වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




දොස් ඇති මිනිසුන් නිදොස් කළ ටෝනි

දොස් ඇති මිනිසුන් නිදොස් කළ ටෝනි

මහා රංගනය පිළිබඳ සිනමාවේදී ප්‍රසන්න විතානගේ කරන අනාවරණයක්

ටෝනි රණසිංහගේ නික්ම යෑම ශ්‍රී ලාංකේය සිනමාවේ රජ තුන් කට්ටුවේ අවසානය සනිටුහන් කරයි. රජ තුන් කට්ටුව වූයේ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ටෝනි රණසිංහ ය. ලාංකේය සිනමාවේ සිනමා රංගනය වේදිකා රංගනයෙන් වෙන්වූ, සිනමා රංගනය යනු අනන්‍ය රංග ශෛලියක් බව සිනමාවේ සනිටුහන් කළේ ද ඔවුන් තිදෙනා ය. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍යයෙන් ඔවුහු අපට වීරයන්ද, විකටයන්ද, දුෂ්ටයන් පමණක් නොව ලෙයින්, මසින් සැදුණු සුදු, කළු මිශ්‍ර මිනිසුන්ද නිරූපණය කළහ. ඒ සමඟම ඔවුන් කළ රංගනයට මේ තිදෙනා තමන්ගේ ජීවිත කාලය ඇතුළත අසාමාන්‍ය ලෙස ජන ප්‍රසාදයක්ද දිනා ගත්හ. ඒ නිසයි ඔවුන් රජ තුන් කට්ටුව වන්නේ. මේ නික්ම ගියේ එහි අවසාන රජුය. මේ නික්ම යෑම ඔවුන්ගේ යුගයේ අවසානය සනිටුහන් කරන්නකි.

මුලින්ම මට ටෝනි රණසිංහයන් මුණ ගැසෙන්නේ 1986 වසරේ දීය. ඒ ඔහු ඔස්කා වයිල්ඩ්ගේ ‘ඉම්පෝට්න් ඔෆ් බීන් අනස්ට්’ නාට්‍යයේ සිංහල අනුවර්තනයක් ‘බලව නමක අරුමා’ නමින් නිෂ්පාදනය කරන සමයේදීය. ඔහු ඊට රෝලන්ඩ් ජේ. ප්‍රනාන්දු සමඟ සම අධ්‍යක්ෂණයෙන් ද දායක විය. ඒ කාලයේ මා නිෂ්පාදනය කරන්නට සිටි නාට්‍යයක් සඳහා නිළියක් සොයමින් මම එහි පුහුණුවීම් බලන්නට ගියෙමි. මේ වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කළ ශිෂ්‍යයෙකු වූ මම ටෝනි රණසිංහ සමඟ කතාබහට පැටලුනෙමි. ඒ අවස්ථාවේ දී රංගනය සම්බන්ධයෙන් මා සිතේ නැඟුණු ප්‍රශ්න කුහුලෙන් විමසද්දී ඔහු මට පිළිතුරු දුන්නේ මා ශිෂ්‍යයෙකු ලෙස සලකා නොව සමකාලීනයකු ලෙස සලකා ය. රංගනය පිළිබඳ නොතිත් ආශාව මට ඔහුගෙන් දිස් වූයේ අලුත් පෙමකින් බැඳුණු පෙම්වතෙක් තම පෙම්වතිය කෙරෙහි දක්වන උන්මාදනීය ප්‍රේමයකි.

රංගන විෂයෙහි ඔහු තමන්ව සලකන ලද්දේ ශිෂ්‍යයෙකු ලෙසිනි. ඔහුට ලෝකයේ බිහි වූ විශිෂ්ට නළු නිළියන්ගේ රංගන ශෛලීන් සම්බන්ධයෙන්, රංගන න්‍යායන් සම්බන්ධයෙන් දැනුමක් ඔහු සතු විය. උදාහරණයක් විදියට එංගලන්ත වේදිකාවේ රජ තුන් කට්ටුව ලෙස සැලකෙන සර් ලෝරන්ස් ඔලිවියර්, සර් රැල්ෆ් රිචඩ්සන්, සර් ජෝන් ගිල්ගුඩ් යන තිදෙනාගේ රංගනවලට අනන්‍ය වූ ලක්ෂණ වෙන් වෙන්ව හඳුනා ගෙන, ඔවුන් එකම චරිතය රඟපාන්නේ කෙසේදැයි තිදෙනා ලෙසම රඟපා පෙන්වීමට තරම් දක්ෂය. එමෙන්ම ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ ‘ආර්ම්ස් ඇන්ඩ් ද මෑන්’ නම් නාට්‍යය සිංහලට පරිවර්තනය කර නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එකල මම ඔහු සමඟ පැවසුවෙමි. මේ පිළිබඳ කතාබහ කරන අතරතුර ඔහු

“ප්‍රසන්න මේ නාට්‍යයේ පෙට්කෝෆ්ගේ චරිතය මට දුන්නොත් මම මෙන්න මෙහෙම තමයි කතා කරන්නේ ”

