වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




බයිස්කෝප් පිස්සන්ගේ අතීතාවලෝකනය

බයිස්කෝප් පිස්සන්ගේ අතීතාවලෝකනය

චිත්‍රපට ලෝලියා, සිනමා රසිකයා, ප්‍රේක්ෂකයා ආදී වශයෙන් කවර ආකාරයේ ගෞරව නාම පුද කළ ද සැබෑ සිනමා ප්‍රේමියකු ඇමතිය හැකි වඩාත්ම ආදර නාමය බයිස්කෝප් පිස්සා යන්නය. එය හරියට පවුලේ සුදු පුතා, හිච්චි මහත්තයා, රං කැටියා වැනි සුරතල් වදන් නාමයකි. පසුගිය සති අන්තය ම විසින් සම්පූර්ණයෙන්ම කැප කරන ලද්දේ මෙරට සිනමා කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු නවතම ග්‍රන්ථය කියවන්නට ය. එය ප්‍රවීණ සිනමා විචාරකයෙකු වන ගාමිණී වේරගම රචනා කරන ලද්දකි. ග්‍රන්ථයෙහි නම 'දේශීය සිනමා වංශය'යි. කාණ්ඩ කිහිපයකින් නිකුත්වීමට නියමිත එහි මුල් කොටසට අයත් වනුයේ සිනමා ඉතිහාසයේ 1898 සිට 1969 දක්වා යුගයයි. මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භයම මෙන්ම එහි නිර්මාතෘවරුන් ද පුළුල්ව ව්‍යාප්ත වූ හැටි ද, චිත්‍රපට නිෂ්පාදනයෙහිලා උත්සුක වූ අන්දම ද ගාමිණී දීර්ඝ අනාවරණයක යෙදෙයි. මෙම ග්‍රන්ථයේදී කතානාද සිනමාව ආරම්භ වන 1947 ට පෙර යුගය පිළිබඳව ද දීර්ඝ පර්යේෂණයක නිරත වන ගාමිණී ඉන් අනතුරුව මෙරට චිත්‍රපට ව්‍යාපාර පිළිබඳවද, දේශීය චිත්‍රපට මෙන්ම නිෂ්පාදනය පිළිබඳව ද, අනතුරුව 1947 සිට 1969 දක්වා තිරගත වූ එක් එක් දේශීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව වෙන වෙනම ද අවධානය යොමු කරයි.

එහිදී සිංහල මෙන්ම මෙරට නිෂ්පාදිත දෙමළ හා සිංහලෙන් දෙබස් කැවුණු විදේශීය චිත්‍රපට පිළිබඳව ද අවධානය යොමු කරයි. ඒ අධ්‍යක්ෂවරුන් කේන්ද්‍ර කොට ගනිමින් වීම විශේෂයකි. මෙරට සිනමා ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ රාශියක් පසුගිය කාලයේ එළි දුටුව ද මා මෑත භාගයේ එක හුස්මට කියවාගෙන ගිය ග්‍රන්ථය වූයේ වේරගමයන් රචනා කරන ලද 'දේශීය සිනමා වංශය'යි. එයට එක් හේතුවක් නම් ඔහු උපයුක්ත කොටගෙන ඇති භාෂාවේ සරල රීතියයි. දෙවැන්න මෙම ශාස්ත්‍රීය නිබන්ධනය උපාධියක් සමත් කරවා ගැනීමේ අභිලාෂයෙන් හෝ පොරක් වීමේ අභිලාෂයෙන් හෝ එවැනි වංචනික නැතහොත් කොලේ වසා ගැනීමේ අරමුණින් රචනා කරන ලද්දක් නොවන බව ආරම්භයේදීම වැටහීමයි. එය සිනමාවට හදවතින්ම ආදරය කළ නොම්මර එකේ බයිස්කෝප් පිස්සෙකුගේ අතීතාවර්ජනයකි. මේ අතීතාවර්ජනය රසාලිප්ත ඕපාදූපවලින් තොරව ශාස්ත්‍රීය නිබන්ධනයක් වනුයේ ගාමිණී වේරගම සිනමා විචාරකයෙකු වන බැවිනි. එමෙන්ම ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු ද වන බැවිනි. ඔහු කර්මාන්තය පිළිබඳ ගැඹුරු විග්‍රහයක යෙදේ.

