|
කලාකරුවාගේ දේශපාලනය අවංක විය යුතුයි
ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රවේගාත්මක සංවාදයක
‘ට්‍රෝජන් කාන්තාවෝ’ ජූනි 18 ‘ධවල භීෂණ’ ජූනි 20 ලයනල් වෙන්ට්ඩ්හිදී
ධර්මසිරි බණ්ඩාරනායක රංගනයෙන් මෙන්ම නිර්මාණකරණයෙන් ද මෙරට සිනමාව හා වේදිකා නාට්‍ය කලාව අරභයා සිය අනුපමේය දායකත්වය පුද කළ විශිෂ්ට ගණයේ කලාකරුවෙකි. ‘හංස විලක්’ හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි හේ අනතුරුව සුද්දිලාගේ කතාව, තුන්වැනි යාමය, බවදුක, බවකර්ම වැනි සම්මානනීය චිත්‍රපට හරහා ලාංකේය සිනමා රඟමඬල සිය ප්‍රතාපවත් නිර්මාණ පෞරුෂයෙන් ප්‍රභාමත් කළේය. ‘ඒකාධිපති’ ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය නිර්මාණයයි. ධවල භීෂණ, මකරාක්ෂයා, යක්ෂාගමනය, ට්‍රෝජන් කාන්තාවෝ වැනි වේදිකා නාට්‍යය ඔස්සේ ඔහු අපේ ප්‍රබුද්ධ ප්‍රේක්ෂකාගාරය වෙත තත්කාලීන සමාජ, දේශපාලන ප්‍රවාහයේ කටුක යථාර්ථය නිර්භයව හෙළිදරව් කිරීමට පසුබට වූයේ නැත. අද සවස 7.00 ට ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සමඟ ඔහු යළි කරළියට පිවිසීමට නියමිතය. අනතුරුව මෙම 20 වැනි දින ‘ධවල භීෂණ’ රඟ දැක්වීම ද සිදු කෙරේ. ස්ථානය කොළඹ ලයනල් වෙන්ටඩ් රඟහලය. මේ එකී කාර්යය මුල් කර ගනිමින් ධර්මසිරි බණ්ඩාරනායක සමඟ කළ ප්‍රවේගාත්මක සංවාදයකි.
‘ට්‍රෝජන් කාන්තාවෝ’ සහ ‘ධවල භීෂණ’ හරහා ඔබ වරින්වර මෙරට ප්‍රේක්ෂකාගාරය ආමන්ත්‍රණය කරනවා. මේ එහි තවත් පියවරක්? 1999 වසරේ තමයි මම ‘ට්‍රෝජන් කාන්තාවෝ’ මුල්වරට වේදිකා ගත කළේ. ඒ කියන්නේ මීට වසර දහසයකට පෙරාතුව. එදා ඒ නාට්‍යයේ රඟපෑ නළු, නිළියන් අදටත් ඊට රංගන දායකත්වය ලබා දීම සුවිශේෂයි. ඒ වගේම ‘ධවල භීෂණ’ මම ආරම්භ කළේ 1988 වසරේ. දර්ශන වාර දහස් ගණනකට වඩා රටේ නොයෙක් ප්‍රදේශවල එය වේදිකා ගත කර තිබෙනවා. තවමත් ඒ නාට්‍යයන් සඳහා ඉල්ලුමක් තියෙනවා? ඔබට කියන්න ‘ට්‍රෝජන් කාන්තාවෝ’ පසුගිය ජූනි 07 වැනිදා රඟදැක් වූ අවස්ථාවේ ලයනල් වෙන්ට්ඩ් රඟහල අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. චිත්‍රපට බලන්න, නාට්‍යය නරඹන්න ප්‍රේක්ෂකයෝ එන්නේ නෑ කියා මැසිවිලි, අඳෙීනා නැගෙන යුගයක ඇත්තෙන්ම මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ මම අතිශයින් සතුටට පත්වෙනවා. අද සහ 20 වැනි දින රඟ දැක්වෙන නාට්‍යය දර්ශනවලටත් මා එබඳු ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමයි එම දර්ශන වාර දෙකටම ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගි වෙන්නේ. බොහේ ප්‍රවීණ කලාකරුවන් තමන්ගේ අතිත ශ්‍රී විභූතිය මතින් තමයි වර්තමාන නිර්මාණ දිවියේ රඳා පැවැත්ම තහවුරු කර ගැනීමට උත්සාහ කරන්නේ. එය නිර්මාණ බංකොලොත්භාවය යනුවෙන් ඇතැමුන් නිර්වචනය කරනවා. ඔබටත් කවුරුන් හෝ එහෙම චෝදනාවක් කළොත්? ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ පරණ නාට්‍යය පෙන්වන්නේ අලුත් නාට්‍යයක් නොකර කියලා. අපේ උදාසීනභාවයක් ගැන විමසනවා වගේ ප්‍රශ්නයක් ඒක. දැන් නාට්‍යවලට කොහොමද අපි මුදල් හොයා ගන්නේ, කොහොමද මේවා නිෂ්පාදනය කරන්නේ කියන ගැටලුව පිළිබඳ කවුරුවත් අපෙන් විමසන්නේ නෑ. ඇත්තටම අපේ පෞද්ගලික වුවමනාව නැතිනම් කැක්කුම නිසයි තවම මේවා කරගෙන කරන්නේ. මේ සමාජයේ නෑ එහෙම පරිත්‍යාගශීලී මිනිස්සු. පාදඩකරණයට ලක් වූ සමාජයක තමයි පසුගිය කාලේ අපිට ජීවත් වෙන්න සිදු වුණේ. ඒක සමාජ, දේශපාලන කාරණාවක්? ඔව්. නමුත් කලාකරුවන් හැටියට අපට ඒ සමාජ දේශපාලන යථාර්ථයෙන් බැහැර වෙන්න බෑ. පසුගිය කාලේ අපේ රටේ දේශපාලනය යම් තීරණාත්මක අවධියකට ආවා. එතනදි කලා නිර්මාණවලින් ඔබ්බට ගිහින් අපට වෙනත් තීන්දු, තීරණවලට එළඹෙන්නට පවා සිදු වුණා. හැබැයි ඒ කලාව ඇතුලේ අපට තනතුරු අරගෙන, බලපුලුවන්කාරකම් ඇති කරගන්න නෙවෙයි. කලාකරුවාගේ බලපුළුවන්කාරකම එන්නේ කලාව තුළ. ඒ කියන්නේ කලාව රස විඳින ප්‍රේ්ක්ෂකාගාරත් එක්ක අපි ගනුදෙනු කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සුගතපාල සිල්වා වැනි නාට්‍යකරුවන්ගේ සෙවන යටතේ අපි වැඩුණේ. ඒ සෙවන යටතේ බිහි වුණ දැවැන්ත ප්‍රේක්ෂකාගාර මේ රටේ ශිෂ්ට සම්පන්න මිනිස්සු ගොඩ නැඟුවා. ඒ කියන්නේ කලාවෙන් ශික්ෂණය ලද මිනිසුන්? කලාවෙන් තමයි ඒ ශිෂ්ට සම්පන්නභාවය අපේ රටේ ඇති වුණේ. නැතිනම් අශිෂ්ටභාවය තමයි අපට උත්පත්ති කතාවේ ඉඳලම ගෙනියන්න වෙන්නේ. නමුත් අර දැවැන්ත සෙවන යට හැදුණු ශිෂ්ට සම්පන්න සමාජය එක්ක අපට ගනුදෙනු කරන්න ඉඩකඩ සැළසුණා. දැන් 1976 දී මගේ මුල්ම නාට්‍යය ‘ඒකාධිපති’ කරන කොට මම කරළියට පිවිසුණේ ආධුනික නාට්‍යකරුවෙක් හැටියට නෙවෙයි. ප්‍රේක්ෂකාගාරය මට සැළකුවේ ප්‍රවීණයෙක් විදියට. ඊට පෙර ඔබ නළුවෙක් පමණයි? හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල සිල්වා