වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරෙයි මං ආදරෙයි

ආදරෙයි මං ආදරෙයි

ආදරෙයි මම ආදරෙයි
නුහුරු නුපුරුදු ආදරයේ රහස
මේයයි පෙන්වා දී
ආදරෙයි මම ආදරෙයි කියමින්
ඉමිහිරි සෙනෙහසක් පුද කොට
සාගරය වැනි වේදනාවක
මා තනිකර ගියේ ඇයි ඔබ?
යාවන්තය

එදා අප මැව් පියකරු
සිහින සිතුවම්
අපේ හදවත් තුළ රසබර
හැඟුම් මැව් අයුරු
අද ද සිහිපත් වේ

ආදර පවුරු බැඳගෙන
රජ වූ ඒ අතීතයේ බැබළුණු
කිසි දින කළු වලාවකට යට නොවුණි
එසේම ඒ ආදරය පිරුණ අපේ හදවත්
කිසි දින ගොළු නොවිණි
ආදරෙයි මම ආදරෙයි - තවමත් ආදරෙයි

- ඉන්ද්‍රාණී විජයබණ්ඩාර


උපුල් ප්‍රසාද්ගේ උපන් දින සැමරුම

ජුනි 19 වැනිදා සිය 27 වැනි උපන්දිනය සමරන යොවුන් රංගන ශිල්පී උපුල් ප්‍රසාද් සඳරුවන් උපන් දිනයදා අම්පාර හිඟුරාන උත්තර ජය මහ විහාරයේ සහ අනෙකුත් විහාර ස්ථානයන්හි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා 50 නමකට අටපිරිකර සහිත දහවල් දානය පිරිනැමීමටත් වියපත් උපාසක උපාසිකාවන් 27 දෙනෙකුට සිල් රෙදි පාවහන් හා සැරයටි ආදි පිරිකර පිරිනැමීමටත් කටයුතු යොදා ඇති අතර එදින සවස හිඟුරාණ උත්තර ජය මහා විහාරස්ථානයේදී පහන් සියයක ආලෝක පූජාවක් පැවැත්වීමටද නියමිතය. - ප්‍රසාද්


ටෝනි ගැන ආලකමන්දාව 23 දා ජාතික රූපවාහිනියේ

පසුගියදා අභාවප්‍රාප්ත වූ සිනමා නළු ටෝනි රණසිංහගේ කලා ජීවිතය අළලා සම්පාදිත 'ආලකමන්දාව' මෙම 23 දා (අඟහරුවාදා) රාත්‍රී 10.10 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙයි. 'දෙලොවක් අතරක චරිතාංග නළුවා - ආදරණීය ටෝනි' නම් වූ මෙහි තිර පිටපත සුනිල් මිහිඳුකුලගෙනි. ආලකමන්දාව විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයකි.


හර්ෂ ගේ ටෙලි තැටිය එළිදකී

හර්ෂ උඩකන්දගේ තිර රචනාකොට අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සංකල්පනා, දම්සරණ, දැහැමි ඔවදම්, මනුස්සකම සහ වාසනාව යන පෝය නාට්‍ය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා එළිදැක්විණ. සැනෙට් දික්කුඹුර, නෙතලී නානායක්කාර, හෂිනිකා කරලියැද්ද, රූපා ගෝමස්, මලින්ද පෙරේරා, කීර්ති රංජිත් පීරිස්, සවන් සත්සර ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි රංගන දායකත්වය සපයති.

මෙම නාට්‍ය ඩී.වී.ඩී. ඉන් ආර්ට් ආයතනයේ බෙදාහැරීමක් වන අතර රෙඩ් ක්‍රියේෂන්හි නිෂ්පාදනයක් වේ.