සිනමා කර්මාන්තය පිළිබඳ ගැඹුරු පර්යේෂණයක නියැලෙන්නට නම් මේ සියලු කාරණා ගැන අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍යය වේ. 1969 දක්වා තිරගත කරන ලද චිත්‍රපට අතරින් පෞද්ගලිකව ගාමිණීට නරඹන්නට නොලැබුණේ චිත්‍රපට තුනක් යැයි ඔහු මෙහි සටහන් කොට ඇත. මේ චිත්‍රපට ත්‍රිත්වය කවරෙක්දැයි මා විමසූ කළ ඔහුගේ පිළිතුර වූයේ මෙරට තනා තිරගත කළ මුල්ම නිහඬ චිත්‍රපටය වූ 'පලිගැනීම', 'සිරිසඟබෝ', සහ 'ගම්බද සුන්දරී' යන චිත්‍රපට ත්‍රිත්වයයි. මෙනයින් බලන කළ සිනමා රසිකයන්ගේ පරම්පරාව නියෝජනය කරන අවසාන ග්‍රන්ථය ගාමිණී විසින් රචනා කරන ලද්දේදැයි මට නිකමට සිතිණි. වර්තමානයේදී බොහෝ විශ්වවිද්‍යාල සිසුන් සිය නිබන්ධනය සඳහා තෝරා ගනු ලබනුයේ දේශීය සිනමාව පිළිබඳ යම් අංශයක් සහිත මාතෘකාවකි. එයින් බහුතරය සිය නිබන්ධනයේ සම්පත් දායකත්වය සඳහා මා හමුවට පැමිණෙන අවස්ථා එමටය. ඒ බහුතරය සිය නිබන්ධන ලියන්නේ දේශීය සිනමාව ගැන ඇති වූ අල්පමාත්‍ර ආදරයකින්වත් චිිත්‍රපට එකක්වත් නැරැඹීමකින් ලත් ආශ්වාදයකින් නොවේ. එකම අරමුණ නම් කෙසේ හෝ උපාධිය ගොඩ දමා ගැනීම පමණී. සිනමා ලේඛනය ඉතා පහසු එකකැයි ඔවුහු විශ්වාස කරති.

වර්තමානයේදී ඇතැම් චිත්‍රපට සොයා ගැනීමේ අපහසුතාවයක් ද පවතී. එහෙත් එයට මා සමාව නොදෙන්නේ තිබෙන චිත්‍රපට හෝ නරඹන්නට ඔවුන්ගේ ඇති අලසකම මට ඉඳුරාම වැටහී ඇති බැවිනි. 1983 වසරේ ජූලි කලබලවලට මුවා වී සිංහල චිත්‍රපට ඉතිහාසය වනසාලන්නට බොහෝ දෙනාට හැකි විය. 1983 දී කියන තරම් විනාශ වූයේ ද යන ප්‍රශ්නයට පිළිතුරු නැතුව මම බලා සිටියෙමි. එයට හේතුව 83 දී විනාශ වූයේ යැයි කියනු ලබන ඇතැම් චිත්‍රපටවල ඩී වී ඩී නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් හෝ දැනටත් විවෘත වෙළෙඳ පොළේ ඇති බැවිනි. 1983 වන විට පාසල් සිසුවෙකුව සිටි මට මේ පැරැණි චිත්‍රපට රාශියක් කොළඹ නගරයේ එවකට පැවැති සිනමා ශාලා මඟින් නරඹන්නට හැකි වුණි.

මරදානේ ගාමිණී සිනමාහලේ අලුත් චිත්‍රපටයක් තිරගතවීමට ඇති ඉඩ කාලයේදී සිනමාස් සමාගමේ පැරණි චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලැබිණ. 1983 න් පසුව නාරාහේන්පිට එවකට පැවැති මොන්ටෝ නම් සිනමාහලේ එකී පැරැණි චිත්‍රපට තිරගත වෙද්දී ඒ බොහෝ චිත්‍රපට නරඹන්නට ද මට හැකි විය. මා වගකීමෙන් යුතුව විශ්වාස කරන්නේ 1983 ගින්නට හසු වූ චිත්‍රපට සංඛ්‍යාවට වඩා වැඩි කොටසක් ඉන් අනතුරුව සංවිධානාත්මකව අතුරුදහන් කළ බවයි. එවකට ප්‍රදර්ශන ඒකාධිකාරය හිමිව තිබූණේ සංස්ථාවටය. 1983 න් පසු තිරගත වීම සඳහා ශාලාවලට මුදා හරින ලද චිත්‍රපට පිටපත් කීයක් නැවත ආපසු ආවාදැයි සොයා බැලීම දැන් හෝ කළ යුතුය. මේ චිත්‍රපට සංස්ථාව සතු වගකීමකි.