වැනි නාට්‍යවේදීන් යටතේ රඟපෑ නළුවෙක් පමණයි. නමුත් අපි එතුමන්ලාගෙන් මහ විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තා. ඉතින් ඒ දැනුම මත පදනම්ව තමයි අපේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. ඒ සම්ප්‍රාප්තිය ඇතුළේ මම ‘ඒකාධිපති’ කරනවා. ‘මකරාක්ෂයා’ කරනවා. ‘යක්ෂාගමනය’, ‘ධවල භීෂණ’ නිර්මාණය කරනවා. ඊට පස්සෙ තමයි අවසානයේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ දක්වා එන්නේ. ඔබ ඒ නාට්‍යය නිර්මාණය කරන්නේ කාලයකට පෙර වෙනත් සමාජ, සංස්කෘතික දේශපාලන පසුබිමක සිට. අද සමාජයට ගැළපෙයි කියා ඔබ සිතනවාද ඒ නිර්මාණ? ජූනි 07 වැනිදා ‘ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා ගත කරපු වෙලාවේ අනුරාධපුරය, පොළොන්නරුව වගේ ප්‍රදේශවලින් බස් අරගෙන පාසල් ළමයින් රාත්‍රී 7.00 දර්ශනය නරඹන්න ආවා. ඒ අය උදේ පිටත් වෙලා තියෙන්නේ. දවල් කෑම, රෑ කෑම හදාගෙන ගුරුවරු මේ ළමයින්ව සහභාගි කෙරෙව්වා ඒ දර්ශනයට. ඒ තමයි මේ ඉතිරි වෙච්ච පිරිස. කැක්කුමක් තියෙන පිරිස. පංති කාමරය ඇතුලේදී පාසල් ගුරුවරුන්ට තේරෙනවා තමන්ගේ ශිෂ්‍යයන්ගේ ජීවිත කොයි තරම් පරිහානියකට ගමන් කරලා තියෙනවාද කියලා. ඒ පරිහානියෙන් ඔවුන් මුදවා ගන්න ගුරුවරුන් කරනා මේ කැපවීම අපි අගය කරන්න ඕනෑ. නාට්‍යකරුවෙක් හැටියට ඔබෙත් ඒ කැපවීම තියෙනවා? ‘ට්‍රෝජන් කාන්තාවෝ’ දර්ශන වාර එකසිය තිස් ගාණක් කරගෙන යන කොට උතුර - නැගෙනහිර ප්‍රදේශවල සම්මන්ත්‍රණ පවත්වලා මම තනියෙන් ඒ කටයුතු කළා. මම මගේ පුද්ගලික මහන්සියෙන් ශාලාවල් පුරවමින් එහෙම කරගෙන ගියේ වෙනත් නාට්‍යකරුවන්ගෙන් හෝ රජයෙන් උදව් නොමැතිව. දැන් උදාහරණයක් හැටියට මම බද්්දේගම ප්‍රදේශයේ ‘ධවල භීෂණ’ නාට්‍යය පෙන්නුවේ පාසල් දහයක සම්මන්ත්‍රණ පවත්වලා. සිසුන් ඒ පිළිබඳ දැනුම්වත් කරලා. මගේ කාරෙකේ පාප්ප හදාගෙන තනියෙන් ගිහින් මම පෝස්ටර් ඇලෙව්වා. බද්දේගම සමහරු මගෙන් ඇහුවා ඇයි ධර්මසිරි තනියෙන් පෝස්ටර් අලවන්නේ කියලා. මොකක්ද ඔබේ පිළිතුර වුණේ? මම ඔවුන්ට කිව්වා ගෙදර ගිහින් තනියෙන් ඒ ගැන හිතන්න. මේකයි වර්තමාන නාට්‍යකරුවාගේ තත්ත්වය කියලා. මේ සංස්කෘතික විනාශය ගැන අපි කතා කරන්නේ නැතිනම් කවුද ඒ ගැන කතා කරන්නේ. කලාකරුවෙක් හැටියට පවතින රජයන්ගෙන් ලාබ ප්‍රයෝජන, වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. නමුත් ඇයි