යනුවෙන් ඒ චරිතයේ කතා විලාසය පෑවේය. ඔහු එවේලෙහි පෑ කතා විලාසය හරියටම මේ නාටකය එංගලන්තයේ ගුවන් විදුලි නිෂ්පාදනයක විකාශය වූ හඬ පටයේ රඟපෑ නළුවාගේ හඬ හා සමාන වූයේය. මා ඒ බව දත්තේ ඒ හඬපටය මා ළඟ තිබූ බැවිනි. මගේ සිතට ඇති වූයේ පුදුමයකි. මන්ද කිසිම දිනෙක ඔහු හඬපටය අසා නොතිබුණු වග මට ප්‍රකාශ කළ අතර එය සත්‍යයක් බව මම විශ්වාස කරමි. ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමේදී කිසිම දිනෙක ඔහු තමන්ගේ වැඩිහිටිභාවය, කෘතහස්ථ භාවය, ප්‍රවීණත්වය මා ඉදිරියේ ප්‍රදර්ශනය නොකළේය. නාට්‍යය පුහුණුවීම් තිබුණු සෑම අවස්ථාවකම ඔහු මා හා කතාබහ කළේ මේ නාට්‍යයේ හාස්‍ය මතු කරන්නේ කෙසේද? මේ චරිතයේ අංග ලක්ෂණ මොනවාද යන්න ය. ඒ සඳහා මගේ පරිවර්තනය කට වහරට සකස් කරන්නටද ඔහු දායක විය. කාලයකට පසුව වුවද සිදු වූ ඔහුගේ මේ වේදිකා ආගමනය අවසන් වූයේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනා ගනිමිනි.

ඉන් ඇරඹි සබඳතාව චිත්‍රපට තුනක් දක්වා දිගු විය. ඒ ‘සිසිල ගිනි ගනී’, ‘අනන්ත රාත්‍රිය’ සහ ‘පවුරු වළලු’ යන චිත්‍රපටයි. ‘පවුරු වළලු’ ටෝනි අයියාගේම තිර රචනයකි. එහි නිෂ්පාදිකාව වන නීටා ප්‍රනාන්දුව මා වෙත ගෙන ආවේ ද ටෝනි අයියාමය. එතෙක් ටෝනි අයියා ලියන ලද තිර රචනා සම්බන්ධයෙන් මගේ අදහස වූයේ ඔහු රූපයට වඩා දෙබසට මුල්තැන දෙන තිරකතා රචකයෙක් බව ය. නමුත් අපගේ නිර්මාණයේ පිටපත ලියන කාලයේ කිසිදු ගැටලුවකින් තොරව වසරකට ආසන්න කාලයක් අපි දිනපතා හමුවීමු. එහිදි මගේ තිබුණු තරුණ කමත් සමඟ මම ටෝනි අයියාට විවිධ අභියෝග ඉදිරිපත් කළෙමි. ඒ අභියෝග මා ඔහුට ඉදිරිපත් කරන ලද්දේ චරිත මුහුණ දෙන අත්දැකීම සමාජ සම්මතයෙන් ඔබ්බට දැකීම සඳහාය. ටෝනි අයියාගේ විශේෂත්වය වූයේ තමන්ට ලැබෙන ඕනෑම අභියෝගයක් බාර ගැනීමය.

එය බාරගෙන තිර රචනයේ චරිතයේ අභ්‍යන්තරයට කිමිදීමට ඔහු වග බලා ගත්තේය. ටෝනි රණසිංහයන්ගේ සලකුණ වූයේ තමන්ගේ පෞරුෂය ඔසවා තබන්නට කිසිදු උත්සාහයක් ලබා නොදීමය. ප්‍රශංසා ගැන, ලාබ ගැන කිසිදු අවධානයක් ඔහු තුළ නොවීය. මෙසේ දැකීමෙන් සමාජය තමා ගැන වැරුදි හැඟීමක් ඇතිවේ යැයි ද ඔහු සිතුවේ නැත. ඔහුගේ ජීවිතයේ තිබුණේ එකම අරමුණකි. ඒ රංගනයේ දී මනුෂ්‍යයාගේ ජීවිතය නළුවෙක් ලෙස ගැඹුරුම තැනින් හඳුනා ගන්නේ කෙසේද යන්නය. මෙහිදී මා ඔහු දකින්නේ මුහුද පතුලටම කිමිදෙන්නට සූදානම් කිමිදුම් කරුවෙකු ලෙසිනි. මේ දෙස අපි නැවත හැරී බැලුවොත් ඔහු රඟපෑ ‘දෙලොවක් අතර’, ‘රන්සළු’, ‘පරසතු මල්’, ‘දුහුලු මලක් , ‘හන්තානේ කතාව, ‘අහසින් පොළවට කියන මේ චිත්‍රපට අතරින් සුවිශේෂී කුමක්ද? බලන්න. මේ චරිතවල ස්වභාවය වන්නේ මේ සෑම චරිතයක්ම දොස් ඇති මිනිසුන් වීමයි. මේ දොස් ඇති මිනිසුන් රූපණය කරමින් ඔහු අපට සැබෑ මනුෂ්‍යත්වය විදහා පෑවේය.

