වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වාර්තා චිත්‍රපටයක සබැ අරමුණ සොයා යාම සහ පර්යේෂණයයි

වාර්තා චිත්‍රපටයක සබැ අරමුණ සොයා යාම සහ පර්යේෂණයයි

අද පුදුම හත වෙන් වුණේ වාර්තා චිත්‍රපට වෙනුවෙන්. අපිත් සමගින් ඒ තොරතුරු බෙදාහදා ගන්නේ අපේ රටේ ප්‍රකට සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන අනෝමා රාජකරුණා. ඇජෙන්ඩා 14 හරහා අපේ සිනමාවේ සුවිශේෂ වූ කාර්යයභාරයක නියැළෙන ඇය මේ වනවිට ලාංකේය කෙටි හා වාර්තා චිත්‍රපට ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වූ භාරදූර වගකීම කරට ගෙන කටයුතු කරන්නීය. පුදුම හතට සඳහන් කළේ ඇය නැරඹු දහසකුත් නිර්මාණ අතරෙහි වූ වාර්තා චිත්‍රපට හතක් පිළිබඳවයි. ඒ සඳහා ඇය වඩාත්ම කැමැති සිනමාකරුවන් අතින් බිහිවුණු වාර්තා චිත්‍රපට හතක් මූලික වුණා.

S 21 – The Khmer Rouge Killing Machine (2002)

මම මුලින්ම කතා කරන්න කැමැති රිතීෆාන් අධ්‍යක්ෂණ කළ  S 21– The Khmer Rouge Killing Machine  චිත්‍රපටය යි. සමූළ ඝාතනයන් සිදු කළ පොල් පොට්ගේ පාලනය (1975 – 1979) යටතේ කාම්බෝජයේ වධකාගාරයක දාහත් දහසක පිරිසක් මිය ගියා. ඒ තුළට මිනිසුන් යනවා පමණයි. ආපසු ඒම සිදු කිසිදා සිදු නොවුවක්. ඒ වධකාගාරයට ගෙන ගොස් කමරූජ් හමුදා සේවයට බඳවා ගත් වයස අවුරුදු එකොළහක දරුවෙකු හට ඉන් පැන තායිලන්තය හරහා ප්‍රංශයට යාමට හැකියාව ලැබෙනවා. ඔහු එහි සිනමා පාසලක ඉගෙන ගෙන චිත්‍රපටයක් තනනවා. S 21 – The Khmer Rouge Killing Machine (2002) චිත්‍රපටය වන්නේ එය යි. ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරේ මා වඩාත්ම කැමැති චිත්‍රපටය වන්නේ මෙම චිත්‍රපටය යි.

අන්තවාදී දේශපාලනයක යෙදුනු පොල්පොට් නොම් පෙන්හි පවත්වාගෙන ගිය වධකාගාරයෙන් පැන ගිය රිතිෆන් නැවත පැමිණ දාහත් දහසක ජනතාව මරා දැමුණු අවස්ථාවේ තමා වන්ම දිවි බේරාගත් තවත් කිහිප දෙනෙකු මෙන්ම වධකාගාරයේ විවිධ කාර්යයන්හි නිරත වූ පුද්ගලයන් නැවත කැඳවා ගෙන ගොස් කළ පසු විපරම මෙම චිත්‍රපටයේ නිරූපණය වෙනවා. එකල පැවති සාගතයෙන් ද විශාල ප්‍රමාණයකට තම ජීවිත අහිමි වුණා. මෙම ඛේදනීය තත්ත්වය සහ පොල් පොට්ගේ බිහුසුණු පාලනය ප්‍රශ්න කෙරෙන සේම මනුෂ්‍යත්වය ගැන කතා කෙරුණු මෙම චිත්‍රපටය වාර්තා චිත්‍රපටකාරිනියක ලෙස මා සසල කළ චිත්‍රපටයක්.