අපි එහෙම නොගන්නේ කියලා ජනතාව කල්පනා කරන්න ඕනෑ. අපි එහෙම නොගත්තා කියලා රතු පලස් දාලා අපිව පිළිගන්න සමාජයක් මෙතැන නැහැ. අද අපි ජීවත් වෙන්නේ කුණු වෙච්ච සමාජයක. ඒක ඕනෑම ලොකු මිනිහෙක් ඉස්සරහා කියන්න මම බය නැහැ. දේශපාලනඥයන්ට තමයි ඔය චෝදනනාව වඩාත් අදාල වෙන්නේ? අද නාට්‍යයක් නරඹන, චිත්‍රපටයක් රස විඳින දේශපාලනඥයෝ ඉන්නේ කීප දෙනයි. තරුණ දේශපාලනඥයන් කීප දෙනෙක් නාට්‍ය වේදිකාව ඇසුරු කරනවා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආවානේ වේදිකා නාට්‍යය බලන්න. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, සරත් මුත්තෙට්ටුවේගම ඔය දැන් ඉන්න වාසුදේව නානායක්කාර එහෙම දිගු ලැයිස්තුවක් අපට තිබුණා. වත්මන් ජනාධිපතිතුමාත් ඒ ලයිස්තුවට එකතු වෙනවා? ඔව්. ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සහ ‘ධවල භීෂණ’ නාට්‍යය නරඹන්නට ජනාධිපතිතුමන් එනවා ශාලාවට. අපි හිතන්නේ ඒක හොඳ පරිවර්තනයක්. මම හිතන්නේ එතුමා ඉන්නේ දේශපාලන වනාන්තරයක. එතනින් එළියට ගන්න ඕනෑ එතුමා. තව බාහිර ලෝකයක් තියෙනවා. මොකද ඒක වෙහෙසකර ජීවිතයක් කියලා අපට තේරෙනවනේ පුවත්පත් ඇසුරෙන්. මේ රටේ එබඳු නැවුම් වෙනසක් ප්‍රාර්ථනා කරන ජීවිතයක් අපි රැක ගත යුතුයි. එතුමා අපේ නාට්‍යය නරඹන්නට පැමිණෙන එක මට විතරක් නෙවේ, සියලුම ශිල්පීන්ට ගෞරවයක්. නාට්‍යකරුවා මුහුණපාන අභියෝග, අර්බුද රැසක් තිබෙනවා. ඊට යම් රාජ්‍යය මැදිහත්වීමක් අවශ්‍යයි නේද? ඔව්. මේ වගේ ඇහුම්කන් දෙන නායකයන්ට අපට පුළුවන් ඒ සියල්ල පැහැදිලි කර දෙන්න. කලාව, සංස්කෘතිය රැක ගැනීම උදෙසා වෙන් වූ ආයතන, අමාත්‍යාංශ තිබෙනවා දැවැන්ත ගොඩනැගිලි ලෙස. දහස් සංඛ්‍යාත පිරිස් එයින් වැටුප් ලබනවා. නමුත් නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් යමක් සිදුවෙන්නේ නෑ. ඉන්දියාවේ නම් තිබෙනවා සිනමාව හා නාට්‍යය කලාව සඳහා මූල්‍යාධාර සපයන ආයතන. රටේ සියලුම සමාගම් එකතු වෙලා තමයි නාට්‍යය කලාව රැක ගන්නේ. ශාලාවල් නඩත්තු කරන්නේ. ඒවා ශිෂ්ට සම්පන්නයි. අපි කියන්නේ එබඳු වැඩ පිළිවෙලක් තුළින් තමයි ශිෂ්ටසම්පන්න සමාජයක් බිහි වෙන්නේ. ඒ ශිෂ්ට සම්පන්න බව ප්‍රේක්ෂකාගාරය තුළ පවා රැක ගන්න ඔබ උත්සුක වෙනවා? නාට්‍යයක් නැරැඹීමට විනාඩි දහයකට ප්‍රථම සියලුම ජංගම දුරකතන ක්‍රියා විරහිත කරගන්නා ලෙස අප ප්‍රේක්ෂකාගාරයට දැනුම් දෙනවා. මොකද