිසිම මොහොතක දැනෙන්න දුන්නේ නැහැ. ඉතාම සුන්දරව ඇය කාලය ගත කළා. රූගත කිරීම සඳහාත් කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. බොහොම වගකීමෙන් ඇය තමන්ගේ කාර්යය ඉටු කළා.

ලන්ඩන් ගමනටත් ඇය බොහොම සන්තෝෂයෙන් සහභාගි වුණා. දියණිය සමඟයි ඇය ඒ වෙනුවෙන් සහභාගි වුණේ. මට මතකයි අපි රූගත කිරීමවලට අමතරව ගිය සෑම තැනකදීම ඇය ඡායාරූප විශාල සංඛ්‍යාවක් ලබා ගත්තා. සමහරවිට ඒ කාලයේදිත් ඇයට අසනීප තත්ත්වය ගැන දැනිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා. නමුත් ඒ දුක අපි කාටවත් නොදෙන්න රෙබෙකා තීරණය කරන්න ඇති. ඒ ගමන ඇයගේ ප්‍රථම වගේම අවසාන ලන්ඩන් ගමන බවත් ඇය හිතන්න ඇති.

රෙබෙකා මෙහි ලොරේන් නම් ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරනවා. තරුණයෙකු සමඟින් ආදරයෙන් බැඳුනත් ආර්ථිකය හරස්වී ඔහු වංශවත් තරුණියක සමඟින් විවාහ දිවියට එළැඹීම නිසා ඒ ප්‍රේමය බිඳ වැටීමට ලක් වෙනවා. ඒ නිසාම ජිවිතය ගැන කළකිරුණත් පසුව යෝජනාවක් මත දේශපාඥනයෙකු සමඟින් විවාහයට පත්ව ගැටළු රැසකට මුහුණ දෙන අයුරු ඇය මෙහි අපූරුවට නිරූපණය කළා. අද වන විට ඇය අප අතර නැති නිසා මෙහි ඇයගේ රංගනය ගොඩක් සුවිශේෂයි. නේපාලයේ කත්මන්ඩු නුවරදී මෙහි මංගල දර්ශනය පැවැති අවස්ථාවේදී රෙබෙකාගේ රංගනය දුටු ශ්‍රී ලාංකිකයන් කම්පනයට පත් වුණා.

මෙහි තිර පිටපතත් ඔබගේ. මේ නිර්මාණය වෙනුවෙන් අදහස සොයා ගත්තේ?

ටිකක් සංකීර්ණ චරිතයක් සමඟින් මේ සිනමා නිර්මාණය කළොත් වඩාත් හොඳ බව මට හැඟුණා. නිශ්චිතවම හිතාගෙන මේ නිර්මාණය කළේ නැහැ. ඒත් අද කාලයට මේ වගේ කතාවක් හොඳ බව මට වැටහුනා.

මේ සිනමා නිර්මාණයෙන් ඔබ සමාජයට දෙන පණිවුඩය?

සමාජයේ තියෙන සංකීර්ණත්වය මේ තුළින් පිළඹිබු වෙනවා. ධනවත් මිනිසුන් බලය සොයා යාම හේතුවෙන් පවුල් සංස්ථාව තුළ ගැටළු නිර්මාණය වෙනවා. දිළිඳු පුද්ගලයන් මුදල් නොමැතිකම හේතුවෙන් වෙනමම ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. හික්ෂුන් වහන්සේගේ චරිතයන් කියන්නේ පුද්ගලයෙකු ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු මහණදම් පුරමින් සිරුරේ කොටස් දන් දුන්නත් ඒ තුළින් සහනයක් නොලැබීමට තරම් සමාජය සංකීර්ණත්වයට පත්ව ඇති බවයි. ඉර සේවය හරහා එන සිදුවීම් පෙළ ඔස්සේ ප්‍රේක්ෂකයාට මේ තත්ත්වය තේරුම් ගත යුතු වෙනවා.

අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැනත් සඳහන් කළොත්?

විමල් අලහකෝන් මෙහි ඇමැතිවරයාගේ චරිතයට පණ පොවනවා. මොරීන් චාරුණි, ගාමිණි සමරකෝන්, ඉෂාර වික්‍රමසිංහ, විල්මන් සිරිමාන්න, තිස්ස බණ්ඩාරනායක, රංජිත් රණසිංහ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

තාක්ෂණික සහාය?

රංජිත් රණසිංහ සහය අධ්‍යක්ෂණයෙන් සහ කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. කැමරා අධ්‍යක්ෂණය රංග කාරියවසම්, චමින්ද දිසානායක දායක වුණා. ලන්ඩනයේ රූගත කිරීම් සිදු කළේ කපිල තිලකරත්න. සංස්කරණය කළේ විරංග කැටපේආරච්චි සහ මධුර ප්‍රසාද් විසින්. සංගීත අධ්‍යක්ෂණය කළේ විශාරද මනෝජ් පීරිස්.

මේ සමඟ මුහුණ දුන් අමතක නොවන සිදුවීම්?

