|
||
Jurassic Worldඋයනෙන් ලෝකයට
එම වසර 1994 වසරයි. ඒ වන විට අද මෙන් සිනමාවේ යතුර අපේ රටේ ප්‍රේක්ෂකයන් අතට පත් වී තිබුණේ නැත. සිනමා ශාලාවල නවීකරණයක් වූයේ ද නැත. සිංහල චිත්‍රපට පමණක් නොව ආනයනික ඉංග්‍රීසි චිත්‍රපට පවා තිබුණේ හෝන්දු මාන්දු ගාණටය. එය සිනමා ශාලාවලට නොගොස් වීඩියෝ යන්ත්‍රයක් සමීපයේ සිට චිත්‍රපටයක් නැරැඹීමට තරුණ ප්‍රේක්ෂකයන් සිත සදා ගනිමින් සිටි අවධියයි. ඩීවීඩී යන්ත්‍ර මෙන් එදා වීඩියෝ යන්ත්‍ර සුලබ වූයේ ද නැත. එමෙන්ම වී. එච්. එස්. පට බොහෝ විට හොඳ තත්ත්වයෙන් ලබා ගත හැකි වූයේ ද නැත. එහෙත් සිනමා ශාලාවලට වඩා ඒ තත්ත්වය තරමක් හොඳය. මේ යුගයේ එක් වරම ප්රබෝධයක් ගොඩ නැඟෙමින් හොලිවුඩ් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවට ආනයනය වනු ඇතැයි පුවත්පත් කලාවේදීන් වන අපට දැනගන්නට ලැබිණ. දැනුම් දුන්නේ ලිබර්ටි සිනමා සමාගමේ කළමනාකර අධ්යක්ෂව සිටි ඉමිටියාස් කාදර්ය. ඉමිටියාස් සුරතලී, සුජාගේ රහස, සුන්දර බිරිඳ වැනි චිත්‍රපට නිපද වූ සිලෝන් එන්ටටේන්මන්ට්ස් අධිපති ජබීර් ඒ. කාදර් ගේ පුත්‍රයෙකි. ඔහු විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ඒ වන විට ලොව පුරා අතිශය ජනාදරයට පාත්රවෙමින් තිබෙන නැතහොත් ලොව සිනමා ඉතිහාසයේ සියළු ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වන ජුරාසික් පාක් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද තිරගත කරවීමට සූදානම් වන බවය. ජුරාසික් පාක් නමින් ලොව පුරා තිරගත වන චිත්‍රපටය පිළිබඳව අසා ඇති මුත් එහි තරාතිරම පිළිබඳ අපේ අනුමානය අන්ධයන් අලියන්ගේ ස්වරූපය ගැන සිතා ගත්තා වැනි විය. ජුරාසික් පාක් චිත්‍රපටය සඳහා එය තිරගත වන සියළු සිනමා ශාලා නවීකරණය කරන බැව් ද ඉමිටියාස් කාදර් පැවසුවේය. එනම් සිනමා ශාලා ඩිජිටල් සවුන්ඩ්වලට අනුවර්තනය කරන බවය. වසර විසි දෙකකට පෙර අපි ඩිජිටල් සවුන්ඩ් ගැන වැඩ්පුර අසා තිබුණේ නැත. දැනගන්නට ක්‍රම තිබුණේ ද නැත. කෙසේ වෙතත් ජුරාසික් පාක් අමෙරිකාවේ තිරගත වීම අරඹා තිබුණේ 1993 ජූනි මාසයේය. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි චිත්‍රපට තිරගත වූයේ චිත්‍රපටයකින් එක් පිටපත බැගිනි. මුලින්ම කොළඹ තිරගත වන චිත්‍රපටය පසුව නගරවලට ද ඉන් අනතුරුව ගම්බද ශාලාවලට ද ගලා ආවේය. බොහෝ විට ගම්බදට යන්නේ කෑලි හැලෙන පිටපතකි. එහෙත් ජුරාසික් පාක් ඒ වන විට තබා තිබූ අසීමිත ජනප්‍රියත්වය මේ සියළු සම්ප්‍රදායන් හා එවකට පැවැති නීතිවලින් ඉවත් විය. කොටින්ම එය සම්ප්රදාය ඉරා මෙරට සිනමා ප්‍රේක්ෂකයන් අතර මහත් උද්යෝගයක් ඇති කරන ලදී. කොළඹ ලිබර්ටි සිනමාහල ජුරාසික් පාක් සඳහා ශබ්ද තාක්ෂණයෙන් නවීකරණය විය. මුල් වරට සිසාල ශබ්ද රටාවන් (Surround) ) ගෙන් ශාලාව ගිගුම් දිණ. කොළඹ ලිබර්ටි මෙන්ම කටුගස්තොට ඇරීනා, කෑගල්ලේ මිලානෝ යන සිනමාශාලා ජුරාසික් පාක් පිළිගගන්නට සැදී පැහැදී සිටියහ. කොළඹින් බැහැරව එදා මුල්වරට නවීන ශබ්ද රටා උපයෝගී කොට ගත්තේ ඩී. අතුකෝරාලට අයත් කෑගල්ලේ මිලානෝ සහ රංජිත් වීරසිංහට අයත් කටුගස්තොට ඇරීනා ශාලාවන්ය. ජුරාසික් පාක් මුල්වරට අමෙරිකාවේ තිරගත වීම ඇරැඹුණේ 1993 ජූනි 12 වැනිදාය. එය ස්ටීවන් ස්පිල්බර්ග් නිර්මාණය කරන ලද 18 වැනි වෘතාන්ත චිත්‍රපටය විය. ඒ වන විට ලොව ඉහළම ආදායම් වාර්තාවට හිමිකම් කියා පෑවේ ස්පිල්බර්ග් 1982 වසරේ නිර්මාණය කරන ලද ඊ. ටී. චිත්‍රපටයයි. ජුරාසික් පාක් චිත්‍රපටය ඩොලර් මිලියන 63 ක් වැය කර තනද්දීම ස්පිල්බර්ග් ඩොලර් මිලියන 22 ක් වැය කොට ඔහුගේ විශිෂ්ටතම චිත්‍රපට අතරෙහිලා ගැනෙන ෂින්ඩර්ස් ලිස්ට් චිත්‍රපටය නිර්මාණය කළේය. ජුරාසික් පාක් ඩොලර් බිලියනයක මුදලක් උපයද්දී ෂින්ඩ්ලර්ස් ලිස්ට් මිලියන 321 ක ආදායමක් ඉපැයුවේය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන 12 ක් සඳහා නාමයෝජනා ලැබ, හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය, අනුවර්තිත තිර රචනය හා ස්වීය සංගීතය සඳහා සම්මාන දිනා ගත්තේය. ජුරාසික් පාක් හොඳම ශබ්ද සංස්කරණය, ශබ්ද මිශ්‍රණය හා දෘෂ්ටි ප්‍රයෝග සඳහා නාමයෝජනා ලැබ එම සම්මාන ත්‍රිත්වයම දිනා ගත්තේය. කෙසේ වෙතත් ජුරාසික් පාක් මුල් චිත්‍රපටයෙන් පසු නිෂ්පාදන කටයුතු ස්පිල්බර්ග් ගේ අධික්ෂණය යටතේ සිදු වුව ද ඔහු ඒ සමඟම ෂින්්ඩ්ලර්ස් ලිස්ට් රූ ගැන්වීමේද යෙදී තිබිණි. ජුරාසික් පාක් දෙවැන්න ස්පිල්බර්ග්ගේ අධ්‍යක්ෂණයෙන් ද ලොස්ට් වර්ල්ඩ් නමින් 1997 වසරේ තැනිණ. එය ඩොලර් මිලියන 73 ක් වැය කරන ලද අතර උපයන ලද ආදායම මිලියන 618 කි. එහි තෙවැන්න ස්පිල්බර්ග්ගේ නිෂ්පාදනයක් ලෙස 2001 වසරේ එළි දුටු අතර අධ්‍යක්ෂණය කරන ලද්දේ ජෝ ජොන්ස්ටන් විසිනි. එය ඩොලර් මිලියන 93 ක් වැය කරන ලද අතර, උපයන ලද ආදායම ඩොලර් මිලියන 364 කි. 