එහෙම ශිෂ්ට සම්පන්න සමාජයක නෙවෙයි අද අපි ඉන්නේ. මොකක්දෝ නලියෑමක් තියෙනවා. එහෙම සමාජයකින් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒ සමාජයත් එක්ක නැගිටින්නේ මිලේච්ඡ දේශපාලනය. ඔවුන්ට කිසිම උගත්කමක් නෑ. හැදියාවක් නෑ. විනයක් නෑ. හැබැයි ඔවුන් තමයි අපව පාලනය කරන්නේ. එබඳු දේශපාලනඥයන් කලාව සහ කලාකරුවා පිළිබඳ සංවේදී වන්නේ නැහැ? දැන් මේ වෙන කොට මම චිත්‍රපට පහක් නිර්මාණය කර තිබෙනවා. ඒත් එවාට මොකද වුණේ කියලා හොයලා බලන්න අද එක් කෙනෙක්වත් නෑ. චිත්‍රපට සංරක්ෂණය කිරීමට ඔවුන් කටයුතු කර නෑ. නාට්‍ය කලාව ඇතුළේ තත්ත්වයත් ඒකම තමයි. දැන් ඒකාධිපති නාට්‍යයේ මම ඇඳපු ඇඳුම පෝර බෑග් එකකට දාලා කෝට්ටේ නගර සභාවේ කුණු ලොරියට දැම්මා. ඒ ඇඳුම මම දර්ශන වාර දෙදහකට වඩා ඇඳලා තියෙනවා. ඉතිං අලුතින් ඇඳුම් මහනකොට මම කොහෙද අර පරණ ඒවා තියා ගන්නේ. මනමේ කුමාරයා ඇඳපු ඇඳුම, වැද්දා ඇඳපු ඇඳුම ඔක්කොම ඓතිහාසික සංකේත. ඒත් ඒවාට වුණ දෙයක් නෑ. නමුත් මුල් නාට්‍යයකරුවන්ගේ වස්ත්‍රාභරණ සංරක්ෂණය කර තිබෙනවා නේද? ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් ඇඳපු ඇඳුම් ටවර් හෝල් එකේ රාමු කරලා එල්ලලා තියෙනවා. ඇයි ඊට පස්සේ නාට්‍යය කලාවක් පැවතුණේ නැද්ද මේ රටේ. මම හිතන්නේ ලංකාවේ භාගෙට භාගයක් උගත්තු කියන්නේ හරක්ට. එහෙම සංස්කෘතික මිනිස්සු නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඉඳහිට හෝ සංස්කෘතික මිනිහෙක් කියන ප්‍රකාශවලට කවුරුත් ඇහුම්කන් දීලා නෑ. මේ රාජ්‍ය සංස්ථාපිථය හැදිලා තියෙන්නේ එක එක මිනිසුන්ගේ එක එක පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා. ඔබ කිව්වා කලාකරුවන්ගේ බලපුළුවන්කාරකම් තියෙන්නේ කලාව ඇතුළේ කියලා? කලාව ඇතුළේ . . . නමුත් ඒ බලපුළුවන්කාරකම හෝ සමාජ දැක්ම හැමදාම දේශපාලන ප්‍රතිරූප හමුවේ යටපත් වී ගියා නේද? ඒ ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය. අපි ගත්තොත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව පිහිටුවපු කාලේ ඉඳලා තමයි මම නාට්‍යය හැදුවේ. එතකොට මගේ නාට්‍යය මහජනතාව අතරට ගියේ ඔය විවෘත ආර්ථිකය තිබුණ කාලේ. අපි ඊට පෙර නිර්මාණ ගත්තොත් ඒ කාලේ කලා, සංස්කෘතික දේහයක් ඒ රාජ්‍යයන් තුළ ගොඩ නඟලා තිබුණා. බණ්ඩාරනායක රජය, විශේෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ. හැබැයි