Videograms of a Revolution (1992)

හරූන් ෆරූකී මම වඩාත්ම ප්‍රිය කරන වාර්තා චිත්‍රපටකරුවා වගේම මගේ ගුරුවරයා. ලොව විශ්වවිද්‍යාල රැසක ගුරුවරයෙක් ලෙසන් කටයුතු කළ ඔහු වාර්තා චිත්‍රපට පිළිබඳ වැඩමුළු වෙනුවෙන් ඔහු දෙවරක් ලංකාවට පැමිණියා. ඔහුගේ කෙටි හා වාර්තා චිත්‍රපට ප්‍රමාණය සියයකට අධිකයි. මාඕ සේතුංගේ වදන් ඇසුරින් 1960 වසරේදී නිර්මාණය කළ The verge of chairmen චිත්‍රපටය ඉන් පසු කළෙක 70 දශකයේ අගභාගයේදී අහම්බයකින් මට දකින්නට ලැබෙනවා. හිර ගෙවල්, සොල්දාදුවන්ගේ ජීවිත සහ සීසීටීවී කැමරා ආගමනය සමග මෙම සීසීටීවී කැමරාව අපේ ජීවිතවලට බලපාන අයුරු ඔහු විග්‍රහ කරනවා. මේ පිළිබඳ වූ බොහෝ වාර්තා චිත්‍රපට ද ඔහු අතින් නිර්මාණය වී තිබෙනවා. 1992 වසරේදී එක්තරා අවස්ථාවක ඔහු චිත්‍රපටයක් කළා. එය නම් වූණේ Videograms of a Revolution ලෙසිනුයි.

රුමේනියානු විප්ලවය පිළිබඳ එහි සටහන් වුණා. මෙම විප්ලවය අනෙකුත් විප්ලවයන් හා බැලීමේදි තරමක් වෙනස් වූ එකක්. එයට හේතුව එහිදී රුමේනියාවේී රූපවාහිනී මධ්‍යස්ථානය කැරලිකරුවන් විසින් අල්ලා ගැනීම සමග එහි සිට බලය තහවුරු කර ගැනීම සඳහා රූපවාහිනි මාධ්‍ය යොදා ගැනීමයි. සන්නිවේදන මාධ්‍යයට අතේ ගෙන යා හැකි කැමරාවන්ගෙන් ජනතාව රුමේනියානු විප්ලවය රූ ගත කළා. හරූන් ෆරූකී මෙම චිත්‍රපටය නිර්මාණය කළ පැය 125ටත් වඩා වැඩි ජනතාවගේ වාර්තාකරණය ඇසුරින්. එහි සුවිශේෂත්වය වන්නේ රුමේනියානු විප්ලවයේ ඓතිහාසික සාධක ඇතුළත් වූයේද මෙම වීඩියෝපට වල වීමයි. හරූන් ෆරූකී විසින් එම ඓතිහාසික සාධක එකට ගොනු කිරීමක් සිදු කළා.

Crossing The Bridge (2005)

වාර්තා චිත්‍රපට ගැන කතා කිරීමේදී සංගීතය පිළිබඳ කියවෙන වාර්තා චිත්‍රපට සියදහස් ගණනක් ලෝකයේ නිර්මාණය වී තියෙනවා. සංගීතඥයන්, සංගීත සම්ප්‍රදායන්, ජන සංගීතය වැනි විවිධාකාරයේ වාර්තා චිත්‍රපට අතරින් ෆතේ අකීන් නම් තුර්කි සම්භවයක් ඇති ජර්මානු සිනමාකරුවාගේ Crossing The Bridge (2005)  චිත්‍රපටයත් මා ඉතා බැඳුනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ සංගීතය. ආසියාව සහ යුරෝපය එක්වන තැන ලෙසින් භූගෝලියව තුර්කිය හා ඉස්තාම්බුල් නගරය වැදගත් වෙනවා. සංස්කෘතීන් දෙකක් භූගෝලය වෙනස් වූ කලාප දෙකක් එකට එක්වන තැනක් ලෙස මෙම ස්ථානය සුවිශේෂයි. මෙම පෙරදිග අපෙරදිග කලාප දෙක අතර සංගීතය පාලමක් වෙන්නේ කොහොමද කියන එක මෙහිදී කතා කෙරෙනවා.

ෆතේ අකීන් මෙම චිත්‍රපටය කරන්නේ ඔහු සමගින් කටයුතු කළ ඇලෙක්සැන්ඩර් හක් කියන සංගීතඥයා සමගිනුයි. ඔහු බේස් ගිටාර් වාද්‍ය ශිල්පියෙක්. ෆතේ අකීන්ගේ හෙඩෝන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහු විසින්. ඒ වෙනුවෙන් ඔවුන් තුර්කියට පැමිණියා. ඒ අවස්ථාවේදී ඇලෙක්සැන්ඩර් හක්ට එහි වූ විවිධ සංගීත සම්ප්‍රදායන් අසන්න ලැබුණා. ඔහුට එම නගරයේ සංගීත සම්ප්‍රදායන් සොයා යාමේ අවශ්‍යතාව ඇති වීම මෙම නිර්මාණ බිහිවීමට වූ හේතුවයි. කොන්ෆියුසියස් වරෙක පවසා තිබුණේ ජනතාවකගේ සංස්කෘතිය තේරුම් ගැනීමට ඔබ ප්‍රථමයෙන් ඔවුන්ගේ සංගීතය තේරුම් ගත යුතු බවයි. එදා කොන්ෆියුසස් මෙය පවසන්නට ඇත්තේ ෆතේ අකීන්ගේ මෙම චිත්‍රපටය පිළිබඳව වන්නට ඇති බවත් වරෙක විචාරයෙක් පවසා තිබුුණා. විනාශ වේ යැයි බියෙන් සීමා මායිම් මධ්‍යයේ සංස්කෘතිය ආරක්ෂාකර තබා ගැනීමට තැත් කිරීම ආසියාව තුළ දකින්ට තියෙන ලක්ෂණයක්. බටහිරින් එල්ල වන අභියෝගයන්ගෙන් එය විනාශවේ යැයි යන අදහස ඔවුන්ගේ සිත් තුළ තියෙනවා. ඒ සියල්ල තුළ මේ පාලම හරහා දෙපසට යාම ගැන මෙම චිත්‍රපටයෙන් විමසනවා.

Ram Ke Naam (In The Name of the God) (1992)

ආනන්ද් පත්වර්ධන් මගේ ගුරුවරයෙක්. පසු කලෙක අපි වාර්තා චිත්‍රපට උළෙල ගණනාවක යළි හමු වුණා. ඔහු සමඟ මමත් පසුව තරඟකාරී අංශවල කරටකර සටන් වැදුනා. ඔහු වාර්තා චිත්‍රපටකරණයේ පමණක් නියැළෙන සිනමාකරුවෙක්. විශේෂයෙන්ම ඉන්දියවේ නැගීගෙන එන ආගම්වාදය පදනම් කරගත් දේශපාලනයට එරෙහිව සිනමාකරණයේ යෙදෙන නිර්මාණකරුවෙක්. Ram Ke Naam  චිත්‍රපටය වසර විසි ගණනකට පෙර හින්දු අන්තවාදීන් බාබ්‍රි මස්ජිත් පල්ලිය විනාශ කිරීම පිළිබඳ සඳහන් කරන නිර්මාණයක්. ඔහු ඒ පල්ලිය විනාශ කිරීම දක්වා ප්‍රචණ්ඩකාරී හැසිරීම ඔහුගේ කැමරාව රැගෙන වීදි බැස වාර්තා කළා. ඒ දර්ශන ඇසුරෙන් ඔහු මෙම චිත්‍රපටය නිර්මාණය කළා. එය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. මෙවැනි රටක සිදු වෙන විශේෂයෙන් අන්තවාදි ක්‍රියාවන් යළි ඇති නොවන්නට මිනිසුන්ට ප්‍රචණ්ඩත්වයේ නියම ස්වරූපය කෙසේද යන්න දැක ගත හැකි නිර්මාණයක් ලෙසින් සුවිශේෂ වෙනවා. ඒ සඳහා රූප මාධ්‍යයේ ශක්තිය තහවුරු කළ අවස්ථාවක්. ඒවගේම ආගම කියන්නේ මිනිසුන් හික්මන සංස්ථාවක්. ආගම මිනිසුන්ට ප්‍රේමය, මෛත්‍රිය, කරුණාව පිළිබඳ අධ්‍යපනය ලබාදීමට මුල් වෙනවා. තම ඇදහිල්ල අන්තවාදය කරා ගමන් කිරීමෙන් තම ආගම් උස් පහත් ලෙස දැකීමෙන් ආගම පිළිබඳ සංකේත වන සිද්ධස්ථාන විනාශ කිරීම ඉතිහාසයේ බොහෝ යුගවල අපිට දකින්න ලැබී තියෙනවා. සමහර යුද්ධවල පදනම වූයේත් මෙම ආගමික අන්තවාදයන්. එවැනි සිදුවීමක් වූ බාබ්‍රි පල්ලිය විනාශ කිරීම මේ නිර්මාණය සඳහා පාදක වෙනවා. එහි වූ රත් යාත්‍රා ගමන කෙළවර වෙන්නේ මෙම පල්ලිය කඩා බිඳ දැමීමෙන්. තමන්ගේ දෙවියන්ගේ නාමයෙන් අනෙකාගේ දෙවියන් පිටුදැකීම සහ නෙරපීම මෙම නිර්මාණයෙන් කියවෙනවා.

The Gleaners And I

ප්‍රංශ නව රැල්ලේ සිනමාකාරිනියක වූ ඇග්නස් වර්දා දැනට සිනමාවේ සිටින වියපත්ම සිනමාකාරිය යි. ඒ වගේම බෙහෙවින් කතාබහට ලක් වූ සිනමාකාරියක්. ඇයගේ ඊඩඥ ට්තඥචදඥපඵ ඒදඤ ධ් චිත්‍රපටයට නිමිත්ත වෙන්නේ ජෝන් ෆ්‍රාන්සුවා මිලේ නම් චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක්. වර්දා අධිබර සිනමා උපකරණ වෙනුවට සැහැල්ලු සිනමා උපකරණ යොදා ගනිමින් මෙම චිත්‍රපටය රූගත කළා. අහුලන්නෝ වැනි අරුත එයින් ගෙන එනවා. තමන්ගේ පැවැත්මට එදිනෙදා වේල සොයා ගන්නට තැත් දරන්නන් වගේම කලාව සඳහා අමුද්‍රව්‍ය සොයා යන පුද්ගයන් දක්වාම අතහැර දැමූ තැන්වල විවිධ දේ සොයා යන්නන් ගැන මෙයින් කතා කරනවා.

මෙහිදි ඇයද සඳහන් කරන්නේ ඇයත් එවැනිම වූ පුද්ගලයෙක් බවයි. ඇය සිය සිනමා ජීවිතය වෙනුවෙන් විවිධ දේ සොයා ගෙන යන බව පවසනවා. මේ තුළ ඇයට විවිධ දේ හමු වෙනවා. යුරෝපයේ ප්‍රධාන ආහාරයක් වන අර්තාපල් වෙළෙඳ පොලට යනවිට වගාබිම්වල විකිණිය හැකි ප්‍රමාණය හා හැඩයෙන් පරිබාහිර වූ ඒවා වගා බිම්වල අතහැර දමා යෑම සුළබ දෙයක්. එහිදී වර්දාට හමු වෙනවා හදවතක හැඩය ගත් අර්තාපල් අලයක්. පැරීසිය ආසන්න නගරයේ සිට ඈත ගම්බිම් දක්වා ඇය මේ වෙනුවෙන් බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. සමහර වාර්තා චිත්‍රපට ගැන කතා කරනකොට ස්ත්‍රීභාවය චිත්‍රපටකරුවෙකුට ඉතා වැදගත් එමෙන්ම ධනාත්මක වෙන්නේ කොහොමද කියන එක විශේෂ වෙනවා. අතේ රඳවන කැමරාව මෙහි සුවිශේෂ වෙනවා. රූගත කර අවසානයේ කැමරාව ක්‍රියා විරහිත කිරීමට අමතක වූ දර්ශනයක් එහි ඇතුළත් වෙනවා. නොදැනුවත්ව එය සිදු වුවත් ඇය එම දර්ශනයත් The Dance of the Lence Ca ලෙසින් මෙම වාර්තා චිත්‍රපටයට ඇය ඇතුළත් කර තියෙනවා.