දේශීය සිනමාවංශය පිළිබඳ තවත් ග්‍රන්ථයක් මතු යම් දිනෙක රචනා කරන්නෙකු වෙතත් ඔහුට හෝ ඇයට ගාමිණී වේරගමට තරම් අවංකව රචනා කළ නොහැක්කේ ඒ කිසිවෙකු මෙතරම් චිත්‍රපට පරිශීලනයක නොයෙදුණු වග අනිවාර්යෙන්ම පෙනෙන නිසාමය. චිත්‍රපට පිළිබඳ ලියන්නෙකු එය නරඹන්නේ නැතුව විග්‍රහයක යෙදීම අන්ධයෙකු අලියෙකු පිළිබඳ විස්තර කරන්නාක් වැනිය. කෙසේ වෙතත් ගාමිණී 'දේශීය සිනමාවංශය' රචනා කරද්දී වර්තමානයේදී මෙරට සිනමාවේ සිටින නිර්දය විචාරකයාගේ භූමිකාවට එතරම් ඉඩ ප්‍රස්ථාවනාවක් නොදෙන බව මගේ හැඟීමයි. ඔහු මේ පැරැණි චිිත්‍රපට පිළිබඳ සඳහන් කරනුයේ ඒ වසර හතළිහකට පනහකට පෙර එම චිත්‍රපට නැරැඹීමෙන් ලද ආස්වාදය ගුරු කොට ගනිමිනි. එය යාවත්කාලීන කරන්නට ඔහු උත්සාහ කරන්නේ නැත. එබැවින්ම එම චිත්‍රපට ඉතිහාසය වර්තමානය හා සසඳන්නට යෑමෙන් අදාළ සිනමාකරුවනට හෝ චිත්‍රපට සඳහා අගෞරවයක් වන්නට ඔහු ඉඩ සලසන්නේ නැත. එහෙයින් මතු යම් දිනයක ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය පිළිබඳව පරිශීලනය කරන්නෙකුට දේශීය සිනමාවංශය කෘතිය පාදක කොට ගන්නේ නම් එම සිනමාකරුවන් පිළිබඳ හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ වඩා මැදිහත්ව සිතන්නට මඟපාදා ඇත්තේය.

ඉතාම සරල උදාහරණයක් ගතහොත් බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පුරෝගාමී සිනමා මෙහෙවර සහ රොබින් තම්පෝ විසින් 60 දශකයේදී ගොඩනඟන ලද සිනමාව පිළිබඳ ගාමිණී වේරගම කරන විමර්ශනය ඉතා මැදිහත් සිතින් හා රසිකයෙකු ලෙස ලද ඔහුගේ ආස්වාදය හෙළිදරව් කරන්නෙකි. එක් අතකින් එදා සිනමාව වර්තමානය හා සැසඳීම කිසිසේත් සාධාරණ වන්නේ නැත. එදා තිබූ සමාජ වටාපිටාව ද සිනමා සංස්කෘතිය ද අදට වඩා වෙනස්ය. මෙහිදී මගේ පෞද්ගලික ආකල්පයක් ද එක් කරන්නට කැමැත්තෙමි. මා පික්චර් පිස්සෙකු බවට පත් වූයේ 1973 වසරේ තිරගත වූ තුෂාරා නැරැඹීමෙනි. පසු කලෙක ලොව විශිෂ්ටතම චිත්‍රපට රැසක් නැරැඹුව ද තුෂාරා ඒ සමඟ සසඳන්නට මම අකැමැත්තෙමි. සිනමා න්‍යායන් හෝ විචාර විධි හෝ හැඟීම්වලින් තොරව දරුවකු ලෙස දුටු තුෂාරා පිළිබඳ ආකල්පය අද පවා වෙනස් කරන්නට මා අකැමැතිය. ඒ එයින් බිඳෙනුයේ ළමා වියේ දුටු අපූරු චමත්කාරය පිළිබඳ අකුටිල සිතුවිල්ලය.

1969 දක්වා මෙරට චිත්‍රපට කර්මාන්තය පිළිබඳ ඔහු විසින් ගෙනෙන පරිච්ඡේදය දේශීය චිත්‍රපට නිෂ්පාදනයේ ද ආනයනයේදීද, බෙදා හැරීම හා ප්‍රදර්ශනය පිළිබඳව දීර්ඝ කරුණු සොයා බලා ඒ පිළිබඳ කරුණු අනාවරණනය කරයි. කලකට ඉහත දේශීය සිනමා කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද මහාචාර්ය සේනක බණ්ඩාරනායක කමිටුවේ එක් සාමාජිකයෙකු මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ද අත්දැකීම් සපිරි ගාමිණී මේ අතීත වාර්තාව ගෙනහැර දැක්වීමේදී නිලධාරියෙකු වීම විශේෂ වාසියක් වන්නට ඇතැයි කිසිවෙකු හෝ අනුමාන කළ හැක. එහෙත් දේශීය සිනමා වංශයේ සමස්ථාර්ථය තුළ ඇත්තේ විද්‍යාර්ථියෙකු හෝ නිලධාරියෙකුගේ හෝ විචාරකයෙකුගේ ඉස්මතු වීම නොවේ. මුලින් කී පරිදි සැබෑ සිනමා රසිකයෙකුගේ නැතිනම් සැබෑ බයිස්කෝප් පිස්සෙකුගේ ඉස්මතුවීමයි.