විවෘත ආර්ථිකය හමුවේ අපේ කලාව විනාශ වුණා කියන ප්‍රසිද්ධ මතවාදය සමඟ මම එකඟ වෙන්නේ නෑ. දැන් ගුවන් විදුලියේ ළමා පිටියෙන් ආපු නන්දා මාලිනීගේ හඬනේ අපට මතක තිබුණේ. රූපවාහිනිය ආවාට පස්සේ නන්දා මාලිනීගේ රූපය අපි දැක්කා. ඇගේ හඬ ඇහුවා. එතකොට නව තාක්ෂණික මාධ්‍ය තුළ ඇයට වෙළෙඳ වටිනාකමක් රෝපණය වුණා. එය හොඳ ප්‍රවණතාවක් හැටියටයි මම දැක්කේ. නමුත් ඔබ ඔය කියන යුගයේම පසු අවධියක නන්දා මාලිනී ‘සත්‍යයේ ගීතය’, ‘පවන’ වගේ ගී ප්‍රසංගත් එළි දක්වනවා. එය විරෝධාකල්ප ගී ප්‍රවාහයක් ලෙසයි ඇතැමුන් හැඳින්වුයේ? ඔව්, ලංකාවේ එවකට සිටි තරුණ දේශපාලනික ක්‍රියාධරයින් පිරිසක් පවතින ධනපති පාලනයට එරෙහිව කිසියම් පෙළගැස්මක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ වටා එකල තරුණ පිරිස් එක් රොක් වෙන්නේ ඒ නිසයි. ජනතා විමුක්ති පෙරමුණට එහෙම තරුණයන්ගේ ආකර්ෂණය හිමි වීම වරදක් නෙවෙයි. නන්දා මාලිනී ‘පවන’ වගේ ගී ප්‍රසංගයක් හරහා පෙන්වා දුන්නේ ඒ තරුණ අසහනය. නමුත් පසුව එකී දේශපාලන ක්‍රියාදාමය කැරලි, කෝලාහල දක්වා ව්‍යාප්ත වීම නිසා විශාල විපත් සිදු වුණා. නන්දා මාලිනී - සුනිල් ආරියරත්න යුවළගේ සුසංයෝගය තම දේශපාලන අරමුණු සඳහා හුදු සටන් පාඨ ලෙස යොදා ගැනීම එදා ජනතා විමුක්ති පෙරමුණ කළ වරදක්. කෙසේ හෝ පසුකාලීනව බොහෝ කලාකරුවන්ගේ නිර්මාණවලින් අප ඒ විරෝධාකල්ප, නැත්නම් රැඩිකල් ස්වභාවය දුටුවේ නෑ. හරියට ඔවුන් දේශපානඥයන් හා අවබෝධතා ගිවිසුමකට එකඟ වුණා වගේ. මෙය මා පොදුවේ දකින තත්ත්වයක්? මම හිතන්නේ පසු කලෙක දේශපාලනඥයන් හා එක පෙළට සිට ගන්න, නැතිනම් ඔවුන් සමඟ පයුරු පාසනයට සූදානම් වූ කලාකරුවන් පිරිසක් බිහි වුණා. ඒගොල්ල කල්පනා කළා දැන් මේ කාලේ ඇතුළේ කීයක් හරි හොයාගෙන හොඳට ජීවත් වෙන්න ඕනෑ කියලා. ඒ නිසා ඔවුන්ගේ ආධ්‍යාත්මය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. ශාරීරික අවශ්‍යතාවයන් පමණයි ඔවුන් ඉටු කර ගන්නට බැලුවේ. භෞතික සම්පත් රැස් කිරීමේ කලාව? භෞතික සම්පත් පරිහරණය. මම හිතන්නේ කලාකරුවෙක් එහෙම වෙන්න ඕනෑ නෑ. දැන් සුනිල් සාන්ත කෙනෙක් නැවත බිහි වුණේ නෑනේ. ඔහු අපට හොඳ පරමාදර්ශයක් දුන්නා. තමන්ගේ අදීනත්වය පාවා දුන්නේ නෑ දේශපාලකයන් ඉස්සරහට ගිහිල්ලා. අවසන් කාලයේ ඔහු රේඩියෝ අලුත්වැඩියා කරමින් තමන් ගේ ජීවිකාව ගෙනිච්චා. නමුත් ඔහුගේ ගායනයට