වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න ගෙදරට එන ෂා පිරිවර

මෙන්න ගෙදරට එන ෂා පිරිවර

* මාෂිට හැමදාම විවාහ යෝජනා
* නිවේදකයන් නැති සංගීත ප්‍රසංගයක්

හැන්දෑවට බස් එකකට නැංගොත් බොහෝ විට සුසර කරලා තියෙන්නේ ෂා ගුවන් විදුලිය. ඒ විතරක් නෙවෙයි. මඟ තොටේ ඇවිදගෙන යන කොට කොහෙන් කොහෙන් හරි ෂා ඔබේ දෙසවනට ඇහිලා ඇති. ඒ අනුව බලන කොට ෂා කියන්නේ මේ වන විට අතිශය ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවක් කියලා කියන්න පුළුවන්.

ඔවුන් වැඩිපුරම වාදනය කළේ වඩා වැඩි වේගයෙන් යුතු රිද්මයේ ගීත. ඒ වගේම භාෂා කිහිපයකම ගීත ෂා තුළින් ප්‍රචාරය වුණා. පසුකාලීනව ෂා අනුකරණය කරමින් ගුවන් විදුලි නාළිකා බිහි වන්නට පටන් ගත්තා. එහෙත් ෂා හි ජනප්‍රියත්වය නම් වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ. එහෙම හිමින් හිමින් ගමනක් ආව ෂා මේ වසරේ තමන්ගේ දහතුන් වැනි උපන් දිනය සැමරුවා. ඒ ගැන කතා කරන්නට අපිත් එක්ක එකතු වුණේ ෂා නාළිකාවේ වැඩසටහන් කළමනාකරු කෙවින් නදීර සිල්වා. ඔහු තමයි ෂා හැන්දෑවේදී ඔබට හමු වන කටකාර නිවේදකයා, කෙවින් බෝයි.

ඉතින් කෙවින් ෂා ට දහතුනයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩකටයුතු කිහිපයක්ම කළා කියලා ආරංචියි?

ඔව්. අපි අති දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වූවා. නළු නිළියෝ, ගායක ගායිකාවෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වුණා. එහි ඇති විශේෂත්වය වූයේ මෙම ප්‍රසංගයට කිසිම නිවේදකයකු සම්බන්ධ නොවීම. ප්‍රසංගයේදී ගායක ගායිකාවන්ම නිවේදන කටයුතු කළේ. ඒක ඇත්තටම නුහුරු අත්දැකීමක්. ඒ වගේම මෙතෙක් ගුවන් විදුලි නාළිකාවක් නොකළ කටයුත්තක් අපි කළා අපේ උපන් දිනය වෙනුවෙන්. ඒ වන්දනාකරුවන් අති විශාල ප්‍රමාණයක් රැගෙන සිරිපා කරුණා කරපු එක. එහිදී ඔවුන්ට අවශ්‍ය සියලුම සත්කාර කළෙත් අපිමයි.

ඉස්සර ෂා තුළින් පැරැණි ගීත ඇසුණේ නැති තරම්. නමුත් දැන් එහෙම නැහැ?

අපේ තීම් එක තමයි ‘ඔබේ පවුලේ සිංදු රේඩියෝව‘ කියන එක. ඒ සංකල්පය මත අප තීරණය කළා හැත්තෑව අසූව දශකවල සිංදු වැඩිපුර ප්ලේ කරන්න. ගෙදරක පවුලේ සැවොම දැන් ෂා එකට රස විඳින්න පුළුවන්. තාත්තා කැමැති සිංදුත් ප්ලේ වෙනවා. අම්මා කැමැති සිංදුත් ප්ලේ වෙනවා. දුව, පුතා කැමැති යං ක්‍රවුඩ් එකේ සිංදුත් ප්ලේ වෙනවා.

තකොට නොනවතින ගීත (nonstop) තවමත් වාදනය කරන්නේ ඇයි?

මිනිස්සු රේඩියෝ චැනල් එකක් අහන්නේ නිදාගන්න බලාගෙන නෙවෙයිනේ. අපගේ අරමුණ මිනිස්සුන්ව ප්‍රබෝධවත්ව තියන එක. නොන්ස්ටොප් ප්ලේ කිරීම තුළින් අප එයයි බලාපොරොත්තු වන්නේ.

