වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




නෝනේ මගේ සුදු නෝනේ

එක දවසක කතාවක් . . . .

එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය

සුන්දර ලෙස කැටයම් දමා ඔප කළ සුවිසල් ගේට්ටුව උස්ව නැඟී සිටින්නේ යෝධයෙකු පරිද්දෙනි. ගේට්ටුවේ ඇති විසල් බව කියා පාන්නේ නිවෙසේ හා ගෙවත්තේ අසිරියත්, එහි වසන්නන්ගේ ධනවත් බවයි. ගේට්ටුව අසල කවුළුවෙන් එබුණු විට මුරකරු නොපෙනේ. එක්වරම සුවිසල් ගේට්ටුව විවෘත වූයේ සැනෙනි. විවෘත වූ ගේට්ටුව අතරෙන් පිවිසියේ කළු වීදුරුවලින් වැසුණු සුඛෝපබෝගී රථයකි. එය අසුරු සැනෙන් ඉන් පිටතට ගියේ එහි සිටින්නේ කවුරුන්ද යැයි කියා දැක ගන්නටත් ප්‍රථමය. රථය පිටත් වූ සැනෙන් පිවිසියේ තරුණයන් දෙදෙනෙකි.

“ මහත්තයා ඉන්නවද?”

ඔවුහු විසල් ගේට්ටුව අසලට පැමිණි සැනෙන් මුරකරුගෙන් විමසූහ.

“ එන්න... එන්න... මහත්තයා. මට ඔයා ගැන කියලයි තියෙන්නේ.”

මුරකරු ඔවුන් පිළිතුරු දෙන්නටත් පෙරම විසල් ගේට්ටුව වසා දැම්මේ ය. හදිසියේම ඔළුවට පාත් වූ මේ හෙණ ගෙඩිය සිතාගත නොහැකි වූ එක් තරුණයෙක් අනෙක් තරුණයා දෙස බැලුවේ කුමක් කළ යුතුද යන්න විමසන්නට මෙනි.

“ මොකක්ද බං මේ වෙන්නේ? අපි ආවේ ආධාර පත්‍ර එකතු කරන්නනේ බං මංජු”

මුරකරු එහාමෙහා වනතුරු බලා සිටි අනෙක් තරුණයා මංජු නමැති තරුණයා ඇමතුවේ පහත් ස්වරයෙනි.

“කෑ නොගහ ඉඳපං අංජු. ඔය ඕන එකක්”

මංජු පැවසුවේ ගණනකට නොගෙනය. විසල් නිවසේ කිරිගරුඬ මතින් ඇවිද යන ඔවුන්ට ඒ මතින් පෙනෙන්නේ තමන්ගේම මුහුණු ය. කණ්ණාඩියක් සේ මැඳ ඇති කිරිගරුඬ දෙපයට රැගෙන එන්නේ සුවදායක හැඟීමකි. මුරකරු ඔවුන් කැඳවාගෙන ගොස් සුව පහසු අසුනක ඉඳ ගන්න සලස්වා අතුරුදන් විය. කුරුළු පිහාටු ගොඩක් මත ඉඳ ගත්තා සේ දැනෙන අසුන අත ගෑ මංජුගේ නෙත ගැටුණේ සොඳුරු යුවතියකගේ සේයා රුවකි. ඔහු සෙමෙන් ඒ අසලට ළං වූයේ මේ සිටින්නේ මෙහි අයිතිකරුගේ දියණිය නොවේදැයි සිතමින්ය.

“ නරකම නෑ. ඉඳලා ඉඳලා ආව තැන”

ඔහු අනෙක් සඟයා දෙස බැලුවේ එලෙස කියමිනි. එසැනෙන් එහි ඇතුල් වූයේ ඉටි රූපයක් බඳු තරුණියකි. මංජු ඈ දෙසත්, සේයාරුව දෙසත් බැලුවේ මාරුවෙන් මාරුවටය. ඔහුගේ මුවඟට නැඟුණේ අමුතු මදහසකි. ඇගේ රුව කෙතරම් සුන්දරද යත් ඔහු සිටි තැනම නොසෙල් වී බලා සිටියේය.

ව්‍යායාම සඳහා උදෑසනම පිටත්ව ගිය පබලු සිය කටයුතු අවසාන කර පැමිණියේ දැන් ය. ඈ ජිම් එකට ගිය ඇඳුමෙන්ම ආපසු ආවේ ඇගේ සුපුරුදු දින චරියාවේ එක් අංගයක් අවසාන කළ වගට සතුටු වෙමිනි. මේ වනවිට හෙක්ටර් තම ව්‍යාපාර කටයුතුවලට පිටත් වී ගොස් ඇති වග ඇය දනියි. එය සිතට සැනසීමකි. විසිත්ත කාමරය හරහා ඉහළ මාලයට ගොස් නාන කාමරයට වැදුණු පබලු සිත් සේ නා ගත්තාය.

“ මට දැන් කරදරයක් නැතිවම මගේ ප්‍රේම් එක්ක කතා කළ හැකියි.”

ඈ කෙඳිරුවේ තම පෙම්වතා මතකයට නැඟීමෙන් ඇතිවුණු සතුට සිහිපත් වීම නිසාය. දිය කිඳුරියක සේ නාන තටාකයේ බැස සිටි ඈ ඉන් පැමිණෙන විට හෝරාවක් පමණ ගත වී තිබිණි. ඒ අතරතුර නිරන්තරයෙන් කෑ ගසන ජංගම දුරකථනය අතට ගත් පබලු දුරකථන තිරය මත බැලුම් හෙළන්නී සොඳුරු සිනහවක් මුවඟට නංවමිනි.