මොකුත් වුණේ නෑ. ඔහු පැවතුණා. අපේ සමාජය ඇතුලේ එහෙම නෙවෙයි පවතින්න උත්සාහ කරන්නේ. යාන වාහන අවශ්‍යයි. දැවැන්ත ගෙවල් දොරවල් අවශ්‍යයි. මම හිතන්නේ ඒ බාහිර සම්පත් දිහා බලලා නෙවෙයි ඔහු කලාකරුවෙක් ද නැති ද කියලා ජනතාව තීන්දු කරන්නේ. දැන් මම මෙහෙම ඇහුවොත්, ධර්මසිරි බණ්ඩාරනායක කියන කලාකරුවා වටාත් කිසියම් දේශපාලන රැස් වළල්ලක් ගොඩ නැඟී තිබෙනවා නේද? මම දේශපාලනය ඉගෙන ගත්තේ මගේ නාට්‍යවලින්. මම නාට්‍ය හදලා රටට උගන්වන්න ගිය මිනිහෙක් නෙවෙයි. දැන් ‘මකරාක්ෂයා’ නාට්‍යය දැක්කම මිනිස්සු මොන තරම් නිවටද, බියගුළු ද කියන එක අපට දැනෙනවා. හෙන්රි ජයසේනගේ ‘මකරා’ නාට්‍යයේ ඉඳලම මම ඒ අධ්‍යාපනය ලැබුවා. ඒක ‘මකරාක්ෂයා’ නමින් මගේ ඇඟට අරගෙන මම සමාජගත කරන්නේ නිවටයක් වෙන්න එපා, බියගුල්ලෙක් වෙන්න එපා කියන කාරණයයි. මේ සමාජය සුවපත් කරන්න ඒ දහම අවශ්‍යයි. එතකොට ‘ට්‍රෝජන් කාන්තාවෝ’ මම කළේ යුද්ධය පවතින කොට. මම ඒක කළේ මේ ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය මිලිටරයිස් වෙලා තිබුණ යුගයක. යුද මානසිකත්වය සමාජය වෙළාගෙන තිබූ යුගයක? යුද්ධයක් දිගින් දිගටම පවතිනවා කියන්නේ හැම මිනිහෙක්ම හමුදා භටයෙක් වෙනවා. හිතන්න බස් එකක් පාරේ යන විදිහ. අනෙක් මිනිහා යට කරගෙන. ඒක මාර මානසිකත්වයක්. යුදවාදී මානසික තත්ත්වයක් මඟින් පෙළ ගැසුණු මේ සමාජය කොහොම ද මේකෙන් එළියට ගන්නේ. ‘ට්‍රෝජන් කාන්තාවෝ ‘ නාට්‍යය ලියලා තියෙන්නේ අවුරුදු දෙදහස් පන්සීයකට කලින් යුරිපීඩිස්. ඔහු කියන්නේ කිසි කෙනෙක් යුද්දෙන් දිනන්නේ නෑ. ජයග්‍රහණය කළා කියන කෙනා තමයි මහාම පරාජයක් අත්පත් කර ගන්නේ. දැන් මොන තරම් වලංගු ද ඒ දහම අද අපේ රට දිහා බැලුවම. නමුත් අද අපේ රටේ මිනිස්සු යුද මානසිකත්වයකින් පෙළෙන්නේ නෑනේ. කිසියම් සංහිඳියාවක් ඔවුන් තුළ තිබෙනවා? නෑ, දැන් බොහොම සෙමින් අපි ඒක මේ සමාජයෙන් අතුගාලා දාන්න ඕනෑ. ජාතිවාදය, වර්ගවාදය දැන් අපි කිරුළු පළඳලා තියෙන්නේ ඒ තරමටම. සියලුම ජාතීන්ට එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. මම දෙමළෙක් කියා කෙනෙක් කල්පනා කළොත් කොහොමද එතනදි අපි ඒ සංහිඳියාව ගොඩ නගන්නේ. ඒ මනුෂ්‍යයාට පුරවැසිභාවය තුළ තියෙන අයිතිය, අපි සුරකින්න ඕනෑ. දැන් මේ දවස්වල ගෙන යන සංවාද අරගෙන බලන්න. ඒවායින් වෙන්නේ ආයේ වර්ගවාදයට අතවැනීමක්. ඔන්න දැන් ආයේ එල්. ටී. ටී.