වදුලේ උන්දෑ රා බීලා
වදුලේ උන්දෑ රා බීලා
පියසේන නිශ්ශංක ශූරීන්ගේ නවකතාව පාදක කරමින් සතිස්චන්ද්‍ර එදිරිසිංහ ශූරීන්ගේ
'වදුල' චිත්‍රපටයේ ලොකේෂන් තිබුණේ ගම්පහ මිරිස්වත්තේ පිළිකුත්තුව රජ මහ විහාරය
පේනතෙක් මානයේ පිහිටි ගල්ශිකර, ගල්ලෙන් පිරී තිබුණු වන වදුලකය.
එහි කතාව වූයේ මී රා, පොල් රා මදින පියෙක් හා දුවක් පිළිබඳවය.
රා මදින දුව ලෙස රඟපෑවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාය. පියා ලෙස රඟපෑවේ මාය.
(වේහැල්ලේ පියතිලකය).
මෙම වන වදුලේ දැවැන්ත කිතුල්ගස් රාශියක් විය. එයට හාවී තිබුණු හිස් බිමේ පොල්
රුප්පක් විය.
දුව (නාලනී) දනිස්ස දක්වා වැටෙන සේ චීත්තයක් ඇඳ, අත් නැති හැට්ටයකින් සැරසෙයි. ඈ
වියන ලද ලණු පටියක් ඉනේ බැඳ, මල් කපන පිහිය සහ රා මදින මුට්ටිය එල්ලාගෙන උදේ වරුවේ
මී රා මදින අතර හවස් වරුවේ පොල් රා මදී.
ආරම්භයේදී ගස් නැඟිම ඇයට නුහුරු විය. පළපුරුදු මල් කපන්නන්ගේ උපදෙස් හා පුහුණු
කිරීම් අනුව සියල්ලන්ම මවිතයට පත් කරමින් ඈ පළපුරුදු රා මදින්නියක් විය.
හැන්දෑ ජාමේ එහි රා බොන්නන්ට රා විකුණුවේ පියා විසිනි. පොල් රා සහ කිතුල් මී රා වෙන
වෙනම මුට්ටිවල තබා තිබිණ. රා බීමට එන අයට පේන්නට පියාට ද රා දිය යුතුව තිබිණ.
මුලින් රා බිව් දවසේ පියා ඇබැද්දියකට මුහුණ පෑවේය. නුහුරු රා බීම නිසා පියා
තොරතෝංචියක් නැතුව වමනය කරන්නට විය.
සතිස්චන්ද්‍ර මහතා මෙයට කදිම උපායක් යෙදීය. පියා බොන රා මුට්ටියට රා නොදමා වෑවර මද
හා කුරුම්බා වතුර එයට දැමීය.
ඒ සඳහා වෙනම වෑවර වතුර මුට්ටියක් පිළියෙල විය.
රාවල පුරාජේරු කීමට පියා බීවේ වෑවර ලොඳ සහිත කුරුම්බා වතුරය.
පිපාසය ඇති විට දුව ද (මාලිනී) පියාගේ වෑවර බීමට පුරුදු වූවාය.
මිනිසුන් මෙම රා හැඳින් වූයේ වදුලේ මැණිකෙගේ රා යනුවෙනි.
සති දෙකකට පසුව රූගත කිරීම අවසන් විය යුතුව තිබිණ.
රූගත කිරීම්වල අවසන් දිනය පැමිණියේය.

අවසන් දර්ශනය රූගත වෙමින් තිබිණි. රා සොඬුන් රාශියක් පැමිණ සිටියහ. අවසන් දිනය
නිමිත්තෙන් එදා රා බොන්නන්ට රා දෙනු ලැබූයේ නොමිලයේය.
අනිත් අයට තම රා පුරාවිත කීමට පියා තමන්ට තිබුණ වෑවර මුට්ටියෙන් කට පුරා වඩියක්
බීවේය. තවත් උගුරු කීපයක් බීවේය.
දර්ශනය රූගත කිරීම් නිම විය.
වෑවර වෙනුවට කවුරුන් හෝ එම මුට්ටියට හොඳට පැහුණු රා පුරවා තිබිණ. රූගත කිරීම් අවසන්
වෙද්දී පියා වමනය කරන්නට විය.
'කවුද මේ කඩප්පුලි වැඩේ කළේ' පියා කෑගැසීය.
වමනය දෙගුණ තෙගුණ විය. පියා බඩ බදාගෙන කෑ ගසන්නට විය.
බැරිම තැන අධ්‍යක්ෂවරයා මැදිහත්ව පියා ගම්පහ රෝහලට ගෙන යන ලදී. වමනය නැවතුණේ දින
දෙකකට පසුවය.
'වදුලෙ උන්දෑ රා බීව වගේ' යනුවෙන් කියවෙන කතාවක් ද වදුල පෙදෙසේ පැතිරී ගියේය.
වේහැල්ලේ පියතිලක
|