වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එයාගේ ඇස් පේන්නේ නැති කාලේ අපි බොහොම අසරණ වුණා

එයාගේ ඇස් පේන්නේ නැති කාලේ අපි බොහොම අසරණ වුණා

පතිරාජ එල්. එස්. දයානන්ද ගැන බිරිය ප්‍රේමාගේ මතක සටහන්

කලා පුරේ බෝ සමිඳුන් අභියස 140/31 K,  ටෙම්පලර් පාර, කලාපුර, ගල්කිස්ස නිවහන වෙත අපි පියමැන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් සොයා ගිය කලාකරුවෙක් විසූ නිවහනේ අද තොරතුරු කෙසේද කියා සොයා බලන්නටය. වේදිකාව මෙන්ම සිංහල සිනමාවට ද අනුපමේය සේවයක් කළ පතිරාජ එල්. එස්. දයානන්ද ජීවත් වූයේ මේ නිවහනේය. 2010 පෙබරවාරි 05 වැනිදා ජීවන ගමනෙන් මෙන්ම සිය කලා ක්ෂේත්‍රයෙන් ද සමුගෙන දෙනෙත් පියා ගත් මේ සුවිශේෂී කලාකරුවාගේ නිවහනේ අද ජීවත් වනුයේ පතිරාජයන්ගේ සදාදරණීය බිරිය ප්‍රේමාත්, පතිගේ ඇස් දෙකවන් ලක්මාලි වාසනාත්, සුරාජි ඉෂාරා දියණියන් දෙදෙනාත්ය.

අභිරූපණ ශිල්පියෙකු, වේදිකා නළුවකු, චිත්‍රපට නළුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු ලෙසින් බොහෝ හැකියාවන් ප්‍රකට කළ පතිරාජයන් පිළිබඳ ඔහුගේ බිරිය හා අප කතාබහට මුල පිරුවේ අදට යෙදෙන එතුමාගේ පස්වන ගුණානුස්මරණයත් සිහිපත් කරමින්ය.

* දයානන්දයන් වෙනුවෙන් අද මොන වගේ ගුණානුස්මරණ කටයුත්තක් ද සිද්ධ කරන්නේ?

මහත්තයා අවසන් කාලයේ අන්ධභාවයට පත් වෙලා ඉඳලා තමයි ජීවිතයෙන් සමු ගත්තේ. ඒ නිසාම මම සිතා ගත්තා මෙවර රත්මලාන අන්ධ විද්‍යාලයට මහත්තයා සිහිපත් කරලා දිවා ආහාර වේලක් ලබලා දෙන්න. මේ පිංකම තමයි මම අද එතුමන් වෙනුවෙන් සිද්ධ කරන්නේ.

* සිතුණේ නැද්ද එතුමන්ගේ නාට්‍ය හෝ චිත්‍රපට පෙන්වලා පස්වන ගුණානුස්මරණය සමරන්න?

මහත්තයා වෙනුවෙන් කළ මුල්ම ගුණානුස්මරණය වෙනුවෙන් ඔහු අධ්‍යක්ෂණය කළ ගංගා, සෙලීනාගේ වලව්ව, චණ්ඩි පැටව් චිත්‍රපට දින තුනක් තරංගනී හෝල් එකේ පෙන්නලා චිත්‍රපට උළෙලක් පැවැත් වූවා එදා මගේ බෑණා නාලක උදයකුමාර 70 දශකයේ සිනමාව මැයෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් පිළිබඳ පොතකුත් එළිදැක්වූවා පතීට උපහාරයක් ලෙසින්.

* පින් දහම් කටයුතු හැරුණු කොට වෙන යමක් කරන්න අදහස් කළේ නැද්ද?

මම රංගන ශිල්පිණියක් වුණාට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වගේ කටයුතු පිළිබඳ මට දැනුමක් නැහැ. ඒ නිසාම මට මහත්තයාගේ නිර්මාණ යළිත් කරළියට ගේන්න හැකියාවක් නැහැ. මම එයා වෙනුවෙන් අද කරන්න පුළුවන් වෙලා තියන්නේ පින් දහම් කටයුතු. සෑම පෝය දිනකම මේ ගේ ඉස්සරහ තියෙන බෝධිය ළඟ කලාපුරේ කාගේත් සහභාගිත්වයෙන් ධර්ම දේශනයක් පවත්වනවා. ඒ හැම දවසකම මම පතීව සිහිපත් කරලා පිරිකරක් පූජා කරනවා.

