වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




පිස්සු හැදෙන ක්‍රිකට් එක්ක චයිනමන් කියැවීම

පිස්සු හැදෙන ක්‍රිකට් එක්ක චයිනමන් කියැවීම

ඔක්කොම වුණේ මළ ඉලව් ලුහුඩු දැන්වීමක් නිසා. ගෙයක් විකුණන්න, කාර් එකක් ගන්න, ඩැල්මේෂන් බල්ලෙක් ගන්න හරි නිවාඩු නිකේතනයක් හොයන්න වගේ නම් කමක් නෑ. ඒක ක්‍රිකට් ක්‍රීඩකයෙක් හොයන්නයි දාලා තිබ්බේ. අනික ඔබ්සවර් පත්තරේ. එහෙම කොහොමද හැංගිච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ හොයන්නේ? මං නිකමට ආයෙම හිතලා බැලුවා. නෑ, එහෙම පුළුවනි ඇති.

තොරතුරු අවශ්‍යයි.

ප්‍රදීප් සිවනාදන් මැතිව්, ක්‍රිකට් ක්‍රීඩක 1977-83 තර්ස්ටන්, 1986-94 බ්ලූම්ෆීල්ඩ්, ව්ඛ්ඛ් 1985-95 ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන ලදී. දුරකතන අංක 724520ට තොරතුරු දන්වන්න.

ඩබ්ලිව්.ජී

ඩබ්ලිව්.ජී වයසයි. ඒත් වයසේ හැටියට නම් නෙවෙයි වැඩ. ක්‍රිකට් වාර්තාකරුවෙකුට තියෙන්නේ ඕනෑ කරන සියලු උමතුකම් ඔහුට තිබ්බා. ක්‍රිකට් ගැන ලිවීම හැරුණම නාහෙට නාහන ප්‍රදීප් මැතිව් ව ලෝකෙ පීරලා හරි හොය ගැනීමේ සාහසික උවමණාවකින් ඔහු පසු වුණේ. ක්‍රිකට් කියන්නේ ලංකාවෙ බහුතරයකගේ ප්‍රමෝදයේ උත්තමඵලය වගේ එකක් දැනටත් තියෙන්නේ. ඉස්සරත් එහෙමයි. ක්‍රිකට්වලින් ඕනම තරහකාරයෙක්ව 'මචං' කෙනෙක් කරගන්නත් ඕනම 'මචං' කෙනෙක්ව තරහකාරයෙක් කරගන්නත් ලේසියෙන්ම පුළුවන්. ඩබ්ලිව්.ජී ටත් නොසෑහෙන්න මචංලා වගේම තරහකාරයොත් හිටියා. අපි ඩබ්ලිව්.ජී ගේ කණ්ණාඩියෙන් 'චයිනමන්' ව කියෝනවද, අපේම කණ්ණාඩියක් දාගෙන කියෝනවද කියලා මුලින්ම හිතා ගන්නෙක හොඳයි. මොකද චයිනමන් කියන්නේ නිකන්ම නිකන් ක්‍රිකට් ගැන රස කතන්දරයක් කියන පොතක් නොවෙන නිසා. ක්‍රිකට්වලට් උඩින් ගලපු කුණාටු, සුළි සුළං, ටොනේඩෝ වගේම සුනාමිත් පොත ඇතුළෙදි අපිට මුණ ගැහෙනවා. චයිනමන් ඇතුළෙ හොරෙන්, රහසින්, ඕනකමින් ගලාගෙන යන දේශපාලනය ස්වල්ප කිතියක් ඇති කරන බව නොකියාම බෑ. සියල්ලට උඩින් දේශපාලනය තිබුණා කියලා හිතෙනවා සහ සියල්ලේ මුල ඉතාම ගඳ ගහන දේශපාලනය තමයි කියලා ඊළඟට ඒත්තු යනවා.

'චයිනමන්' කියැවීම මුලින් ඉංග්‍රීසියෙනුත් දෙවනුව සිංහලෙනුත් කිරීම රස දෙකක් එකවර ලැබීමක් වගෙයි. ශෙහාන් කරුණාතිලක ඉංග්‍රීසි භාෂාවෙන් අමුතු සෙල්ලම් පාමින් ඉන්න අතරේ දිලීප අබේසේකර ඇවිල්ලා හයේ පාරක් ගහනවා. ඒක සිංහලෙන්. ඊටත් ඩබල් බවුන්ස් බෝලෙකට. අපි හැමෝම ක්‍රීඩාගාරෙ ඉන්නේ. මෙහෙම ක්‍රීඩාගාරෙ ඉන්න අතරේ අනපේක්ෂිත හයේ පාරක් ලැබීම හරි උත්කර්ෂවත්. අනික අපි ක්‍රිකට් පිස්සෝ වෙච්චිකොට ඒක නිකං බෝනස් එකක් වගේ.