ය හිස ඔසවන්න හදන්නේ. නැවත කොටි ත්‍රස්තවාදය එනවා. එහෙම කියලා අන්තවාදීන් විසින් මිනිසුන්ගේ සිත්වල සැක සංකා ඇති කරනවා. එයින් දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. ඔබ මරණ වරෙන්තුව අතේ තියාගෙන නාට්‍යය හදපු, නාට්‍යය පෙන්වපු නිර්මාණකරුවෙක්. එවන් ජීවිත අවදානමක් දරාගෙන ඔබ ප්‍රාර්ථනා කළේ සුවපත් සමාජයක් මේ රටේ බිහිවනු දැකීම? මම තරම් ජීවිත අවදානමකට ලක් වූ තවත් නාට්‍යයකරුවෙක් නැති තරම්. උඹ ගියොත් මරනවා. අර නාට්‍යය පෙන්නුවොත් මරනවා කිය කියා එල්.ටී.ටී.ය නාමයෙන් මට ලියුම් එව්වා, සිංහල සංවිධාන. අපි එහෙම බය වුණේ නෑ. මරනවා කියලා ලියුම් එවපු ෆයිල් එකක්ම මගේ ලඟ තියෙනවා. එතකොට මම මේ රටේ පුරවැසියෙක්. පුරවැසියන් අතරත් විශේෂත්වයක් තියෙන්නේ මම කලාකරුවෙක් නිසා. කලාවෙන් තමයි මගේ ප්‍රකාශන සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක මගේ අයිතිය. ඔබේ පෞද්ගලික මතයට අනුව දේශපාලනය කලාකරුවාට කැප ද අකැප ද? කලාකරුවෙකුට තමන් කැමැති දේශපාලනයක යෙදෙන්න පුළුවන්. අපි බලනවා එයාගේ ප්‍රගතිශීලිත්වය. මම මාක්ස්වාදියෙක් කියලා සම්පූර්ණයෙන්ම ධනවාදය වැළඳගෙන ඉන්නවා නම් අර මූලික සංකල්පය ඉබේම නිශේෂධනය වෙනවානේ. සමාජය කල්පනා කරනවානේ. ඉතින් අපි කියන්නේ කලාකරුවාගේ දේශපාලනය අවංක විය යුතුයි කියලයි. වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා කිසිදු වරප්‍රසාදයක්, ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කටයුතු කළ කලාකරුවෙක් ඔබ? හැබැයි වැඩේ ගැස්සුනා නම් මේ වෙන කොට මම පොළොවේ අඩි අටක්, දහයක් යට. ජනාධිපතිතුමාම කියනවානේ එතුමා පරාජය වුණා නම් මේ වෙනකොට අඩි දහයක් යට කියලා. ඊට උඩින් තමයි අපේ බොඩීස් තියෙන්නේ. එතකොට ඔබ බලාපොරොත්තු වූ දේශපාලන, සමාජ සංස්කෘතිය අද යථාර්ථයක් බවට පත් වෙලාද? නැහැ. අපි ඒ පිළිබඳ කිසියම් අවධානයකින් ඉන්නවා. අර පරණ ගතිකයන් නැවත හිස ඔසවා එන්න හදනවා. ඒක මේ රටේ මිනිසුන්ගේ අශිලාචාරකම. මේ කෑකෝ ගහන කිසිම මිනිහෙක් ජනවාරි 08 වැනිදාට පෙර මේ වෙනුවෙන් පෙනී හිටියේ නෑනේ. බොහොම අශීලාචාර විදිහට කතා කරමින් තමයි මේ ජයග්‍රහණය ආපස්සට හරවන්න බැලුවේ. ඊට පස්සේ මේ ජයග්‍රහණයත් සමඟ ඔවුන් ක්‍රියා කරන විදිහ බැලුවාම මේ කට්ටියම ‘මකරාක්ෂයා’ නාට්‍යයට අයිතියි. ඔවුන් හැමෝම එහි තම තමන්ගේ භූමිකා නිරූපණය කරනවා.
|