බොහෝවිට අද නළු නිළියන්ට රංගනය සමාජ ප්‍රාග්ධනයකි. පළාත් සභා මැතිවරණයකට හෝ මහ මැතිවරණයකට හෝ වේවා දේශපාලනයට එක්වීම සඳහා අත්වැලකි. මේ රංගනයෙන් කලාවට කිසිම සම්බන්ධයක් ඇත්තේ ද නැත. ටෝනි අයියාගේ නික්ම යෑම සනිටුහන් කරන්නේ ඔවුන්ට පෙර රංගනය ශුද්ධ කාර්යයක් ලෙස සැලකූ පරම්පරාවක අවසානයයි.

‘පවුරු වළලු’ චිත්‍රපටයෙන් පසුව මට ටෝනි අයියා හා නැවතත් වැඩ කරන්නට අවස්ථාවක් හිමි වන්නේ නැත. එහෙත් කිහිප විටක්ම අප දෙදෙනා තිර රචනා ලියන්න ගත් උත්සහයන් වැලකී ගියේ එක්කෝ එය නිම කරන්නට නොහැකි වීමෙනි. නැතිනම් වෙනත් චිත්‍රපට එතැනට මැදිහත් වූ නිසාවෙනි.

අවසන් වරට ටෝනි අයියාගෙන් මට දුරකථන ඇමතුමක් එන්නේ මැයි මාසයේ 08 වැනිදා ය. ඒ මා විදේශ ගත වීමට නිවෙසෙන් රථයට නඟිද්දී ය.

“ ප්‍රසන්න මට කතා කරන්න පුළුවන්ද?”

ඔහු විමසන්නේ දිගු කතාවකට මුල පුරන්නට බව මම දනිමි.

“ ඔව් කතා කරන්න පුඵවන්. ටෝනි අයියා වගේ මමත් ඩ්‍රයිව් කරන්නේ නැහැ නේ.”

යැයි ඊට මම පිළිතුරු දුනිමි. ඔහු සිය කතාව දිගටම කරගෙන යන්නේය.

“ ප්‍රසන්න මම දැක්ක අලුත් කොල්ලො වගයක්. ඒ අයට රංගනය ගැන උනන්දුවක් තිබෙන වග පේනවා. ඒත් මේ අයට ඉගෙන ගන්න තැනක් නැහැ. ඒ නිසා මම සිතුවා උගන්වන්න. ඒකට මම කොළඹත්, නුවරත් පන්ති දෙකක් දානවා. මේ අයට රංගනය පිළිබඳ විවිධ න්‍යායන් ගැන කතා කරන්න මම සිතුවා.”

පැයකුත් විනාඩි විස්සක් දක්වා දිවෙන මේ කතාබහට තිත තබන්නට සිදු වන්නේ මට ගුවන් තොටුපොළේ දී බහින්නට සිදු වූ බැවිනි. දුරකථනයේ මේ තරම් කාලයක් වෙන් වන්නේ රංගනයේ විවිධ න්‍යායන් පිළිබඳ ඔහුගේ අදහස් කියන්නට ය. නිදසුනක් ලෙස ස්ටැනිස්ලවුස්කිගේ රංගන න්‍යායට නැත්නම් මෙතඩ් ඇක්ටින් සඳහා ඔහු එකඟ වන තැන්, එකඟ නොවන තැන්, එය ඇමෙරිකාවේ වර්ධනය වූයේ කෙසේද?, ලි ස්ට්‍රාස්බර්ග් වැනි න්‍යායාචාර්යවරුන් එය වර්ධනය කළ ආකාරය පිළිබඳව ඔහුට තිබෙන ගැටලු, මාලන් බ්‍රැන්ඩෝගේ රංගනය ආදී බොහෝ දේ ඒ කතාවට ඇතුළත් ය.

2015 වසරේ දී දුරකථනයෙන් ඇසුණු හඬ මට සිහිපත් කළේ රංගනයට උන්මාදනීය ලෙස ප්‍රේම කළ ටෝනි අයියාගේ හඬමය. රංගනය විෂයයෙහි ශ්‍රී ලංකාවේ බිහි වූ හොඳම ශිෂ්‍යයාට 78 වැනි වියේ දී ගුරුවරයෙකු වීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ රංගනය පිළිබඳ ප්‍රේමය තරුණයන්ට උගන්වා පතුර වන්නටය. එහෙත් ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්නට පෙර අපගෙන් සමුගන්නට සිදු විය. වර්තමාන සිනමා ප්‍රේක්ෂකයන් සහ නූපන් ප්‍රේක්ෂකයන් ඔහු උරුම කර ගිය රංගන දායාදයේ උරුමක්කාරයන් වීමට වාසනාවන්තයන් වනු ඇත. ඔහුගේ රංගනය අදට වඩා අනාගතයේ දී අගය කරන දවසක් එළැඹෙන බව මගේ විශ්වාසයයි.