'දනිලාගේ බොස් ජයන්ත පුංචිපාල, ක්‍රිකට් පාලක සභාවේ කළමනාකාර අධ්‍යක්ෂ අපට ආරාධනා කරලා තිබුණේ ගුස්තියක් අල්ලන්න'

භාෂාව එක්ක දාන සෙල්ලම් කියලා කියන්නේ මේ වගේ වාක්‍ය. ඩබ්ලිව් ජී සහ ඔහුගේ හිතවතා ආරි බයිඩ් වාර්තා චිත්‍රපටියක් හදන්න යන්නේ ග්‍රැහැම් ස්නෝගේ උපදෙස් පිට. මේ ගුස්තිය මුදල් අනුමත කරගන්න. ලක්ෂ හතක් ඉල්ලවාට ලැබෙන්නෙ ලක්ෂයයි. කොන්දේසි සහිතව. ප්‍රදීප් මැතිව් ගැන වාර්තා චිත්‍රපටියේ තියෙන්න බෑ. වයසක මිනිස්සු දෙන්නා ගාණට වැඩියි. පුංචිපාල ගුස්ති අල්ලන්නේ එහෙව් ගාණට වැඩි නාකි දෙන්නෙක් එක්ක.

වැඩි වෙලා යන්න ලැබෙන්නෑ. ක්‍රිකට්වලට ඔට්ටු ඇල්ලීම ගැන කුප්‍රකට කතන්දරය ඇදිලා එනවා. නෙප්චූන් කැසිනෝවෙන් තමයි මේ නරක කතාව එළියට ඇදෙන්නේ.

'මේක තමයි නෙප්චූන් කැසිනෝ එකේ පස්සා දොර, නිව්ටන් කීව තැන. සුදු කමිසකාරයෝ අපව හෝටලේ ඇතුළට යැව්වා. ඒකෙ ඇතුළේ ලූනු, රෝස්ට් චිකන්, කොත්තමල්ලි සුවඳයි. බිම පුරා හැලුණු කෑමයි අත පිහදාන පත්තර කෑලියි තිබුණට මැස්සො හිටියෙ නෑ'

ක්‍රිකට් කියන උමතුවෙන්ම පහළ වෙච්ච අනිසි ක්‍රියාකාරකමක් වුණ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීම දිගේ නොසෑහෙන දුරක් යන්න පුළුවන්. ඒ ගැන ශෝකය, කෝපය වගේම කළකිරීම ඇති කර ගැනීම වෙනම කාරණාවක්. උවමනා නම් මේ ගැන ප්‍රීතියක් වුණත් ඇති කර ගන්න පුළුවන්. මොකද අපි හරි හපන්නු අනවශ්‍ය ප්‍රීති භුක්ති විඳීමේදී.

මේ සියල්ල අතරේ ගාෆීල්ඩ්; ඩබ්ලිව්.ජී ගේ පුත්‍ර රත්නය මර්ෂුක්ගේ නංගි එක්ක පැනලා යනවා. ගාෆීල්ඩ් ඒ කවුද? මතක තියාගෙන ඉන්න. ගාෆීල්ඩ්; ඩබ්ලිව්.ජී ගේ පුත්‍ර රත්නය. අවසන් ඕවරය දාන්නෙ එයා තමයි. ක්‍රිකට් ප්‍රවාදය ඇතුළේ ඩබ්ලිව්.ජී ගේ පවුලේ කතාව , අසල්වැසියන්ගේ කතා වගේම චූල කතා බොහොමයක් මතු වෙනවා. මේක නියම පටලැවිල්ලක් කියලා පාඨකයෝ එක්කෙනෙක්, දෙන්නෙක් හිතාවි. ඔව්; මේක නියම පටලැවිල්ලක් තමයි. මේ පටලැවිල්ල අස්සෙන් ශෙහාන් කරුණාතිලක කියන්න යන කතාව හොයාගන්න පුළුවන් නම් අර ඩබල් බවුන්ස් පන්දුව ඇවිල්ලා ඔළුවෙ වැදෙනවා තේරේවි. ඒක ලොකු කම්පනයක්. හිස් ආවරණයක් නැතුව පොතක් කියව, කියවා ඉන්න පාඨකයෙකුගේ ඔළුවෙ ලෙදර් බෝලයක් වදිනවා කියන එක සෙල්ලමක් නෙවෙයි.

