|
|
මගේ විනෝදාංශය ගස් නැගීම
‘පොඩ්ඩන්ට පුළුවන්’ කිරුළ දිනූ හිරුණි
දැන් චිත්‍රපට පසුබිම් ගායනයටත් හවුල්
ඇගේ කිංකිණි නද සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේ ‘පොඩ්ඩන්ට පුළුවන්’ වේදිකාව පුරා පැතිර ගියේ නරඹන්නන් අමන්දානන්දයට පත් කරමිනි.
තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ඇයව දිරිමත් කරමින් තව තවත් ශක්තිය එලෙස ලබාදුනි. වැඩසටහන නිවේදනයෙන් මෙහෙය වූ සම්පත් ජයසිංහ තම අතේ රැඳි අවසන් තීරණ සනිටුහන් පතෙහි මුලටම ඇති ඇයගේ නම පැවසුවේ සුවහසක් ප්‍රේක්‍ෂකයන්ගේ අත්පොළසන් නද මැද්දේය. හිරුණිට ද එය අදහා ගත නොහැක්කක් වූවාය. අවසානයේ පොඩ්ඩන්ට පුළුවන් දෙවැනි අදියරෙහි ජයග්‍රාහිකාව ලෙසින් හිරුණි නිමේෂිකා වෙල්ගම නම් ඇය අභිෂේක ලද්දීය. ඇය තමන්ට හිමි කුසලානය දෝත දරා ගත්තේ රටක් රාජ්‍යයක් ලැබුණා හා සමානවය. මෙතැන් පටන් ලියැවෙන්නේ ඇයගේ අදහස්ය. ගීත ගායනයට මෙන්ම කතාවට ද හිරුණි උපන් හපනියකි. අපට එහෙම හිතුණේ ඇය අප ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදුන් විලාසයෙනි. හිරුණි සිංදු කියනකොට අහගෙන ඉන්න ආසයි? මට පුළුවන් විදිහට තමයි සිං කරන්නෙ. විනිශ්චය මණ්ඩලයේ අය පවා කිව්වෙ මගෙ හඬේ විවිධත්වය ගැන එයාලටත් හිතාගන්න බැහැ කියලයි. හිරුණි වැඩිපුරම ගැයුවේ හින්දි ගීත. කවුද ඔබට ඒවා පුහුණු කරලා දුන්නේ? කවුරුවත් විශේෂයෙන් මට කියලා දුන්නේ නැහැ. හින්දි ගීතයක් දෙපාරක් අහද්දී මට එහි වචන, තනුව ඇතුළු ගීතයේ සියලු ස්වභාවය මතක හිටිනවා. හරි විස්මිත හැකියාවක්? ඒක තමයි අපේ ගෙදර අයත් මුලදි පුදුම වුණා මං සිං කරනවා අහලා. හිරුණිව පොඩ්ඩන්ට පුළුවන් දෙවැනි අදියරට යොමු කළේ ගෙදර අය වෙන්න ඇති? ඔව්, අම්මා අයැඳුම්පත දැම්මා. නමුත් තාත්තා තදින් විරුද්ධ වුණා. ඒ මොකද? තාත්තා මගෙ ගායනා හැකියාවට ඉඩක් හදලා දෙන්න මීට ප්‍රථම රූපවාහිනී රියැලිටි ගායන වැඩසටහන් රැසකටම මාව රැගෙන ගියා. ඒවායින් බොහොමයකදී මට සිදුවුණු අසාධාරණ කම් අනන්තයි අප්‍රමාණයි. තාත්තා ඒවා ගැන දැඩිව කලකිරිලයි හිටියේ. තව අවස්ථාවක එක්තරා ළමා ගීත සංයුක්ත තැටියකට ගයන්න මාව තෝරාගෙන අන්තිම මොහොතෙ අයින් කළා. මේ වගේ දේවල් හින්දා තාත්තා දැඩිව විරුද්ධ වුණා ‘පොඩ්ඩන්ට පුළුවන්’ තරගයෙදිත් මට එවැනි තත්ත්වයක් උදාවේවි කියලා. ඒත් එහෙම වුණේ නැහැනේ? ඇත්ත. මං හිතනවා මගෙ ගෙදර අය මං වෙනුවෙන් කළ කැපවීම්වලට පරක්කුවෙලා හරි මට ප්‍රතිඵල ලැබුණා කියලා. හිරුණිගෙ ගෙවල් කොහේද? ගම්පොළ, ගලහා කිට්ටුව තියෙන මොරහේන කියන ගමේ අපේ ගෙවල් තියෙන්නේ. ගම්පොළ ඉඳලා කිලෝ මීටර් විසිපහක් පමණ ඇතුළෙයි අපේ ගම පිහිටලා තියෙන්නේ. එතකොට හිරුණිගෙ පාසල? ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය. හිරුණි කීය වසරෙද? මං දහය වසරේ. ලබන අවුරුද්දෙ ඕ ලෙවල් නේද? ඔව්. සිංදු කියන්න ගියාම අධ්‍යාපන කටයුතුවලට බාධා වෙන්නෙ නැද්ද? සමහර දවස්වලට පාසල් යන්න බැරි වෙනවා තමයි. ඒත් පසුගිය වාර විභාගයෙදි මට ගණිතයට අසූ හයයි. විද්‍යාවටයි, සංගීතයටයි අනූ අටයි. එහෙම බලනකොට මම ඉගෙනුම් කටයුතුවලටත් දක්‍ෂයි නේද? මං ඒවත් කරගන්නවා. සිංදුත් කියනවා. හිරුණි මෙච්චර වෙලා අම්මාවයි, තාත්තාවයි මතක් කළාට ඒ අයගෙ නම් කිව්වෙ නැහැනේ? තාත්තා සමන් වෙල්ගම. ඔහු මොරහේන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කරනවා. අම්මා සරෝජනී රේණුකා. ඇය ගෘහණියක්. මට අක්කා කෙනෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. හිරුණිගෙ විනෝදාංශය හරි අපූරු එකක් කියලා මං හොයා ගත්තා? එහෙමද? මගෙ විනෝදාංශය තමයි ගස් නැගීම. තාත්තා නම් හරිම බයයි මගෙ භයානක විනෝදාංශයට. රූස්ස ගස්වල උඩටම නැගලා සිංදුත් කියනවා කියලා ආරංචියි? මං වැඩිපුරම ආසා හින්දි ගීතවලටනෙ. ඉතින් මං ගස් උඩට නැගලා හයියෙන් සිංදු කියනවා. මුළු ගමටම මගෙ සිංදු ඇහෙන හින්දා මං ගෙදර ඉන්න දවස් මොනවද නැති දවස් මොනවද කියලා ගමේ අය දන්නවා. පොඩ්ඩන්ට පුළුවන් තරගාවලියෙ දි ඔබට සිදු වූ අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ? රෙකෝඩිං දවස්වල උදේම කොළඹ ඉන්න ඕන හින්දා මාව අම්මයි, තාත්තයි එක්කගෙන එන්නෙ පාන්දර 2.45 ට තියෙන බස් එකේ. ඒකට නගින්න රෑ දොළහටවත් නැගිටින්න ඕනා. එපා වෙනවා ඉතින්. දවසක් රෑ වෙලා ගෙදර ආව දවසක අපිට නින්ද ගියා. පරක්කුවෙලා ඇහැරුනේ. කොහොම හරි 2.45 බස් එක අල්ල ගන්න එපායැ. තාත්තා ටක්ගාලා ත්‍රිවිල් එකක් කතා කර ගත්තා බස් හෝල්ට් එකට යන්න. අපිට නගින්න කිව්වා. මං මූණ හෝදලවත් නැහැ. ඉතින් එදා යන ත්‍රිවිල් එකේදි තමයි දත්ටික මැදලා මූණ සෝදලා ඇඳුම් ඇන්දෙ. ඔබ පවුලෙ අයට සෑහෙන්න මුදලක් වියදම් වෙන්න ඇති ඒ කාලෙ ඔබේ ගමන් බිමන්වලට? අපේ තාත්තා රජයේ රැකියාවක් කරන්නෙ. ඔහුට සමහර දවස්වලට බස් එකේ යන්නවත් මුදල් තිබුණෙ නැහැ. එයාට ගොඩක් අය උදවු කළා. හැබැයි නෑදෑයො මගහැරියා අපට නැති බැරි කාලෙ. නමුත් මං තරගයෙන් දින්නට පස්සෙ නැති නෑයොත් කතා කළා කියලා තාත්තා කිව්වා. මේ වෙලාවේ පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ නිෂ්පාදකතුමන් වන ප්‍රදීප් මහේෂ් ලියනගේ මහතාව මතක් කරන්න ඕන. හිරුණිට චිත්‍රපටයකත් ගීත ගයන්න ලැබිලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා? මට ඒ අවස්ථාව අරගෙන දුන්නෙ සෝමරත්න දිසානායක මහතා. සුනිල් දයානන්ද කෝණාර සර්ගෙ මාර්ගයෙන් මං ඔහුව හඳුනා ගත්තෙ. සෝමරත්න සර් එයාගෙ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයට සමූහ ගායනයකට එකතු වෙන්න අවස්ථාව දුන්නා. නමුත් තනිව ගීතයක් ගැයුවෙ ‘තුන්පත් රෑන’ චිත්‍රපටයට. ඊට අවස්ථාව හදලා දුන්නෙත් සෝමරත්න සර්. මොනවද හිරුණිගෙ ඉදිරි බලාපොරොත්තු? තාත්තා මාව සංගීත ප්‍රසංගවලට යවන්නෙ නැහැ. එයා කියන්නෙ මාව විකුණලා සල්ලි හම්බකරන්න බැහැ කියලා. ඉදිරියේදී මගෙ තනි ගීත කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
|



“හිරුණි ඉපදෙන්න තිබුණෙ ඉන්දියාවෙ. වැරදීමකින් වෙන්න ඇති ඔයා ලංකාවේ ඉපදිලා
තියෙන්නෙ.”