වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ සිනමා උළෙල ලබන නොවැම්බරයේ

කොළඹ සිනමා උළෙල ලබන නොවැම්බරයේ

ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් මෙහෙයවනු ලබන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල දෙවන වරටත් මෙම නොවැම්බර් 6 වැනිදා සිට පැවැත්වීමට නියමිත බැව් වාර්තා වෙයි. වසර ගණනාවක් මෙරට සිනමා උළෙලක් පැවැත්වීමේ අවශ්‍යතාව සරසවිය මඟින් පෙන්වා දෙන ලද අතර එය මෙරට රසික ප්‍රජාවගේ ද අපේක්ෂාව විය. අනතුරුව මෙම සිහිනය සැබෑ කර දෙන ලද්දේ ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟිනි. එම මුල් සිනමා උළෙල පසුගිය සැප්තැම්බර් 02 වැනිදා මුල්වරට පැවැත්වූයේ ජාත්‍යන්තර සිනමා උළෙලයන්ගේ සියළුම අංග සහ සම්ප්‍රදායන්ට ගරු කරමිනි. එමෙන්ම එම උළෙලට කාලෝස් රෙගදාස් ඇතුළු විශිෂ්ට සිනමාකරුවන් රැසක් සහභාගි විය. සිනමාවට ලැදි බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල නරඹන්නට පැමිණියේ විශාල උද්යෝගයකිනි. පෙර වසරේ නොවූ විරූ අවස්ථාවන් රැසක් මෙවර කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලට මුහුවන වග ද වාර්තා වෙයි.


බුද්ධි අලුත් පුටුවක

ප්‍රවීණ කලා විචාරකයකු වන බුද්ධදාස ගලප්පත්ති ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කෙරිණ. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ, ටවර් රඟහල පදනමේ කලකට ඉහතදී අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු කවියෙකු, පුවත්පත් කලාවේදියකු, නාට්‍ය ශිල්පියකු හා ගීත රචකයකු ද වෙයි. මෙරට සම්මාන උළෙලයන් බොහොමයක විනිශ්චය මණ්ඩලයේ සිටිමින් ගුණාත්මක නිර්මාණකරුවන් අගයමින් මහත් වූ සේවාවක් කළ බුද්ධි විසින් මෑතකදී පළ කළ එදවස සොඳුරුමය ග්‍රන්ථය සඳහා ඉහළ පාඨක ප්‍රතිචාර ලැබිණ. මාධ්‍ය ක්ෂේත්‍රයේ අප කොයි කා සමඟත් ඉතාම සුහදව කටයුතු කරන අයකු ලෙස ගෞරවාදරයට පත් වූ බුද්ධි සෘජු තීරණ ගන්නා විරල කලාකරුවෙකි. ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස් වූයේ ද එවකට සභාපතිවරයා හා එකඟ නොවුණ බැවිනි. ඔහු කලා මණ්ඩලයේ සමාජිකයකු ලෙස ද සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති ලෙස ද කටයුතු කළේය.


බැති ගී ගැයුමට හවුල් වූ සුජාතා

වත්තල OKI  ජාත්‍යන්තර විදුහලේ වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් බැති ගී සරණිය ප්‍රවීණ ගායනවේදිනී විශාරද සුජාතා අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ එහි අවස්ථාවක් කිහිපයකි.