ක්‍රිකට්වලට සම්බන්ධ පාතාලයෙක් වෙච්ච කූගා පොල් රැවුලක් වවාගෙන 'චයිනමන්' හැම තැනම ඇවිදිනවා. ඩබ්ලිව්.ජී ව කුදලගෙන එන්න කියලා ගෝලයෝ එවන්නෙත්, ප්‍රදීප් මැතිව් ගැන අප්‍රකට තොරතුරු කියන්නෙත් මේ පොල් රැවුලාම තමයි. ඔහු ක්‍රිකට් මැච් ෆික්ස් කරන්නෙක් කියලයි තමන්ව හඳුන්වන්නේ. හැබැයි මේ ෆික්ස් කිරීම් අතර හරි සරල, ළාමක ෆික්ස් කිරීමුත් සිද්ධ වෙලා. බඩේ අමාරු හැදෙන විදිහට කඩලා තෙම්පරාදු කරලා ක්‍රීඩකයන්ට කන්න දීම එකක් විතරයි.

'ඇයි තමුසෙට බැට් කරන්න බැරි?'

'බඩ රිදෙනවා වගේ'

'මෝඩයා මොකක්ද ඒ ගහපු ෂොට් එක?'

'අනේ අයියේ, කෑ ගහන්න එපා. මගේ බඩ රිදෙනවා'

'තමුසෙගෙත් බඩ යනවා? මේක මාර වැඩක්නෙ ඕයි. මොනවද තමුසෙලා කෑවේ?'

'මං හිතන්නෙ අර කඩල එක'

මේ සෙසු ක්‍රමෝපායන්ය.

'සෙට් නොකළ එකා ගේම වෙනස් කරනවා සෙට් කළ එකා එක්ක හැප්පිලා. '

'වෙන මොනවද ඉතිං පරණ බේත. ගෑනුයි බීමයි.වෙරිමතේ මස් පිඬු පෙරළගෙන ක්‍රිකට් ගහන්න දෙයියන්ටවත් බෑ ලොක්කා'

මේ කුප්‍රකට ක්‍රිකට් මැච් ෆික්ස් කිරීම ගැනය. දැන් මස්පිඬු පෙරලෙන්නේ දිවි පරදුවට තබා ක්‍රිකට් නරඹන ප්‍රේක්ෂකයන්ගේ වෙන්න ඕනෑය. ක්‍රිකට් කියන්නේ ලාංකිකයන්ට එහෙව් බරපතල ආලයකි. 'චයිනමන්' ඒ තරම් උමතු ක්‍රීඩාවක හැම පැත්තක්ම පෙන්වමින් ගලා යන සිනමාපටයක් මෙනි. ක්‍රිකට් ක්‍රීඩාවේ හරස්කඩක් පෙන්වන්නට ශෙහාන් ට වුවමණා වූවා වෙන්න බැරිය. ඔහු කියන්නේ කතා සියයක් ඇතුළත වෙනත් කතාවකි. ක්‍රීඩාවේ මහත්මාභාවය පිළිබඳ උදම් අනන බොහෝ දෙනෙකු මේ නම් කැත සූදුවක් යැයි සිතන්නට නො පෙළෙඹෙන බවට කිසිදු සැකක් නැත. ඒ පෙරකී අනිසි ක්‍රිකට් ආලයයි.

'චයිනමන් පන්දුව තමයි මැතිව්ගෙ කෝකටත් තෛලෙ. පිත්තට පිටින් වැටිලා පිතිකරුගෙ ඇඟටම කැපෙන පන්දුවක්. චීන සම්භවයක් ඇති කොදෙව් ක්‍රීඩකයෙක් වන එලී අචොන්ග් තමයි ඒ වර්ගයේ පන්දුවකින් රොබට්ස්ව දවා ගත්තේ. ඔය මතභේදාත්මක පන්දුවට චයිනමන් කියන නම වැටුණෙ ඔන්න ඔහොමයි'

