|
ප්‍රවේගයට ත්‍රිමාණ ප්රචාරක පටයක්
වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලවේදී ප්‍රවේගය සිනමාපටයේ මංගල දර්ශනය තිරගත වන අතරතුරදී මෙතෙක් අප සිනමාලෝලීන් නොදුටු පූර්ව ප්රචාරක පටයක් දැකගන්නට ලැබිණ. එහි ඇති සුවිශේෂීභාවය වනුයේ එම පූර්ව ප්‍රචාරකපටය 3D තාක්ෂණයෙන් නිම වූ එකක් වීමය. එය නිර්මාණය කොට තිබුණේ ප්‍රවේගය සිනමා පටය වෙනුවෙන්ම වීම තවත් විශේෂත්වයකි. මෙයට පෙර ලංකාව තුළ 3D තාක්ෂණයෙන් යුතු සිනමා පූර්ව ප්රචාරක පටයක් නිර්මාණය කර නොමැත. ඒ අනුව මෙය හෙළ සිනමා වංශ කතාවේ පළමු 3D සිනමා ප්රචාරක පටය වශයෙන් ඉතිහාස ගතවනු ඇත. එය නැරැඹූ බොහෝ සිනමාලෝලීන් අමන්දානන්දයට පත් වූ බව දැකගන්නට ලැබිණ. ප්‍රවේගය ආර්. සංදේශ් කුමාර් සහ ශ්‍රීමතී සංදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි.
පත්තිනි 2016 මුලට
2016 වසරේ ආරම්භක චිත්‍රපටය ලෙස ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වනුයේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරන ලද පත්තිනි චිත්‍රපටයයි. මිලිනා සුමතිපාල නිෂ්පාදනය කරන ලද පත්තිනි චිත්‍රපටයේ පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, සනත් ගුණතිලක, උද්දික ප්‍රේමරත්න, දයා අල්විස්, අරුණි රාජපක්ෂ, විනු සිරිවර්ධන, අමා විජේසේකර, රමණී සිරිවර්ධන, අවන්ති අපොන්සු, වසන්ත විට්ටDචි, ගාමිණී ජයලත්, අනුර බණ්ඩාර රාජගුරු, විජේරත්න වරකාගොඩ , චිත්‍රා වරකාගොඩ ඇතුළු රාශියක් චරිත මවති. චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, වෙනුක වික්‍රමආරච්චි වස්ත්රාභරණ නිර්මාණයෙන් ද පත්තිනි සඳහා එක් වෙයි. බිමල් දුෂ්මන්තගේ කලා අධ්‍යක්ෂණයකි. සමීර මධු කිඳෙල්පිටිය අංග රචනා ශිල්පියාය. රුචිර දිනෙෂක කේෂාලංකරණයෙන් දායක විය. මනෝහාරි හේවාවසම්ගේ නිෂ්පාදන කළමනාකරණයකි.
ප්‍රේමය නම් චීනෙට යයි
වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුඳුල් සිනමාපටය වූ ප්‍රේමය නම් සිනමාපටය චීනයේ ෂැන්හයි සිනමා උළෙල නියෝජනය කරයි. එම සිනමා උළෙල මේ දිනවලදී චීනයේදී පැවැත්වේ. සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ප්‍රේමය නම් ආදරය මඟින් සිත් සුවපත් කළ හැකි බව පසක් කර දේ. ශ්‍යමි ප්‍රනානාදු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, විශේෂඥ වෛද්‍ය සතිස් විජේමාන්න මෙහි ප්‍රධාන චරිතයන්ට පණ පොවති. ප්‍රේමය නම් කල්පන ආරියවංශ, ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ සහ සුජීව විජේසිංහගේ නිෂ්පාදනයකි.
ඉර සේවය හෙට උදා වෙයිඅභාවප්රාප්ත ජනප්‍රිය රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී චරිත මැවූ පුවත්පත් කලාවේදී රොඩ්නි විදානපතිරණ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ඉර සේවය චිත්‍රපටය මහරගම නැෂනල් සිනමාහලේදී හෙට සිට ප්‍රදර්ශනය අරඹයි. විමල් අලහකෝන්, මොරින් චාරුණි, ගාමිනී සමරකෝන්, ඉෂාරා වික්‍රමසිංහ, විල්මන් සිරිමාන්න ආදීන් චරිත මවන ඉර සේවය ශ්‍රී ලංකාව සහ එංගලන්තයේදී රූපගත කරන ලදී. මෙහි නිෂ්පාදනය කාන්ති අලහකෝන්ගෙනි. මනෝජ් පීරිස් සංගීතයෙන් ද, කිත්සිරි ජයසේකර සහ චන්ද්‍රරත්න ඉලේපෙරුම ගායනයෙන් ද ඉර සේවයට දායක වූහ. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත් වුණේ වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක හා එරට නිවාස සංවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. |