ඔබත් වෘත්තීයම නිළියක්?

ඔව්. මම පතී ජීවත්ව ඉන්න කාලෙමයි රංගනයට එක් වුණේ. ඒත් ඒ වෙන කොට මම බොහොම අඩු නිර්මාණ ප්‍රමාණයකට තමයි එක් වෙලා තිබුණේ. ඒ කාලයේ මගේ මූලික වගකීම වුණේ පවුල් ජීවිතය. පතී නැති වුණත් හරි මට මේ ජීවන අරගලය ජයගන්න නම් රැකියාවක් අවශ්‍ය වුණා. ඒ නිසා මම දන්න කලාව කරගෙන යන්න ආයෙත් එක් වුණා.

* අද වෙන කොට ඔබත් වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට නිළියක් බවට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි?

අප්පච්චි, ඉසුරු සංග්‍රාමය, සකිසඳ සුවාරිස්, සබඳ පබිලිස් ටෙලි නාට්‍ය, පොහොය දිනවල විකාශය වන ඒකාංගික ටෙලි නාට්‍ය වගේම යෝගට්, ලොතරැයි, වෙළෙඳ භාණ්ඩ වෙනුවෙන් නිෂ්පාදිත වෙළෙඳ දැන්විම් විශාල ප්‍රමාණයක රඟපාන්න ලැබුණා. මේ නිසාම මම ප්‍රේක්ෂකයන් අතර යම් ජනප්‍රියත්වයක් ලැබුවා.

* ඉදිරියටත් රංගනයේ නියැලෙන්නද ඔබේ බලාපොරොත්තුව?

මට හොඳ නිර්මාණයක් සඳහා ආරාධනයක් ලැබුණොත් මට මේ ක්ෂේත්‍රයේ රඟපාන්න හැකියාව තියෙනකම් රංගනයේ නියැලෙනවා. අදටත් මම කාර්යබහුල ජීවිතයක් නෙවෙයි ගත කරන්නේ. විවේකීව ලැබෙන ආරාධනයක් භාර ගෙන මම ඒ ලැබෙන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා.

* පතිරාජගේ අවසන් කාලයේ බොහෝ අසරණභාවයන්ට ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණා නේද?

මහත්තයා කාලයක් අංශභාග රෝගයෙන් පෙලුණා. ඊට පස්සේ එයාගේ ඇස් පෙන්නේ නැතිව ගියා. අපි බොහොම අසරණ වුණා. මුදල් හදල් අතින් වුණත් එහෙමයි. එයාගේ අසනීපවලට ගොඩක් මුදල් අවශ්‍ය වුණා. මට හැකි අයුරින් එයාගේ නාට්‍ය පෙන්වලා මුදල් හොයා ගත්තා. එහෙම තමයි එයාව මම ජීවත් කරගත්තේ.

* ඔබ ලොකු කැප කිරීමක් ඒ කාලේ පතිරාජයන් වෙනුවෙන් සිද්ධ කළා?

මම එයාව අතින් අල්ලගෙන නාට්‍ය වෙනුවෙන් මුද්‍රණය කරන සුවනියර් එකට දැන්වීම් හොයාගෙන ඇවිද්දා. එයාව නාට්‍ය රිහසල් කරන තැන්වලට එක්ක ගියා. ඇස් දෙක නොපෙනුනත් එයාට දෙබස් කියන ආකාරයෙන් ඒ චරිතය වටහා ගැනීමේ හැකියාවක් තිබුණා. ඇස් දෙක නොපෙනුනත් එයා හරි අපූරුවට නාට්‍යයට නළු නිළියන් පුහුණු කළා.

පතිරාජයන් ජීවිතයෙන් සමුගත්තා කියලා කලා ක්ෂේත්‍රයේ අයත් ඔබලාව අමතක කළාද?