මේ කියන්නේ චයිනමන් පන්දුව ගැන. ඇත්තට එහෙම පන්දු යැවිල්ලක් ගැන ආසන්න මතකයක් හරි තියෙනවා නම් ඒ මුරලි. ඒත් මුරලි යැව්වේ දුස්රා මිසක් චයිනමන් නෙවෙයි. මන:කල්පිත පන්දු යැවීමක් එක්ක මං ප්‍රදීප් මැතිව් ව හිතින් මවාගෙන ඉන්න අතරේ 161 වැනි පිටුවට ආවා. 'කැරම් ෆ්ලික්' පන්දුවක් ගැනයි ඊළඟට කියන්නේ. දබරැගිල්ලයි, වෙදගිල්ලයි උඩ බෝලෙ රදවගෙන මහපටගිල්ලෙන් ඕන පැත්තකට විදින පන්දුවක් තමයි කැරම් ෆ්ලික් කියන්නේ. ක්‍රිකට් ගැන කියන අතරේ අප්‍රකට පන්දු යැවීමේ ක්‍රම රූප සහිතව විස්තර කිරීම හරිම ආහ්ලාදජනකයි. ඊට අමතරව සමකාලීන ආර්ථික, දේශපාලන කරුණු එක්ක කතාව ගැටගහලා තිබීමෙන් මේ කතාව පොළොවේ පැළ කිරීමකුත් හරිම අනපේක්ෂිතව ඔහු සිද්ධ කරනවා. මේ කතා රසය තමයි පාඨකයාව උමතු කරන්නේ. එක හුස්මට පොත කියවන්න බල කරන්නේ අප්‍රමාණ කුතුහලය සහ සමහර දේවල් අවිඥාණිකවම ඒ කාලෙ සමාජෙ එක්ක මැප් කරගන්න අවස්ථාව දීලා තිබීමෙන්. ඒකත් බෝනස් එකක්. ශෙහාන් විසින් අපට දීපු, දිලීප විසින් සිංහලෙන් යළිත් කියපු වගේම පාඨකයෝ විසින් ග්‍රහණය කරගත්තු.

'මේ ජරා දේශපාලනේ රට කෑවා වගේ ක්‍රීඩාවත් කාලා දානවා. ඊට ඉස්සෙල්ලා ඒක නවත්තන්න ඕනා'

'නිල් ඇඳලා පන්දුවට පහර දෙන්නේ ඇමති සී.වී ගුණරත්න. වසීම් අක්‍රම්ගෙ පන්දුවක් මිනිහගෙ පා ආවරණයෙ වැදුණා. පන්දු රකින්නයි විනිසුරුගෙ දබරැගිල්ලයි එසැවුණේ එකවිට. ඒ මිනිහා කඩුලු රකින්නා ළඟට ගිහින් අත උස්සලා දුන්නා පහක්. හරියට ටී.වී ඇඩ් එකක් වගේ. ඔක්කොම ක්‍රීඩකයො අම්පයර්ගෙ මූණ දෙපැත්තට උම්මා තුන ගානෙ දුන්නා. පිතිකරු එතනින් ඉවත් වුණේ අදහගන්නත් බැරිව'

එහෙම තියෙන්නේ 272 වැනි පිටුවේ. ඩබ්ලිව්.ජී හීන විදිහට පේන්නෙත් ක්‍රිකට්. ටිකක් උපහාසයක් වගේම හාස්‍යයකුත් එකතු කරපු හීන.

'ජොනී මගේ පිටට තට්ටු කරලා පෙන්නුවා රුපියල් පනහේ නෝට්ටුවක්. 'ඇයි මේ රොනල්ඩ් රේගන් නිළමේ ඇඳුම ඇඳලා අපේ නෝට්ටුවක?'

'කෙලින්ම තියටර් යන්න'

ඔව්. චයිනමන් කියවලා අපි කෙලින්ම තියටර් එකට යන්නේ. ගිය ගමන් හයි කරනවා කොකබුරා බැට් දෙකක් පපුවට. ටෙනිස් බෝලෙකුයි, ලෙදර් බෝලෙකුයි දෙනවා අත් දෙකට. 'පිස්සු හැදෙන ක්‍රිකට්' කියලා මුමුණ මුමුණා ලෙදර් බෝලයයි, ටෙනිස් බෝලයයි මිරිකන්නයි තියෙන්නේ.

2008 ග්‍රේෂන් සම්මානය ලැබිලා, 2011දී වෝටර්ස්ටෝන්ස් හොඳම කුළුඳුල් නවකතාව වෙලා, 2012දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා ඩී.එස්.සී තෑග්ග වගේම 2012 හොඳම පොදු රාජ්‍ය මණ්ඩලීය ග්‍රන්ථය වුණ 'චයිනමන්' ක්‍රිකට්වල ප්‍රේම කරන ලාංකියන්ට සමීප වෙන්නේ කාන්දමක් වගේ. ඒ නිසාම වෙන්න ඇති චයිනමන් ගැන ඔන්ඩච්චි මෙහෙම කියන්නේ. 'උමතු, මංමුලාකරවන රසයක්'. සල්මන් රුෂ්ඩි කියෙන්නෙ මෙහෙම, ' චයිනමන්ට මම ඇලුම් කළෙමි'. හැබැයි ජයන්ත පුංචිපාල නම් කියන්නෙ මෙන්න මෙහෙමයි. 'මේ පොත කියවන්න එපා'.

මං කියන්නෙ මෙහෙම; ඩබල් බවුන්ස් එකක් ඔළුවට වද්ද ගන්න ආසා ඇත්තෝ කියවත්වා.