Prodigal Sons (2008)

අමෙරිකා එක්සත් ජනපදයේ තෙලුරයිඩ් චිත්‍රපට උළෙලේදීයි මට මේ චිත්‍රපටය නරඹන්න ලැබුනේ. එය නිර්මාණ කර තිබෙන්නේ කිම්බලි රීඩ් නම් සිනමාකාරිනිය විසින්. ඇය ඉගෙනගත් පාසලේ ආදි සිසු හමුවකට ඇය යන්නේ දෙගිඩියාවෙන්. ඇය පාසලේ අධ්‍යාපනය ලැබූයේ ශිෂ්‍යයෙක් විදියටයි. දැන් ඇය මේ සුහද හමුවට යන්නේ කාන්තාවක ලෙසිනුයි. පාසල් ජීවිතය හා වර්තමාන කාලය අතරතුර ඇය මෙලෙස ලිංගික විපර්යාසයකට ලක්වීම ඇයගේ අනන්‍යතාව වෙනස් කරවන ශල්‍යකර්මයට මුහුණ දී සිටිනවා. ඇය මේ හමුවට යන්නේද ඇයගේ පෙම්වතියද සමඟයි. එවිට පාසලේ ඉගෙන ගන්නා සමයේ ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. තරුණියන්ගේ ආකාර්ශනය යොමු වූ හැඩකාර තරුණයෙක්. ඇය නැවත පාසලට යන මේ ගමන සමගින් ජීවිතයේ වූ ගැටුම්ද ඇතුළත්ව ඇයගේ කතාව වාර්තා චිත්‍රපටයකට ගොනු කරනවා. බොහෝ කාලයක සිට දරුවන් නොමැතිවීමේ සොවින් සිටි ඇයගේ දෙමාපියන් විසින් පිරිමි දරුවෙකු හදා වඩා ගැනීමෙන් අනතුරුව කිම්බලි සහ තවත් දරුවෙකු මෙම පවුලට එකතු වෙනවා. මේ ළමුන්ගේ මානසික තත්ත්වයන්, ගැටුම් අතරේ කිම්බලි රීඩ් ස්ත්‍රීයක බවට පත්වීමට තීරණය කරනවා. ඇය පවසන්නේ තමාගේ පිරිමි ජීවිතය තුළත් කාත්නාවත ජීවත් වූ බවයි.

මේ සියල්ල වාර්තා චිත්‍රපටයකට ගොනු කරන්න යළිත් කලින් ජීවත් වූ නගරයට පැමිණෙන විට වැඩිමහල් සොහොයුරා වැදූ මව මිය යනවා. ඒ අවස්ථාවේදී ඔහු අමෙරිකාවේ සුප්‍රකට ඕසන් වේල්ස් නම් සිනමාකරුවාගේ මුණුපුරා බවත් අනාවරණය වෙනවා. එනම් ඕසන් වේල්ස් ගේ දියණිය රීටා හෙවන්ස් විසින් බිහි කළ දරුවා බව තහවුරු වෙනවා. මේ සංසිද්ධිය අතුරු විෂයක් විදියට චිත්‍රපටයට එළැඹෙනවා. තමන්ගේ ලිංගික විපර්යාසය සමගින් වසර ගණනාවක පසු තම මිතුරු මිතුරියන් හමුවට යන අවස්ථාව ගැන චිත්‍රපටයක් හදන කිම්බලි ඒ අතරවාරයේ ඇතිවන තවත් සංසිද්ධියක් නිසා මෙම චිත්‍රපටයට තවත් මානයක් එකතුකර ගන්නවා. වාර්තා චිත්‍රපටයක් කියන්නේ එක්තරා විදියක දීර්ඝ ගමනක්. එය ආරම්භය්දී අප ඉලක්ක කරගෙන ස්ථානයට නොවේ බොහෝවිට අවසානයේ යන්නේ. එයට අපට නිශ්චිත හැඩයක් ලබා දීමට නොහැකි වෙනවා. මේක ඉතාම වැදගත් චිත්‍රපටයක්. මන්ද එය ආත්ම කථනයක්. අනුන්ගේ ජීවිතය වෙනුවට මෙහි කතා කරන්නේ තමන්ගේ ජීවිතය ගැනයි.

