පරම්පරා දෙකක් ටෝනි දකින හැටි
පරම්පරා දෙකක් ටෝනි දකින හැටි
එදා අපේ කට්ටිය සමග
වැඩ ඇරඹු හැටි
සිනමා විචාරක
පියසිරි නාගහවත්ත
ටෝනි රණසිංහ මම දකින්නේ ඉතා ගැඹුරු ලෙසින් සිනමාව පිළිබඳ කල්පනා කළ පුද්ගලයෙකු
විදියටයි. ඔහු සිය රංගනය ආරම්භ කළේ වේදිකාවෙන්. සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ
නාට්‍ය තෙක් මගේ මතකය දිවයනවා. එහි ජී. ඩබ්ලිව් සුරේන්ද්‍ර, ටෝනි ඇතුළු පිරිසක්
රංගනයෙන් දායක වුණා. එහිදී තිරය පිටුපස සිට දෙබස් කීම භාර වුණේ මට. අපි රාජකීය
විදුහලේ ළමා අංශයේ පියානෝව තිබූ ශාලාවේ බෝඩිංකාරයෝ නාට්‍යයේ පුහුණුවීම් කළා. ඉන්පසු
ටෝනි ධර්මසිරි වික්‍රමරත්නගේ රන්තෝඩු නාට්‍යයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව නිරූපණය
කළා. වේදිකාව තමන්ටම නතු කරගන්න ඔහු සමත් වුණා. එයින් පසුව තමයි ටෝනි ගම්පෙරළියට
සම්බන්ධ වෙන්නේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආතර් යූ අමරසේන ඇතුළු අපි ඒ කාලයේ
අගනුවර හෙළ කලා කෙත නමින් සංවිධානයක් පිහිටුවා තිබුණා.
සිනමාවට සම්බන්ධ වූ කාලයේදීත් ටෝනි සතු විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒක හරියට සංකේතයක්
වගේ. නිතරම ටෝනිගේ අතේ පොතක් තිබුණා. දර්ශන තලයේදීත් රූගත කිරීමෙන් පසු කාලය ඔහු
යෙදවූයේ පොත් කියවන්න. විලියම් ශේක්ෂ්පියර්, බර්ට්‍රම් රසල් වැනි ලේඛකයන්ගේ පොත්
ටෝනි නිතරම ඇසුරු කළා. අගනුවර කලා කෙත සංවිධානය කෙරුණු කෙටි කතා සම්මේලනයට පවා ටෝනි
කෙටි කතා ඉදිරිපත් කළා මට මතකයි. ඔහු ශාස්ත්‍රීය දැනුම දියුණු කරගත් පුද්ගලයෙක්.
අවසාන කාලය දක්වාම එය පවත්වා ගැනීම විශේෂයි. ඒ වගේම ඔහු වඩාත් සාම්ප්‍රදායික පැත්ත
අගය කළ පුද්ගලයෙක්.
සිනමා රංගනයේදී ආන්දෝලනාත්මක චරිත රැසකට පණ දුන් ඔහුට ඒ තුළින් ඉහළටම පැමිණෙන්න
හැකි වුණා. ටෝනිගේ වැඩිමහල් සහෝදරයා රැලෙක්ස් රණසිංහ ඡායාරූප කලාවේ වෙනසක් කළ
ඡායාරූප ශිල්පියෙක්. ඒ කාලයේ ඔහුගේ ඡායාරූප වෙනුවෙන් පෙනී සිටියේ ටෝනි. මමත්
බොහෝවිට මේ අවස්ථාවට එකතු වුණා. ඒ දිනයන් අපේ ජීවිතවලට මිහිරි මතකයන් එකතු කළා.
සිනමාවේදි ඔහු නළුවෙක් වන විටදී මම විචාරකයෙක් ලෙසින් කටයුතු කළා. ඇතැම් වෙලාවට
අදහස් එකිනෙක ප්‍රතිවිරුද්ධ වී අප අතර රණ්ඩු පවා ඇති වුණා.
ඇත්තටම ටෝනි හෘදයාංගම සහෝදරයෙක්. මීට මාස කිහිපයකට පෙර මට ටෝනිගේ ආල්ඛ්‍ය
ඡායාරූපයක් ගැනීමේ වුවමනාව ඇති වුණා. නමුත් ටෝනිගේ සමුගැන්ම නිසා එය ඉටුකර ගන්න මට
අවස්ථාව ලැබුණේ නැහැ. මා ටෝනි රණසිංහ දකින්නේ සිනමාව දෘශ්‍ය හා ශ්‍රව්‍ය කාව්‍යය
ලෙසින් පාදක කරගත් ජීවිත පරිඥානයෙන් විශිෂ්ටත්ය ලද රංගන ශිල්පියෙක් ලෙසයි.