“ ඔයාට හරිම හදිස්සියි නේද?”

ඇය දුරකථනයෙන් කතාබහ කළේ දඟකාරියක ලෙස ය.

“ අන්න ඔයාගේ වැඩේ හරි. මම අපේ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් ඉල්ල ගත්තා හෙක්ටර්ගෙන්. දැන් ඔයාට තනිවම ඒ වැඩේ පටන් ගන්න පුළුවන්.”

පබලුගේ ස්ථීර සාර කියමන ඇසුණේ ඇගේ කාමරය අසලින් යමින් සිටි නිවෙසේ මෙහෙකරුටය. ඔහු තමා යන ගමන නවතා සඳළුතලයේ මුකුළු කරමින් කතාබහ කරන සිය ස්වාමි දුවගේ කතාබහට සවන් දුන්නේ තමා සිටින වග ඇයට නොදැනෙන ලෙසය.

“ ඒයි සැන්ඩෝ මොකද උඹ කරන්නේ ?”

මෙහෙකාරිය පැමිණ විමසුවෙන් ඔහු ඉන් මෑත් වූයේය. ඈ අත තිබුණේ පබලුට රැගෙන යන පලතුරු පානයකි.

උඹට ඕනෑ නැති එකක් නෑ ළසඳා.”

සැන්ඩෝ මෙහෙකාරියට බණිමින් ගියේ හෙක්ටර්ගේ කාමරය අස්පස් කිරීමටය. ඔහුගේ මුහුණ මත සටහන් වූයේ අනුකම්පා සහගත බවකි.

“පව්, පබලු නෝනා.”

ඔහුට කියැවුණේ ඉබේමය. මේ නිවෙස අයිතිකරු වන හෙක්ටර් පබලුව විවාහ කර ගත්තේ අහම්බයෙනි. ඒ ඔහුගේ මුදල්වල බලයටය. එපමණක් නොවේ ඔහු පෙනෙන තරම් තරුණ පහේ නොවන වග සැන්ඩෝට හෙළි වූයේ මේ මෑත දිනෙකය. වයසට ගිය ඔහු පබලු නෝනාව කරකාර බැඳ ගන්නට ඇත්තේ රවටා වග සක් සුදක් සේ පැහැදිලිය. ඇය ද ඊට දෙවැනි නොවේ.

“ඔය දැන් කතා කරන්නේ එයාගේ ප්‍රේමවන්තයත් එක්ක නේ. හෙක්ටරයට හොඳ වැඩේ. තිරිහන් වෙන්න හිතුවා.”

සැන්ඩෝ කියන්නේ තමාටමය. ඔහුට හෙක්ටර්ගේ පිළිවෙළ නොඅල්ලයි. ඔහු වැඩිපුර ජීවත් වූයේ බොරුව සමඟ බව සැන්ඩෝට වැටහෙන්නට පටන් ගත්තේ මේ ළඟදීය.

“ පබලු නෝනා කවදත් මට හරි මනාපයි.”

ඔහු යළිත් තමාටම කියා ගත්තේය. හෙක්ටර්ගේ කාමරයෙන් එළියට පැමිණි ඔහුගේ දෙනෙතට හසුවූයේ පබලු අසලම සිටගෙන සිටින ළසඳාය. ඇගේ රුව ඔහුගේ නෙතට රසඳුනකි.

“ මේකි තවමත් මට කැමැති නෑනේ.”

සැන්ඩෝගේ සිතේ ඇති වී තිබෙන්නේ දුකකි. එහෙත් හෝරා කිහිපයකට පෙර පහළ සාලයේ උන් අමුත්තන් දෙදෙනාගෙන් එකෙකු සමඟ ඈ කොමළ කළ සැටි සැන්ඩෝට තවමත් මතකය.

“ ඌ මේකිට කැමැතියි වගේ. හ්ම්... ඒවා කොහේද?”

ඔහු අසල වූ අත්වැල මිරිකුවේ ඒ අමුත්තා මිරිකන්නට සැරසුණා මෙනි. මේ මොහොතේම නිවෙසට ඇතුළු වූයේ හෙක්ටර්ගේ සුඛෝපබෝගී රථයයි. පබලු කලබල වූවාය. තමා කතා කරමින් උන් අයුරු ඔහුගේ දසුනට ලක් වන්නට ඇත.

“මං දැන් මොකක්ද කියන්නේ ?”

පබලුගේ හොරය හෙළි වෙයිද? අමුත්තන් දෙදෙනාට කුමක් වේද? ළසඳාගේ ආදරය හිමිවන්නේ සැන්ඩෝටද? අමුත්තාටද? මෙවැනි ප්‍රශ්න රැසක් අප සිතේ පිළිසිඳ ගනියි. ‘නෝනේ මගෙ සුදු නෝනේ’ චිත්‍රපටය ළඟදීම ඔබේ ගැටලු විසඳනු නියතය. එරංග සේනාරත්නගේ නවතම චිත්‍රපටය වන මෙහි ඇති අපූර්වත්වය වන්නේ දිනෙක සිදුවීම් ඔස්සේ පමණක් මුළු චිත්‍රපටයම විකාශය වීමය. ආදරය, විනෝදය, හාස්‍ය සමග ඔබ වෙත රැගෙන එන ‘නෝනේ මගෙ සුදු නෝනේ’ චිත්‍රපටය ළඟදීම බලාපොරොත්තු වන්න.