මේ බයිස්කෝප් පිස්සන් අතුරුදහන් වීම සිනමා ලේඛනයේ පමණක් නොව හුදු මහත් සිනමා කර්මාන්තයේ ද අර්බුදයක්ව පවතී.

මෙරට බොහෝ පුවත්පත් කලාවේදීන් සිනමා ලේඛනයට යොමු වන්නේ තම ආධුනික සමයේ වෘත්තීය පුහුණුවටත් එක්කය. එහෙත් සිනමා ලේඛනය යනු එසේ ලඝු කොට දැක්විය හැක්කක් ලෙස සැලකීම යුක්ති සහගත නොවේ. එය ඉතා ගැඹුරු සහ පුළුල් විෂයයකි. ඇතැම් සිනමා ලේඛකයන් (මේ පිළිබඳව සෙස්සෝ මට කමා කෙරෙත්වා) සිය ජීවිත කාලය තුළ කිසිදු චිත්‍රපටයක් නරඹා නැත. සමහරු චිත්‍රපට නරඹන්නේ පුවත්පත් කලාවේදීන් සඳහා වන විශේෂ ආරාධිත දැක්මේදී පමණකි. ඒ සිනමාවට ඇති ආශාව නිසා නොව චිත්‍රපටය අවසාන වූ පසු නිෂ්පාදකවරුන්ගෙන් ලැබෙන මධු සාදයට ඇති උන්මාදය හේතුවෙනි. (මෙම තොප්පිය නොපැළඳ ගන්න. නියත වශයෙන් චිත්‍රපට නරඹන සැබෑ සිනමා ලේඛකයන් කිසිවකු මා සමඟ උරණ නොවන බව මට විශ්වාසය.) කලකට ඉහත සිනමාව පිළිබඳ අද මෙන් සොයා බලන්නට නොතිබූ යුගයක විට්ටෝරියෝ ඩිසිකාගේ 'බයිසිකල් තීෆ්' නම් මැහැඟි චිත්‍රපටය පිළිබඳව මා දැනගත්තේ එක්තරා පුවත්පතක තිබූ ලිපියකිනි. පසු කලෙක එම ලිපිය ලියූ සිනමා ලේඛකයා මගේ මිතුරෙකු විය. මම අතීතයේ දවසක ඔහුගේ ලිපිය කියවීමෙන් ලද ආශ්වාදය විස්තර කළෙමි. එපමණක් ද නොව ලිපිය නිසා ලද ආශ්වාදය චිත්‍රපටය නැරඹූ පසු දෙගුණ තෙගුණ වූ අයුරු ද මම ඔහු හමුවේ කියාපෑවෙමි. එහිදී සිනමා ලේඛකයා දුන් පිළිතුරින් මගේ මුව අගුලු වැටුණි. 'මම ලිපිය ලිව්වට ඒ ෆිල්ම් එක බලලා නෑ' මම ඉන් එහා සිනමාව පිළිබඳ ඔහු හා කතා කිරීම නවතා දැමුවෙමි.

එහෙත් දේශීය සිනමා වංශය ග්‍රන්ථයෙහි ප්‍රථම කාණ්ඩය කිය වූ පසු මට තවත් බලාපොරොත්තු රාශියක් ඇත්තේය. එකක් මේ ග්‍රන්ථයේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඉදිරි කොටස් කියවීමට ඇති නොඉවසිල්ලය. අනෙක් කාරණාව නම් අපේ සිනමාවේ අතීත කතාව පිළිබඳ අප නොදන්නා බොහෝ කරුණු ගැන කතා කරන්නට ගාමිණී වේරගම නම් සිනමා විචාරකයාගෙන් හොඳ හැන්දෑවක විවේකයක් ඇත්දැයි දැන ගැනීමය. හේතුව ඔහු සිනමාවට එතරම් ඇලුම් කරන බව මේ ග්‍රන්ථය යළි ඔප්පු කරන බැවිනි.