මට ගුරුවරයෙක් වුණ හැටි
රංගන ශිල්පිනි
සමනලී ෆොන්සේකා
මට සිංහල සිනමාව ගොඩක් දුර තිබුණු දෙයක් වුණේ නැහැ. සිනමාව මගේ පවුලේ අයට වගේම මටත්
ඉතාම සමීප වූ කලාවක්. එතැනදී මගේ සිත් ගත් නළුවන් අතරේ ගාමිණි ෆොන්සේකා, විජය
කුමාරණතුංග, ජෝ අබේවික්‍රම වැනි නළුවන් අතර අංක එක වුණේ ටෝනි රණසිංහ. මම ඒ කාලයේ
එතුමාගේ පෙනුමට ලොකු කැමැත්තක් දැක්වූවා. ටෝනි රණසිංහයන් කියන්නේ අපේ රටේ අපේ
සිනමාවට පහළ වූ විශිෂ්ට රංගන ශිල්පියෙක්.
මගේ ප්‍රථම රංගන අත්දැකීම මේ විශිෂ්ට නළුවා සමඟින් බෙදා ගන්න ලැබීම ආශිර්වාදයක්.
අරුණ ගුණරත්න අධ්‍යක්ෂණය කළ සූර්ය විංශති ටෙලි චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ ටෝනි
රණසිංහයන්ගේ මිණිබිරියගේ චරිතය යි. ඒ කාලයේ රඟපෑම මට ඒ තරම් ප්‍රිය වුණේ නැහැ. මාව
ලැජ්ජාවට පත් වෙයි කියන සිතුවිල්ල මා පසුපසට දැමුවත් මේ අවස්ථාව සහ ටෝනි
රණසිංහයන්ගේ උපදෙස්, දිරිගැන්වීම් මා තුළ රංගනයේ ඉදිරි බලාපොරොත්තු ඇති කළා.
එහිදී
ඔහු මගේ අම්මාගේ පියා ලෙසින් චරිත නිරූපණය කළා. මගේ අම්මා නොගැළපෙන විවාහයකින් පසු
ගෙදරින් දුරස් කළද වසර ගණනාවකට පසු යළිත් තම දියණියගේ පවුල බැලීමට පැමිණි පසු අම්මා
විසින් මට සීයා හඳුන්වා දෙන දර්ශනය මාගේ ප්‍රථම රංගනය වුණා. මට තිබුණේ ඔහුට වඳින්න.
මගේ ප්‍රථම රංගනය ටෝනි රණසිංහ නම් විශිෂ්ට නළුවා ඉතාම නිහතමානි ලෙසින් අගය කළා.
එයින් පසුව දර්ශන තලයේදී ඔහු මට සිනමා ගුරුවරයෙක් වුණා. එදා මම රංගනයට ආධුනිකයෙක්
වුණා. ඔහු අත්දැකීමෙන් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක් ලෙසින් මට අත්දැකීම් ඇසුරෙන්
පාඩම් කියා දුන්නේ සිනමාව පිළිබඳ මා තුළ විශාල ඇල්මක් ඇති කරමින්. සිනමාවට තිබූ
නුහුරු ගතිය වගේම අකමැත්ත නැති වෙලා යන්නත් එය විශාල හේතුවක් වුණා. නවකයන්හට රංගනයට
අවැසි පරිසරය සකසා දෙන්න නිරන්තරයෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙසින්
ටෝනි රණසිංහයන් මා හඳුන්වන්න කැමැතියි.
ඇත්තටම එය මා ලද භාග්‍යයක්. ඒ වගේම සාහිත්‍ය
දැනුමින් ඉතා පොහොසත් වූ එතුමා එදා ඒ දැනුම මා වැනි නවකයෙකු සමඟින් බෙදාහදා ගන්නට
ඇත්තේ සිනමාවේ අනාගතය වෙනුවෙන්. අද නවකයන්ට නොලැබෙන එවැනි විශේෂිත අවස්ථාවක් මට
ලැබීම මගේ සිනමා ජීවිතයටත් විශාල පිටුවහලක් වුණා. ඒ වගේම ටෝනි රණසිංහයන්ගේ සිනමා
මෙහෙවර සිංහල සිනමාවට අමරණීයයි.
යතේජා ඥානරත්න
|