මහත්තයා නැති වුණාට මම කලා ක්ෂේත්‍රයේ ඉන්න නිසා කවුරුත් මට කොහේදි හරි හමු වෙනවා. ඒ වගේම මහත්තයාගේ ගෝලයෝ වුණත් මට කතා කරලා දුක සැප අහන අවස්ථා තියෙනවා. මමත් කලා ශිල්පිනියක් නිසා කාට කාටත් අපිව අමතක වුණේ නම් නැහැ කියලයි මට හිතෙන්නේ. මේ කලාපුරේ ඉන්න කලා ශිල්පීන් කවුරු වුණත් මේ බෝධිය ළඟදී මාසෙට සැරයක් හමු වෙනවා.

* අදටත් කලා ක්ෂේත්‍රයේ උත්සව අවස්ථාවන්ට ආරාධනා එහෙම ලැබෙනවාද?

නැතුවත් නෑ. හැබැයි මට ලැබෙන ආරාධනා හැම එකටම සහභාගි වෙනවා නම් අඩුයි. මට තිබෙන ගමන් අපහසුතාවන් නිසා.

* දැන් දරුවො කොහොමද?

මගේ දුවල දෙන්නම දැන් විවාහකයි. ලොකු දුව ලක්මාලි මහත්තයා ජීවතුන් අතර ඉන්න කාලෙමයි විවාහ වුණේ. බාල දුව සුරාජි කථිකාචාර්යවරයෙක් සමඟ විවාහ වෙලා ඉන්නේ. දුවල දෙන්නම මේ ගෙදර තමයි පදිංචිය. පතීගේ ලොකු ආශාවක් තිබුණා ඒ වගේම ඉල්ලීමක් තිබුණා දුවල දෙන්නව ඈතක දීගෙ යවන්න එපා කියලා. ඒ දෙන්නම එක ළඟ ඉන්න ඕනෑ කියලා තමයි පතී හැමදාකම කිව්වේ. අපේ ගෙදර යට තට්ටුවේ එක දුවක් පදිංචි වෙලා ඉන්නවා. අනික් දුව උඩ තට්ටුවේ පදිංචි වෙලා ඉන්නවා. මට හොඳ ගුණ යහපත් බෑනාවරුන් දෙන්නෙක් ලැබුණා. මේ දෙන්නම මට මගේ කුසෙන් වැදුව මගේම පුතාලා වගේ. මේ වගේ බෑනල දෙන්නෙක් මගේ දුවල දෙන්නට ලැබෙන්නත් ඒ අය පින් කරලා තියෙන්න ඇති.

* පතීව කොහොමද ඉස්සෙල්ලාම ඔබට මුණ ගැසුණේ?

මගේ ගම දඹදෙණියේ. එක දවසක් විමල් කුමාර ද කොස්තා එක්ක පතී අපේ ගමට ආවා චිත්‍රපටයකට ලොකේෂන් බලන්න. ඔය කාලේ එයා හද්දින්නත් තරු චිත්‍රපටය කරන වකවානුව. ඒ ඇවිදින් තමයි මාව දැකලා තියෙන්නේ. කොහොම හරි සම්බන්ධය පටන් ගත්තේ 1968 දී. 1972 වෙනකම් එයා අපේ ගෙදරට ආවා ගියා මාව ලබාගන්න. මුලදි තාත්තා කැමැති වුණේ නැහැ චිත්‍රපටකාරයෙක්ට දුවව දෙන්න. කොහොම හරි අකැමැත්තෙන් ඉන්දැද්දිත් අවුරුදු කීපයක් දුව ඉල්ලගෙන ගෙදර ආපු නිසා අන්තිමට තාත්තා කැමැති වුණා. ඒ අනුව අපි දෙන්නා 1972 සැප්තැම්බර් මාසයේ විවාහ වුණා.

* ඔබෙත් මූලාරම්භය වේදිකාව?

මම රඟපාන්න කුඩා කාලයේ පටන් කැමැත්තෙන් හිටියා. පතී හමුවීමත් මගේ සිහිනය සැබෑවීමක්. මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය අතරමං වූවෝ. මහත්තයා වුණත් මට රඟපාන්න එපා කිව්වේ නැහැ. දක්ෂකම තියෙන නිසා කැමැත්තක් කරන්න කිව්වා. ලොකු දුව හම්බ වෙන්න ඉන්න කොට මම රඟපෑමෙන් අයින් වුණා.