La Soufriere (1977)

ජර්මන් ජාතික සුප්‍රකට සිනමාකරුවෙක් වූ වර්නර් හර්සොග් වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණයේ යෙදෙන අතරතුර වාර්තා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ අතර ඔහු නිර්මාණය කළ  La Soufriere (1977) චිත්‍රපටයට මා විශාල කැමැත්තක් දක්වනවා. පුපුරා යාමට ආසන්න වූ ගිනි කන්දක් පිළිබඳ චිත්‍රපටයක්. අනෙකුත් මිනිසුන් හැරදමා පළා යන සංසිද්ධීන් සොයා යාමේ ප්‍රවණතාවයන් ඔහු තුළ තිබෙනවා. ගල්ෆ් යුද්ධය අවස්ථාවේදී එහි සිට තම නිර්මාණකරණයේ යෙදුණා.

La Soufriere (1977) එහි තවත් එක් නිර්මාණයක්. ගව්ඩලොප් දූපතේ පිහිටි අඩි 1500 පමණ උස මෙම ගිනි කන්ද පුපුරා යාමට ආසන්න මොහොතක මෙම දූපතෙන් මිනිසුන් ඉවත් කෙරෙන්නේ පළා යාමට තරම් නොවූ ඉතා කුඩා දූපතක් වීම නිසාවෙනි. එහෙත් එක් පුද්ගලයෙක් මෙම දූපත අතහැර යාම ප්‍රතික්ශේප කරනු ලැබුවා. ඔහු ඉවත් කරන්න දැරූ සියලු උත්සාහයන් ද ව්‍යර්ත වූවා. මේ පිළිබඳ දැනගත් වර්නර් හර්සොග් තවත් දෙදෙනෙකුගෙන් යුතු කැමරා කණ්ඩායමක් සමගින් මෙම දූපත වෙතට ගමන් කළා. මේ ගමන පිළිබඳ සිනමාකරු ගෙන් විමසූ විට පවසා සිටියේ, මරණය ගැන මේ දූපත අත නොහැර යන පුද්ගලයාගේ හැඟිම් දැන ගැනීමේ අවශ්‍යතාව තමන්ට ඇති වූ බවයි. එදා ඔහු පිටත්ව ගියේ දූපත අත නොහැර යන පුද්ගලයගේ ආධ්‍යාත්මය පිරික්සීමේ චාරිකාවයි.

මරණය, මරණය යනු කුමක් ද, මරණය පිළිබඳ ඔබට දැනෙන දේ කුමක්ද යන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට පලා යාමට නොහැකි භූමියක ලාවා ගලා යන්නට ආසන්න මොහොකතදී හර්සොග් ඒ දෙසටම ගියා. වාර්තා චිත්‍රපට පිළිබඳ සැළකුවහොත් ලොව බොහෝ සිනමාකරුවන් මෙවැනි අනතුරුවලට මුහුණ දී තිබෙනවා. ඔවුන් වාර්තා චිත්‍රපටකරණය තුළ තම ජීවිත පරදුවට තබන අවස්ථා වෙනවා. මෙය ඒ සඳහා කදිම උදාහරණයක්. එදා එක් පුද්ගයෙක් සොයා ගිය ගමනේදී ඔහුට තවත් පුද්ගලයන් දෙදෙනෙකු හමු වෙනවා. ඔවුන් තිදෙනා ගැන කතාව මෙම චිත්‍රපටයේ ඇතුළත් වෙනවා.

වාර්තා චිත්‍රපටය එක්තරා විදියකින් ලංකාව හඳුනාගත් හැඩය වෙනස්. රූපවාහිනි මාධ්‍ය ආගමනය සමගින් තැනුනු වාර්තා චිත්‍රපටත් ලංකාවේ නිර්මාණය කෙරුණා. ලෝකය දෙස බැලුවොත් ලෝකයේ අප පුදුම කරවන වාර්තා චිත්‍රපට රාශියක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රථමයෙන් බිහි වුයේද වාර්තා චිත්‍රපටය යි. වාර්තා චිත්‍රපටයේ මූලික අරමුණ වන්නේත් සොයා යාම සහ පර්යේෂණය යි. ඒවගේම මා පුදුමයට පත් කළ වාර්තා චිත්‍රපට නිර්මාණ මා මෙම ක්ෂේත්‍රයට ඇඳ බැඳ තබා ගැනීමටත් සමත් වුණා.