වර්ෂ 2015 ක්වූ ජූනි 18 වැනිදා බ්‍රහස්පතින්දා




මං සෑම උපන් දිනේකටම නිහාල් නෙල්සන්ගේ

මං සෑම උපන් දිනේකටම නිහාල් නෙල්සන්ගේ නිවසට යනවා

- ශාන්ත

කාව අනුකරණය කළත් නිහාල් නෙල්සන්ව අනුකරණය කරන්නට නම් ලෙහෙසි නැහැ. මොකද ඔහුටම සුවිශේෂ වූ අනන්‍යතා ලක්ෂණ කොපි කිරීමට බෙහෙවින් අපහසු නිසා. අපට හමු වුණා ශාන්ත කුමාර නම් වූ පුද්ගලයෙක්. ඔහු නිහාල්ව අනුකරණය කරමින් ප්‍රසංග වේදිකාවල ගී ගයන්නෙක්. සියයට සියයක්ම නිහාල් වගේ නොවුණත් ශාන්තට පුළුවන් නිහාල්ව බොහොම අපූරුවට අනුකරණය කරන්න. අප ඔහුගේ දස්කම් දුටුවා ස්වර්ණවාහිනියේ ෂැඩොස්ටාර් වේදිකාවේ. මේ දිනවල ශාන්තට ප්‍රසංග වේදිකාවන් සඳහා ලැබෙන ඇරැයුම්වලින් නම් අඩුවක් නැහැ. මේ ඔහු සමඟ කළ කෙටි කතාබහකි.

ශාන්ත, ඔබ කොහොමද ෂැඩෝ ස්ටාර් යන්නේ?

මං කාලයක් බෑන්ඩ් එකක ගිටාර් වාදනය කළා. ඔය අතරතුරදියි ෂැඩොස්ටාර් සෙට් වුණේ. ඒකටත් මගේ යාළුවෙක් කතා කළේ. ජොලියට වගේ ගියා.

ඊට කලින් ඔබ නිහාල් නෙල්සන්ව අනුකරණය කළේ නැතිද?

නැහැ. එතනට ගියාට පසුවයි මට හිතුණේ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ නිහාල් මහත්තයාව අනුකරණය කරන්න ඕනෑ කියලා.

එතැනින් පසුව දිගටම ඔබ එහෙම කළා?

ඔව්.

කොහොමද ප්‍රසංග වේදිකාවේදී ඔබට ලැබෙන ප්‍රතිචාර?

හුඟක් හොඳයි. සමහර අයට මං කවුද කියලා හිතාගන්න බැරිව යනවා. එතකොට ඒ අය ළඟට ඇවිත් කතා කරලා සැකය නැති කර ගන්නවා.

ඔබ ඇයි ඔබගේම වූ අනන්‍යතාවයක් ගොඩ නඟා ගත්තේ නැත්තේ?

මං එහෙම උත්සාහ කළා. මගේම වූ ගීත ගයන්න ට්‍රයි කළ අවස්ථා එමටයි. නමුත් ප්‍රේක්ෂකයින් මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. ඔවුන් කැමැතියි මං නිහාල් මහත්තයාව අනුකරණය කරනවාට.

ඔබට නිහාල් නෙල්සන්ව මුණගැසිලා තියෙනවාද?

අපොයි ඔව්. මං ඔහුගේ උපන් දිනය දා අනිවාර්යයෙන්ම ඔහුගේ ගෙදර යනවා.

මොකද ඔහු ඔබට පවසන්නේ?

ඇත්තටම පළමු දවසේ මං නිහාල් මහත්මයාගේ ගෙදර ගියේ හරි බයෙන්, ඔහු බනීවි කියලා හිතුවා. නමුත් ඔහු මට එහෙම කිසිදු අහිතක් කිව්වේ නැහැ. ඔහු මට ගොඩක් උපදෙස් දුන්නා. ඒවා ජීවිතයට මට හුඟක් වැදගත් වුණා.

නිහාල් නෙල්සන්ගේ ගීතවලින් ඔබ වඩාත් ප්‍රිය කරන ගීතය මොකක්ද?

ලස්සනට පිපුණු වනමල්.

අලුත් ගීතයක් නැවතත් කළා කියලා ආරංචියි?

ඔව්. ඒක ලිව්වේ තිස්ස ඩයස් මහත්තයයි. ඒත් ඒක සංගීත ලෝලීන් කොහොම පිළිගනියි ද දන්නේ නැහැ.

ප්‍රසංග වේදිකාවේ ඔබ මුහුණ දුන් විශේෂ සිදුවීම් එහෙම මතකද?

ගොඩක් අය මං නිහාල් නෙල්සන්ම කියලා රැවටෙනවා. ඔහු කියලා හිතාගෙනම ඇවිල්ල මගෙන් ප්‍රශ්න කරනවා. එතකොට මං පත්වෙන අපහසුතාවය ගැන කියන්න වචන නැහැ.

ඔය අතරේ ඔබට විවේචන එන්නත් ඇති?

මොකද නැත්තේ. අතලොස්සක් දෙනා මූණටම බනිනවා නිහාල් නෙල්සන් වෙන්න හදන්න එපා. ඒක හරිම විහිලුවක් කියලා. නමුත් බහුතරයක් කැමැතියි මං එහෙම අනුකරණය කරනවට. ඒ හින්දා බහුතරයට ඉඩ දීලා මං නිහාල් නෙල්සන්ගේ ගී ප්‍රසංගවල ගයනවා.