මේ නිර්මාණය සමඟ බැඳී තිබෙන අමතක නොවන එකම සිදුවීම වන්නේ රොබෙකාගේ හදිසි සමුගැන්මයි. ඇය මේ තරම් ඉක්මනින් අප අතරින් සමුගනීවි යැයි අපි හිතුවේ නැහැ. රූගත කිරීම් කළ කාලය පුරාවට ඉතාම සතුටින් ගත කර එය අවසන්ව මාස දෙකක් වැනි කාලයක් ඇතුළතදීයි ඇය මේ අවාසනාවන්න ඉරණමට මුහුණ දුන්නේ. තවත් රූගත කිරීම් කිහිපයක් තිබුණත් ඒවාට දායක වෙන්නේ නැතුවම රෙබෙකා අපෙන් සමු ගත්තා. ඒ තරම් දරුණු රෝගී තත්ත්වයක් තියාගෙන ඇය හිනාවෙලා හිටියේ කොහොමද කියන එක අපට හිතාගන්න බැරි වුණා.

ඔබ සිනමාවට පිවිසෙන්නේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින්?

සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ චංචල රේඛා චිත්‍රපටයට මම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සම්බන්ධ වුණා. වැල්ලෙ තැනූ මාළිගා වැනි සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දුන්නා.

ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් සුවිශේෂයි. ඔබේ ටෙලි නිර්මාණ ගැනත් සිහිපත් කරමු?

මට ටෙලි නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කරන්න අවස්ථාව උදා වුණා. හේමන්තයේ වසන්තයක් එංගලන්තයේදී නිර්මාණය කළා. සාප නොකරන් දරුවනේ, හතේ වසම, උඩවැඩියා මල්, රිදී තාරකා වැනි ටෙලි නිර්මාණ දහයක් පමණ මම අධ්‍යක්ෂණය කළා.

ආයෙමත් ටෙලි නිර්මාණයක් ගැනත් බලාපොරොත්තුවකුත් ඇති?

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පෙර තිබූ කලාත්මක ලක්ෂණ දැන් දකින්න ලැබෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අද එය ව්‍යාපාරික මට්ටමකට වැටිලා. ඇත්තටම එය අනුග්‍රාහකයන් මත යැපෙන තත්ත්වයට පත් වෙලා. චැනල්වලත් ටෙලි නාට්‍ය වැහි වැහැලා. මිනිස්සුන්ටත් දැන් ටෙලි නාට්‍ය බලන්න වෙලාවක් නැහැනෙ.

ටෙලි නාට්‍ය කරන්න නම් දැන් අදහසක් නැහැ. ඒක ගොඩක් වෙහෙසකර දෙයක් බවයි මගේ හැඟීම. ටෙලි නාට්‍යයක් නිර්මාණය කළාට පසු විකාශය කරන්න හරිම අපහසු වාතාවරණයක් දැන් උදාවෙලා තියෙන්නේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන්නේ විශාල තරඟයක්. ඉස්සර වගේ නෙවෙයි ටෙලි නිර්මාණ කළත් දැන් මිනිසුන් අතරේ රැඳෙන්නේ නැහැ. මං හිතන්නේ සිනමා නිර්මාණයක පැවැත්ම එයට වඩා හොඳ බවයි.

පුවත්පත් ජීවිතය ඔබේ ජීවිතයේ සුවිශේෂයි?

මම සිනමාවට පැමිණෙන්නේත් පුවපත් ජීවිතය නිසා. මුලින්ම ටයිම්ස් ආයතනයේ සුරතුර කලා පුවත්පතට විශේෂාංග ලේඛකයෙක් ලෙසින් සම්බන්ධ වුණා. ඉන්පසු සිත්සර සිනමා පුවත් පතේ සේවයෙන් පසු සළරුව සිනමා පුවත්තේ කෙටි කාලයක් කර්තෘවරයා ලෙසින් කටයුතු කළා. ඉන්පසුව තමයි මම තරුණයා පුවත්පට පැමිණ කර්තෘවරයා ලෙසින් වසර විසිතුනක් කටයුතු කළේ. දැන් දිනපතා ලංකාදීපයේ කර්තෘ මණ්ඩලයේ සේවය කරනවා.

යුග කිහිපයකම ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කළ ඔබ වර්තමාන පරපුරට ගීත නිර්මාණ කරන්නේ නැතිද?

නිමල් ගුණසේකර ගැයූ ‘ප්‍රේම මායා දැලේ’, විජය කුමාරණතුංග ගැයූ ‘කරඹ යායේ’, එච්. ආර් ජෝතිපාල ගැයූ ‘සුවඳ රොන් සුණු සැළී’, ජගත් වික්‍රමසිංහ ගයන ‘සාගර තරංගා’, නිරෝෂා විරාජිනි ගයන ‘සඳරාජිණි’ වැනි මම රචනා කළා. ආසා හිතුණාම මම ගිත රචනා කරනවා. දැන් නම් ගීත රචනා කිරීම අඩු වෙලා. ඉර සේවය චිත්‍රපටයේ ගීත දෙකක් ඇතුළත්. ඒ ගීත දෙකම රචනා කළේ මම. කිත්සිරි ජයසේකර සහ චන්ද්‍රරත්න ඉලේපෙරුම එම ගීත ගායනා කිරීමට සම්බන්ධ වුණා.

ඉර සේවයෙන් පසු තවත් නිර්මාණ කාර්යයකට සූදානම් ඇති?

තවම හිතලා නැහැ. මගේ හිතේ විනෝදාත්මක චිත්‍රපටයක් කරන්න ලොකු ආසාවක් තියෙනවා. එයින් විමෝදයක් සමඟින් හරවත් පණිවුඩයක් සමාජයට දෙන්න බලාපොරොත්තු වෙනවා.