- ඒ සමු ගැනීම දිගටම තිබුණද?

මම ගෙදර කටයුතු භාර ගත්තා. සැමියාව නිර්මාණකරණයට නිදහස් කළා. අතරින් පතර රඟපෑමට ගියා.

* සැමියාත් එක්ක තිරයේ රඟපෑවේ නැද්ද?

අලකලංචිය ටෙලි නාට්‍යයේ මමත් එයත් අඹු සැමියන් ලෙස තිරයේ රඟපෑවා. තව නාට්‍ය කීපයකම එකම නාට්‍යයේ විවිධ චරිත රඟපෑවා.

* ඔබේ සැමියා නාට්‍ය 24 ක් චිත්‍රපට 19 ක් නිර්මාණය කළ පුද්ගලයෙක්. ඔබ වඩාත් කැමැති ඔහුගේ මොන නිර්මාණයන්ටද?

කවුරුවත් එන්නේ නෑ, සයිලන් සිල්වා වේදිකා නාට්‍ය දෙකටත්, චණ්ඩි පැටව්, සෙලීනාගේ වලව්ව චිත්‍රපට දෙකටත් මම වඩාත් කැමැතියි. එවකට වැඩිම නළු නිළි පිරිසක් රඟපෑ චිත්‍රපටය ලෙස නමක් දිනාගෙන තිබුණෙත් සෙලිනාගේ වලව්ව.

* ඔබ රඟපෑ නිර්මාණ අතරින් වඩාත් ප්‍රේක්ෂකයන් අතර ඔබ ජනප්‍රිය වුණේ?

හිරුට හොරෙන් ටෙලි නාට්‍යයේ අහිංසක මවගේ චරිතය තුළින්. අතරමං වූවෝ, ගිම්හානේ රැයක සිහිනයක්, ගංගා චිත්‍රපටවලත් මම රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතර මතකයේ රැඳුණා.

* ඔබේ කලා ජීවිතය ගැන තෘප්තිමත්ද?

ගෙයක් හැදුවා. ගෙදරට බඩු ගත්තා. මේ හැම දෙයක්ම මම කළේ කලාවට පින් සිද්ධ වෙන්න. කලාකරුවෙක් කලාකාරියක් විදියට අපිට ලැබුණ පිළිගැනිම නිසාම ලැබුණු දෙයක් තමයි අපිට තියන්නේ. අපේ වෘත්තීය වුණේ කලාව. වෙන ආදායමක් අපිට තිබුණේ නැහැ. අදටත් මම ගෙවන්නේ සරල ජීවිතයක්. අහස උසට බලාපොරොත්තු මම ළඟ නැහැ. මගේ දරුවෝ දෙන්නා මාව ඇස් දෙක වගේ බලා ගන්නවා. මගේ පාලුව තනිකම මකාගන්න මම අද එක පැත්තකින් විනෝදයට වගේ රඟපෑමේ නියැලෙනවා. මම රඟපෑම කළත් රඟපාන්න ආසාවට රගපානවා මිසක් දුවන්නන් වාලේ දුවන නිළියකුත් නොවෙයි. 1994 මගේ මහත්තයා අංශභාගෙන් පෙලෙන්න පටන් ගත්තට පස්සේ 1996 දී එයාගේ ඇස් දෙක සම්පූර්ණයෙන් පේන්නේ නැතිව ගියාට පස්සෙත් මම ජීවිතයේ තියෙන ගැඹුර හොඳින් අවබෝධ කරගත්තා. මට කලාපුරේ කවුරුත් මත්තයාගේ අසනීප තත්ත්වය තුළ උදවු කළා. මහත්තයාගේ නාට්‍යවල රඟපෑ නළු නිිළියන් පවා ලොකු කැප කිරීමක් අපි වෙනුවෙන් කළා. ඒ හැමෝටම මම ස්තූතියි කියනවාට වඩා පින් සිදු වේවා කියා ප්‍රාර්ථනය කරනවා. මේ ජීවිත කාලයේ මා අවබෝධ කරගත් එක් දෙයක් තියෙනවා. යහපත් දේ කළොත් යහපත් දේ ලැබෙනවා කියන පරම විශ්වාසය මා තුළ තියෙනවා.