1993 තැනුණු ජුරාසික් පාක් මුල් චිත්‍රපටය ලංකාවේ 1994 ජූනි මාසයේ එනම් එය ලොව පුරා තිරගතවීම අරඹා හරියටම වසරකට පසු තිරගත විය. දෙවැන්න මෙරට තිරගත වූයේ 2001 වසෙර්ය. තෙවැන්න තිරගත වූයේ 2002 වසෙර්ය. ජුරාසික් පාක් පළමුවැන්න ලංකාවේදී පැල් බැඳගෙන මාස හයකට වඩා තිරගත වූයේය. බොහෝ සිංහල චිත්‍රපට නිෂ්පාදකයන් ජුරාසික් පාක් දුටුවේ දේශීය සිනමාව විනාශ කරන්නට ආ යක්ෂයකු හැටියටය. මානව පරිනාමයට පෙරාතුව ලෝකය පිළිබඳ චිත්‍රපට ඉතිහාසය සිනමාවේ නිහඬ යුගය දක්වා එළැඹෙන්නකි. වාර්තා වන අන්දමට ඩයිනෝසෝරයන් පිළිබඳ කතාවක් මුල්වරට සිනමාවට නැඟෙනුයේ 1914 වසෙර්ය. ඒ වින්සර් මැක්නෝ තැනූ ගර්ටි ද ඩයිනෝසෝරස්ය. 1917 දී සිනමාවේ පුරෝ්ගාමියකු වන තෝමස් අල්වා එඩිසන්ගේ නිෂ්පාදනයක් ලෙස එළි දකින ඩයිනෝසර් ඇන්ඩ් ද මිසිං ලින්ක් ඊළඟ චිත්‍රපටයයි. ස්පිල්බර්ග්ට පෙරාතුව එකී පූර්ව යුගය සිනමාවට නැඟුණ ද 1993 දී තරම් ආන්දෝලනයක් නොතිබිණි. ස්පිල්බර්ග් ඒ සඳහා පාදක කොට ගත්තේ 1990 දී මයිකල් ක්‍රික්ටන් විසින් රචනා කරන ලද ජුරාසික් පාක් නවකතාවය. 2008 වසරේ මිය ගිය ක්‍රික්ටන් නවකතාකරුවකු, තිර කතා රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ද පතලය. වෙස්ට් වර්ල්ඩ් චිත්‍රපටය තනමින් අධ්යක්ෂණයට පිවිසෙන ක්‍රික්ටන් කෝමා, ද ග්‍රේට් ට්‍රේන් රොබරි, රනවේ ඇතුළු චිත්‍රපට රාශියක්ම අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ ජුරාසික් පාක් නවකතාව ආරම්භයේ ඉහළ අලෙවියක් වූ නවකතාවක් වූ අතර එහි අයිතිය ලබා ගැනීමට හොලිවුඩ් නිෂ්පාදකයෝ පොර කෑහ. අවසානයේ ඩොලර් මිලියන 1.5 කට එහි අයිතිය ලබා ගත්තේ ස්ටීවන් ස්පිල්බර්ග්ය. එහි තිර රචනය සඳහා ක්රික්මන්ට යළිත් තවත් ලක්ෂ 5 ක් ගෙවන ලදී. කෙසේ වෙතත් එහි තිර නාටකය නිම කරන ලද්දේ ඩේවිඩ් කොයේප් විසිනි. ජුරාසික් පාක් ආරම්භයේ සිටම හොලිවුඩ් සිනමාවේ පමණක් නොව ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. එහි දාෂ්ටි ප්‍රයෝග ඉන්ඩස්ට්්රයල් ලයිට් ඇන්ඩ් මැජික් (ධ්ඛ්ර්) සමාගම මඟින් මෙහෙය වන ලද අතර ශබ්ද නිර්මාණය සඳහා ඩී. ටී. එස්. සමාගම වෙත ස්පිල්බර්ග් විසින් මිලියන ගණනාවක් ආයෝජනය කළේය. ප්‍රචාරය සඳහා යුනිවර්සල් සමාගම ඩොලර් මිලියන සියයක් වැය කළේය. වසර මිලියන 70 කට එපිට ජීවත් වූයේ යැයි සැලකෙන ඩයිනෝසරයන් ඇතුළු සත්වයන් ඩී. එන්. ඒ. තාක්ෂණය යටතේ යළි උපදවා බිහි කරන ලද උද්‍යානයක් වූ ජුරාසික් පාක් ජෝන් හැමන්ඩ් නම් විද්‍යාඥ ආයෝජකයාගේ පරිකල්පනයකි. මේ අපූරු උයනේ එදා විසූ විවිධ වූ සත්ත්වයන් ජීවත් වෙති. ඔවුහු මෙයට වසර මිලියන ගණනකට පෙර මිහිමතින් සදහටම තුරන් වී ඇත. ස්පිල්බර්ග් සිය සිනමා කෘතියේදී විටෙක ආදරයෙන් මුසපත් කරමින් ද විටෙක සංත්‍රාසයෙන් ද ඇළලී යන්නට සලස්වමින් ද ලොව පුරා ප්‍රේක්ෂකයන් වසඟයට ගත්හ. ඩයිනෝසරයන් මෙන් චිත්‍රපටයේ බිහිසුණු බව ඇරුඹෙනුයේ යෝධ ටීරෙක්ස් නම් මාංශ භක්ෂකයා සමඟිනි. ජුරාසික් පාක් උන්මාදය කෙතරම් ද යත් ලොව පුරා තැනින් තැන ඩයිනෝසොරයන්ගේ පොයිල හමු වෙතැයි ප්රවෘත්ති කියැවිණි. ජුරාසික් පාක් චිත්‍රපටය උපයන ලද ආදායම අනතුරුව බිඳ වැටුණේ 1997 වසරේ ජේමිස් කැමරොන්ගේ ටයිටැනික් සමඟය. දෙවැන්න ලොස්ට් වර්ල්ඩ් චිත්‍රපටය සඳහා පාදක කර ගත්තේ මයිකල් ක්රික්ටන්ගේ නවකතාතවකි. තුන්වැන්න සඳහා එම නවකතා යුගලයන්ගේ අවස්ථා භාවිතා කරන ලද මුල් චිත්‍රපටයේ ජෝන් හාමන්ඩ් ගේ චරිතය රඟන ලද්දේ විශිෂ්ට සිනමාකරුවකු ලෙස පතලව සිටි ශ්‍රීමත් රිචඩ් ඇටන්බරෝය. මුල් චිත්‍රපටය තිරගත කරවීමට අමතරව එහි සැකිලි රූ අලවියෙන්, ගෘහස්ථ වීඩියෝ තරග මඟින් හා ගෘහස්ථ සිනමාව මඟින් ද චිත්‍රපටය ඉහළ ආදායමක් උපයා තිබිණි. ජුරාසික් පාක් මුල් වරට ටෙලිවිෂන් නාළිකාවක විකාශය වූයේ 1997 වසරේදීය. අමෙරිකානු එන්. බී. සී. නාළිකාව පවසන පරිද්දෙන් මුල් විකාශනයේදී එය නැරැඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 12 ක් විය. 2013 වසරේ ජුරාසික් පාක් මුල් චිත්‍රපටය නැවත ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස අනුවර්තනය කොට තිරගත කෙරිණි. එහි වී. එච්. එස්. අලෙවිය මිලියන 17 ක් විය. සිව් වන චිත්‍රපටයේ පෙළ ගැස්ම සඳහා ස්පිල්බර්ග් මෙන්ම ඔහුගේ ඇම්බිලින් සමාගමේ නිෂ්පාදන සගයා වන ෆ්රෑන්ක් මාෂල් සහ කැතලින් කෙනඩි ද පිටපතට සැරසුණේ එහි තෙවැනි අධ්යක්ෂ ජෝ ජොන්ස්ටන් සමඟය. එහෙත් වරින්වර චිත්‍රපටයේ අදහස කල් ගියේය. ඔවුන් එය අරඹන්නට සූදානම් වුණේ 2004 වසරේදීය. ඒ 2005 වසරේ තිරගත කරවීමේ අරමුනිණි. එහෙත් ඒ සැලසුම වැරැදී ගියේය. එය නිර්මාණය කරන්නට ඔවුහු අසමත් විය. මුල් චිත්‍රපට යුගලම අධ්‍යක්ෂණය කළ ස්පිල්බර්ග් සිව් වන චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන බවට ප්රවෘත්ති පල වුව ද චිත්‍රපටයේ තිර නාටකය පිළිබඳ එකඟතාවක් නොවිණි. යළි එය අධ්යක්ෂ ජෝ ජොන්ස්ටන් අතින් නිර්මාණය වන බව පැවසිණ. ඊළඟට පළ වූයේ ජුරාසික් පාක් සිව්වැන්න එම චිත්‍රපට මාලාවේ අවසානය බවයි. ස්පිල්බර්ග් එය සනාථ කළේය. විලියම් මොනහාන් එහි තිර රචනය බාර ගත් අතර කැත්ලින් කෙනඩි නිෂ්පාදිකාව විය. මුල් චිත්‍රපට යුගලෙහි රඟපෑ සෑම් නීල් මෙන්ම ජෝන් ගෝල්ඩ්බම් ද චිත්‍රපටයට දායක වීමට නියමිත වූ අතර කයිරා නයිටිලි ප්‍රධාන නිළිය වූවාය. ඒ අතරවාරයේම ශ්‍රීමත් රිචඩ් ඇන්ටබරෝ ද ජෝන් හාමන්ඩ් චරිතය හරහා යළි ජුරාසික් පාක් චිත්‍රපට මාලාවට දායක වන බව සනාථ කළේය. චිත්‍රපටයේ දැවැන්ත සත්ත්වයන්ගේ නිර්මාණ ද ඇරැඹිණ. එහෙත් මොකක්දෝ අහේතුවකට චිත්‍රපටය තැනුණේ නැත. ස්පිල්බර්ග් තිර රචනය කෙරෙහි උනන්දු නොවීම පතල නොවූ හේතුවක් විය. එහෙත් ජුරාසික් පාක් සිව්වැන්න පිළිබඳ උනන්දුව එයින් හීන නොවීය. මේ අතරවාරයේ ස්පිල්බර්ග් ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලවේ සිව්වැන්න වූ ද කිංඩම් ඔෆ් ද ක්‍රිස්ටල් ස්කූල්, ලින්කන්, කැච් මී ඉන් යූ කැන් ඇතුළුව චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළේය. මේ අතරවාරයේ ශ්‍රීමත් රිචඩ් ඇටන්බරෝ මෙන්ම නවකතා රචක මයිකල් ක්‍රික්ටන් ද මෙලොව හැර ගියේය. මේ වන විට යුනිවර්සල් පික්චර්ස් සමාගම ජුරාසික් පාක් පිළිබඳ සිතුවිල්ල අත හරින්නට හෝ අත නොහරින්නට යන දෙගිඩියාවෙන් පසු විය. සිව්වැන්න පිළිබඳ තිර නාටකය අතින් අත ගිය අතර රයිස් ඔෆ් ද ප්ලැනට් ඔෆ් දි ඒප්ස් රචනා කරන ලද රික් ජැෆා සහ අමන්දා සිල්වර් වෙතට එය බාර වුණේ 2012 වසෙර්ය. 2013 ජනවාරි 11 වැනි දින යුනිවර්සල් සමාගම ජුරාසික් පාක් සිව්වැන්න 2014 ජූනි 13 තිරගත කරන බවත් එය ත්‍රිමාණ චිත්‍රපටයක් වන බවත් ප්‍රකාශ කළේය. ඒ වන විට ස්පිල්බර්ග්ගේ දීර්ඝකාලීන නිෂ්පාදක හිතවතුන් වූ ඇම්බ්ලින් එන්ටටේන්මන්ට් සමාගමේ හවුල්කරුවන් වන කැත්ලින් කෙනඩි හා ප්රෑන්ක් මාර්ෂල් දෙදෙනාගෙන් (ඔවුහු අඹු සැමියන්ය) කැත්ලීන් එයට හවුල් නොවන වග කියා සිටියාය. එයට හේතුව ඇම්බිලින් සමාගම හරහා ජෝර්ජ් ලූකස්ගේ ලූකස් ෆිල්ම්ස් මිළයට ගෙන එමඟින් ස්ටාර් වෝර්ස් නවතම චිත්‍රපටය වන ද ෆෝර්ස් අවේක්නස් නිපදවීම අරඹා තිබීමය. කැත්ලින් එයට කැප විය. එහෙත් ස්පිල්බර්ග් විධායක නිෂ්පාදක ලෙස කටයුතු කරමින් මාෂල් නිෂ්පාදක වෙමින් චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරැඹිණ. සේෆ්ටි නොට් ගැරන්ටීඩ් අධ්‍යක්ෂණය කරමින් නමක් දිනූ කොලින් ට්රෙවෙරෝට අධ්‍යක්ෂණය බාර