ෂා පැයකට සිංදු කීයක් විතර වාදනය කරනවාද?

දොළහක් පමණ.

‘ෂා’ ට චෝදනාවක් තියෙනවා ඔයා මෙයා කියලා වචන භාවිතා කරමින් නිවේදන කටයුතු කරනවා කියලා?

මං ඔය චෝදනාව බාර ගන්නේ නැහැ. අපි ආමන්ත්‍රණය කරන රසික කණ්ඩායමට අපි ඉන්නේ යාළුවො වගේ. යාළුවෙක් තවත් යාළුවෙකුට කතා කරන්නේ කොහොමද, අන්න ඒ වගේ තමයි අපි නිවේදන කටයුතු කරන්නේ. හොඳම උදාහරණය තමයි මෙන්න මේක. කිසිම කෙනෙක් ෆෝන් කඩේකට ගිහින් මට ජංගම දුරකතනයක් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැනෙ. කියන්නේ මට ෆෝන් එකක් දෙන්න කියලා. ඒ වගේ තමයි අපිත් සමාජයේ භාවිත කරන සරල භාෂාවයි කතා කරන්නේ.

‘ෂා’ පිරිවර මතක් කළොත්?

අපේ සභාපතිතුමා තමයි රේනෝ සිල්වා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු මාෂි, අකිල්, ෂෙවාන්, අක්ෂේ, සචී, රයන්, මිෂෙල්, අංජු, නිෂු, ආශිකි, ප්‍රකාශ්, ඇලෙක්ස්, රාහුල්, දුමී.

ඔබ කණ්ඩායමේ අය අන්වර්ථ නම්වලින් පෙනි සිටින හේතුව මොකක්ද?

ඒ නම් මිනිස්සුන්ට මතක තියා ගන්න ලෙහෙසියි. නම් මතකයේ තිබුණම ඔවුන්ට අප වඩාත් ළං වෙලා කියලා දැනෙනවා. ගොඩාක් ඉක්මනින් ෂා ජනප්‍රිය වීමට එක් හේතුවක් තමයි අපේ නිවේදක නිවේදිකාවන්ගේ නම් මිනිස්සුන්ට මතක තිබීම.

ඒ අය අතරින් ෂා අහන අය වඩාත් කැමැති කාගේ හඬටද?

කතා දෙකක් නැහැ මාෂිට. ඇයගේ හඬට ගොඩක් අය ආසයි.

ඔබේ වැඩසටහන වටාත් සෑහෙන රසික රසිකාවෝ කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා නේද?

ඔව්.

ඒත් ඔබ කතා කරන්න පටන් ගත්තු වෙලාවේ ඉඳලා කියන්නෙම වෙළෙඳ දැන්වීම් ගැනනෙ?

සමහරු ඔය ගැන මගේ මූණටම කියලා තියෙනවා. නමුත් මම නම් කියන්නේ ඒවා ගාණකට මං කියනවා කියන එක. අපේ ඒ වෙළෙඳ දැන්වීම් සෑහෙන දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. ඒවා අහලා රැකියාවල්වලට පවා ගිය අය ඉන්නවා. එහෙම බලන කොට ෂා හැන්දෑව හැමෝටම පොදු එකක්.

ඔබ ෂා සමඟ එකතු වෙලා වසර නවයක් පමණ වෙනවා. මේ කාලය අතරතුරදී වෙච්ච අමතක නොවන අත්දකිම් මොනවද තියෙන්නේ?

