වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




On Line Birthday

On Line Birthday

ශ්‍රැති හසන් හින්දි සිනමාවේ වගේම ද්‍රවිඩ සිනමාවේත් සිය රංගන ප්‍රතිභාව දක්වමින් ඉදිරියට එන දක්ෂ යොවුන් නිළියක්. ඉන්දීය සිනමාවේ දැවැන්ත චරිතයක් වූ තම පියා වන කමල හසන් ගෙන් ලද ආභාෂයත් ස්වකීය දක්ෂතාවයත් නිසා ඇයට ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අපහසුවක් වුණේ නැහැ. දැන් ඇය සාර්ථකව තම රංගන කටයුතු කරගෙන යනවා.

ඇය සිය ජීවන ගමනේ 29 වැනි කඩඉම පසුගියදා පසු කළා. ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණේ ජනවාරි 28 වැනිදාට. මෙවර උපන්දිනය ශ්‍රැති වෙනස්ම විදියකට සමරන්න තීරණය කරලා තිබුණා. ඇය මේ සුවිශේෂ දිනය තම රසික රසිකාවන් සමගින් ගත කළේ. ඒ සමාජ වෙබ් අඩවි හරහායි. ඇත්තටම ඒක විශේෂ ඔන් ලයින් උපන්දින සැමරුමක් කිව්වොත් නිවැරදියි.

තමන්ගේ ජීවිත කාලයේ කාගේවත් හිත නොරිදෙන විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ කියලයි ශ්‍රැති කියන්නේ. ඒ නිසාම තමන් කළ හොඳ දේවල් ඡායාරූප ගත වී තියෙනවා නම් ජනවාරි 28 වැනිදා ඒවා ශ්‍රැති සමගින් බෙදා ගන්නා ලෙස ඇය අයගේ රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටියා. ඉතින් ඒ විදියට ඡායාරූප එවන ලද රසික රසිකාවන් අතුරින් තෝරා ගන්නා පස් දෙනෙකුට සමරු සටහන් යවන්නත් ශ්‍රැති තීරණය කරලා තියෙනවා. කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමන්ට ආදරය කරන අය ළඟ සිටින එක කියලයි ශ්‍රැති කියන්නේ. ඒ නිසාම වෙන්න ඇති ශ්‍රැති අන්තර්ජාලය ඔස්සේ හෝ මේ අවුරුද්දේ උපන්දිනය දා තමන්ට ආදරය කරන රසික රසිකාවන් ළඟින් සිටින්න තීරණ කළේ.

ශ්‍රැතී රඟන නවතම චිත්‍රපටය Tevar මේ දිනවල ලොවපුරා තිරගත වෙමින් තිබෙනවා. එහි රංගනය ගැනත් ඇයට යහපත් ප්‍රතිචාර ලැබෙමින් තියෙන බව ආරංචියි. ඒ වගේම මේ අවුරුද්ද ශ්‍රැතිට විශේෂයි. ඇය රංගනයෙන් දායක වෙන හින්දි චිත්‍රපට හතරක්, තෙළිඟු චිත්‍රපටයක් සහ දෙමළ චිත්‍රපටයක් ඇතුළු චිත්‍රපට හයක්ම තිරගත වෙන්න නියමිතයි.