විය. කලින් ඩෙරික් කොනලි විසින් රචනා කරන ලද තිර නාටකයද ජෆා හා සිල්වර් රචනා කරන ලද තිර නාටකය ද එක්තැන් කොට ටේරවෙරෝ ගේ සම්මාදමෙන් අලුත් චිත්‍රපටය ලියැවිණ. 2013 සැප්තැම්බරයේදී චිත්‍රපටයේ නම ජුරාසික් වර්ල්ඩ් යනුවෙන් වෙනස් වන බව නිවේදනය විණ. ඩිජිටල් කැමරා භාවිතා කරමින් වුව ද එහෙත් විශේෂ දළ සේයාපටයක් වන කොඩැක් මිලිමීටර් 65 ප්‍රමාණයෙන් චිත්‍රපටය රූගත කෙරිණ. ලොව විශිෂ්ටතම චිත්‍රපටයක් වන ස්ටැන්ලි කුබ්රිගේ 2001 . අ ස්ජේස් ඔඩිසි චිත්‍රපටය රූ ගැන්වූයේ එම දළ සේයාපටයෙනි. පෙබරවාරිය වන විට ලෙජන්ඩ් පික්චර්ස් හා චයිනා ෆිල්ම් ගෲප් ආයතනය ද ආයෝජනයෙන් හවුල් විය. සුප්‍රකට ඉන්දීය නළු ඉර්ෆාන් ඛාන් රංගනයෙන් චිත්‍රපටයට දායක වූයේ ඒ අතරය. 2014 අප්‍රේල් 10 වැනිදා හවායි හිදී රූ ගැන්වීම් ඇරැඹිණි. දින 78 ක් මුළුල්ලේ නිව් ඔර්ලියන්ස්, ලුසියානා හා කොස්ටා රිකාවේ දී චිත්‍රපටය රූ ගැන්විණ. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය පැරිසියේදී පැවැත්වූවේ පසුගිය මැයි 29 දාය. අයිමැක්ස් සිනමා ශාලා 809 ක් සමඟ ලොව පුරා තිරගත වීම ඇරැඹුණේ ජූනි 12 වැනිදාය. හරියටම මුල්වරට ජුරාසික් පාක් තිරගත කොට වසර 22 ක් සපිරෙද්දීය. 14 වනදා වන විට උතුරු අමෙරිකාවේ පමණක් ඩොලර් මිලියන 204.6 ක් උපයා ගත් චිත්‍රපටය ලොව පුරා මිලියන 511.8 ක් ආදායම් ඉපයුවේය. චිත්‍රපටයේ වැය ඩොලර් මිලියන 150 කි. චිත්‍රපටයක් ආරම්භක දෙදින ඇතුළත ලොව පුරා ඉහළම ආදායම් වාර්තාව සළකුණු කිරීමට ජුරාසික් වර්ල්ඩ් සමත් විය. ජුරාසික් වර්ල්ඩ් කතා තේමාව මුල් ජුරාසික් පාක් තේමාවෙන් බැහැර වන්නේ මඳ වශයෙනි. අලුතින් සයිමන් මස්රාන් නම් ව්‍යාපාරිකයා විසින් ආරම්භ කරනු ලබන ජුරාසික් වර්ල්ඩ් උද්‍යානයට සහෝදරයෝ දෙදෙනෙකු වන සාචි හා ගේරි යන්නේ එහි පාලිකාව වන ඔවුනගේ නැන්දනියගේ ආරාධනයෙනි. මුල් චිත්‍රපටයේ මෙන්ම මේ උද්‍යානය කෙළවර වනුයේ ඛේදවාචකයකිනි. මේ ඛේදවාචකය ත්‍රිමාණ රූපයෙන් ප්‍රේක්ෂකයා භීතියට පත් කරනු ලබයි. මුල් චිත්‍රපට ත්‍රිත්වයම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් නරඹන ලද්දේ එම චිත්‍රපට නිපදවා අවම වශයෙන් වසරක් ගත වූ පසුවය. එහෙත් මෙවර ජුරාසික් වර්ල්ඩ් අමෙරිකානුවන්ට පැය ගාණකට පෙර මෙරට ප්‍රෙක්ෂකයන්ට ත්‍රිමාණ ස්වරූපයෙන් නරඹන්නට හැකිව ඇත. ඒ ලංකාවට හිරු උදා වනුයේ අමෙරිකාවට කලින් වීමේ වාසිය කරනකොට ගෙනය.
|
||