එහෙම කියන්න තරම් ලොකු දේවල් සිද්ධ වෙලා නැහැ. නමුත් මේ වගේ දේවල් නම් සිද්ධ වුණා. අපේ එෆ්. එම්. එක කොච්චර ජනප්‍රිය ද කියලා මට දැනුණේ එදා. මං දවසක් වැඩ නිම වෙලා බස් හෝල්ට් එකට යන්න ත්‍රීවිල් එකකට නැග්ගා. ඒකෙත් දාලා තිබුණේ ෂා. ත්‍රීවිල් එකෙන් බැහැපුවාම හෝල්ට් එක ළඟට ගියාම එතන තිබුණු ලොතරැයි කූඩුවෙත් දාලා තිබුණේ ෂා. එතනින් බස් එකකට නැග්ගා. එකෙත් දාලා තිබුණේ ෂා. මට පුදුමත් හිතුණා. අපේ ෂා මෙච්චර ජනප්‍රිය ද කියලා. අප නිවේදන කණ්ඩායමට විවිධ අය කතා කරනවා. ඒ අතරේ සමහරු අපිට විවාහ යෝජනා යොමු කරනවා.

මාෂිට ඒ තත්ත්වය වැඩිපුර උදා වෙලා තියනවා. එතකොට හිමිහිට මඟහරින එක තමයි කරන්නේ. මගේ හඬ අහන අය හිතාගෙන ඉන්නේ මම හරි පුංචි කෙනෙක් කියලා. එහෙම හිතාගෙන මාව හමුවන්න ඔෆිස් එකට එන අය පුදුම වෙනවා මේ අර කෙවින්ද කියලා අහලා. සමහරු විශ්වාස කරන්නෙත් නැහැ.

ෂා ආරම්භ කළ ක්ලබ් ෂා ගැනත් කතා කරමු. ඇත්තටම ඒක ගුවන් විදුලි ශ්‍රාවකයන්ට අලුත් අත්දැකීමක්?

ඒක මෙහෙමයි වෙන්නේ. සාමාන්‍යයෙන් සිකුරාදා සවස තමයි ගොඩක් අය පාර්ටිවලට සෙට් වෙන්නේ. ඒ අයට අහන්නයි ක්ලබ් ෂා පටන් ගත්තේ. සිකුරාදා රෑ නවයට වැඩසටහන පටන් ගන්නවා. ඒ කාලයේ ඉඳලා පාන්දර වෙනකම්ම කිසිම නිවේදකයකු කතා කරන්නේ නැතුව සිංදුම විතරක් ප්ලේ කරනවා. අඩුම ගානේ වෙළෙඳ දැන්වීමක්වත් ප්‍රචාරය කරන්නේ නැහැ ඒ ගුවන් කාලය තුළ. ඒ වගේම මෙහි ඇති අනෙක් සුවිශේෂී කාරණය ‘ෂා’ කියන අපේ නමවත් සිංදු අතරතුරදී ප්ලේ නොකරන එක.

වෙළෙඳ දැන්වීම් නැතුව වැඩසටහනක් කරන එක ආයතනනයට පාඩුවක් නොවේද?

‘ෂා’ අරමුණ සල්ලි හම්බු කිරීම නෙවෙයි. අපි ඒ ගුවන් කාලය තනිකරම වෙන් කරන්නේ ශ්‍රාවකයන් සඳහා පමණයි. ඔවුන්ගේ රස වින්දනයට බාධා වේවි කියලා හිතලා තමයි ඒ වෙලාවේ සිංදු විතරක් ප්‍රචාරය කරන්නේ.

සිංහල සිනමාව වෙනුවෙන් වෙන්වුණ ‘ෂා’ ඕ. ඩී. සී වැඩ සටහනට මේ වන විට මොන වගේ ප්‍රතිචාරයක් ද ලැබෙන්නේ?

ඇත්තටම අපි ඒ වැඩසටහන මෙහෙය වන්නේ චිත්තරූප මැවෙන විදිහට. ඒ වගේම තනිකරම ප්‍රචාරය කරන්නේ පැරැණි ජනප්‍රිය චිත්‍රපට ගීත. අපට ඒ හරහා වෙනමම රසික කණ්ඩායමක් එකතු වුණා. මේ වැඩසටහන ප්‍රචාරය වෙන්න පටන් ගත්තට පස්සේ බොහෝ පැරැණි චිත්‍රපට නළු නිළියන් අපට කතා කළා. ඒ අය අපට ප්‍රශංසා කළා නව පරපුරේ ගුවන් විදුලි නාළිකාවක අමතක වෙච්ච ගීත යළිත් ප්‍රචාරය කරන එකට.