පිරී ඉතිරී යන මහ වතුරක් සේ . . . .
ගායන ශිල්පියෙක් හා ශිල්පිනියක් තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
පිරී
ඉතිරී යන මහ වතුරක් සේ . . . .
ගලා හැලෙන සිහිලැල් ගඟුළක් සේ . . . .
විශාරද එඩ්වඩ් ජයකොඩි
මතක ගී පොත විශේෂාංගයට මෙවර සහභාගි වන්නේ විශාරද එඩිවඩ් ජයකොඩිය. ශ්‍රාවකයන්ගේ නොමඳ
ආදරයට පාත්‍ර වූ ඔහු මතකයේ සතු බොහෝ සිදුවීම් රැසකි. ඒ අතරෙන් අපහසුවෙන් තෝරාගත්
මතක කිහිපයක් ඔබ වෙත ගෙන හැර පෑ එඩ්වඩ් ජයකොඩි මෙසේ ආවර්ජණයක යෙදුණේය.
කෑගල්ල - හෙට්ටිමුල්ල ගම්මානයේ උපන් මම එකල පටන්ම එහි අසිරියෙන් සතුටට පත් වී
සිටියෙමි. එක් පැත්තකින් ගම වට වූ රබර් වතු යායත්, තවත් පැත්තකින් විහිදී ගියා වූ
තේ වතු යායත්, අනෙක් පැත්තෙන් ගම සශ්‍රීක කළ වෙල්යායත් කෘෂි කාර්මික ජනපදය සුන්දර
ගම්මානයක් කිරීමට තරම් සමත් විය. එය කොතරම් සුන්දර ගම්මානයක් වී ද යත් ගොයම් කපන,
පාගන කාලය එහි අපූරුම කාලය ලෙස මම දකිමි. සරොම් කොටයක් ඇඳගෙන ලියැදි දිගේ දුවපැන
ඇවිදිමින් ගොයම් මිටි එකතු කරන්නට වැඩිහිටියන්ට උදව් වූ අයුරු මට අද මෙන් මතකය.
ගොයම් කපා අවසාන වූ කල ගෙවිලියන්ගේ දෑතෙන් මඟ හැරෙන වී කරල් එකින් එක ඇහිඳ වී කරල්
මිටියක් තනන්නට පුංචි අප උත්සාහ කළේ තරගයකට මෙනි. එහි සිදුවුණු වැඩ පිළිවෙළ අතර මගේ
සිත් ගත්ම අංගය වූයේ ගොයම් කපන අතරතුර ගෙවිලියෝ මිහිරි ලෙස ගයන ගී අසා සිටීමය. මුළු
වෙල්යායේම තැනින් නැන ඇසෙන ගී ඔවුන් ගයන්නේ තරගයකට මෙනි. වෙල්යායේ එහා කොනෙන් එක
ගීයක් ඇසෙන විට මෙහා කොනෙන් ඇසෙන්නේ තවත් ගීයකි. කොළ පාගන රාත්‍රිය බෙහෙවින්
සුන්දරය. පැට්ට්‍රෝල් මැක්ස් ලාම්පු තැනින් තැන එල්ලා එහි ආලෝකයෙන් ගොයම් පාගන
අයුරු නරඹන්නට ද මම අමතක නොකළෙමි. මේ අසිරිය විඳ ගනිමින් හැදුනු වැඩුනු මම අකුරු
කරන්නට ද සමතෙක් වීමි.
මුලින්ම මා අකුරු කළේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයෙනි. පොල්අතු
සෙවිලි කළ දිගු පරාසයක විහිද ගිය ඉඩ ප්‍රමාණයක එකිනෙකට යාබදව පැවැත්වුණු පන්ති
සමූහයේ ළමයි ඉගෙන ගත්හ. පාඩම් පොතක තිබෙන කවියක් කියන්නට පැමිණි කළ මම ඒ කවිය
මිහිරි හඬින් ගැයීමි. එවිට සෑම පන්තියකම සිටින ළමයි මා දෙසට හැරී නිෂ්ශබ්දව කවිය රස
විඳින අයුරු මගේ මතකයට නැඟෙයි. එතැනින් ඇරැඹුණු මගේ පාසල් ගමන වෙනස් මඟකට යොමු
වන්නේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට පැමිණීමත් සමඟය. එහි විසූ එච්. සමරපාල
නර්තනාචාර්යතුමා මගේ හැකියාව හරියටම හඳුනාගත් ගුරුතුමෙක් විය. ස රි ග ම ප ධ නි ස
කියා දීමේ මුල්ම ගුරුතුමා වූ ඔහු මගේ අකැමැත්ත නොතකා වුව ද ගීත කියා දුන්නේය. කුඩා
කල පටන් සුභාවිත ගීය කුමක්දැයි අපට ඒත්තු ගැන්වූයේ ඔහුය. සර්පිනාව වයා ඒ ගී ගයන විට
අපි සියලු දෙනාම ‘හ්ම්’ ශබ්දයක් නොනඟා අසා සිටින්නට පුරුදු වී සිටියෙමු. එපමණක් නොව
ඒ ගී අපට කට පාඩම් වූයේද නිතැතිනි. මගේ කුඩා අවදිය වඩාත් අර්ථවත් වන්නේ ඔහු ඇසුරේ
ගෙවුණු කාලයයි.
සෑම වසරක් පාසාම සමස්ත ලංකා සංගීත තරගවලට අපව ඉදිරිපත් කිරීමට සමරපාල ගුරුතුමා
දැක්වූයේ දැඩි උනන්දුවකි. ඔහු දැක්වූ මේ උනන්දුව නිසාම පිට පිට වසර කිහිපයක්ම සමස්ත
ලංකා තරග ජයග්‍රහණය කිරීමට අපට හැකි විය.ඒ සමස්ත ලංකා තරග කණ්ඩායමේ නායකයා වූයේ
මාය. ඒ අයුරින් 1968 වසරේ පොළොන්නරුවේ පැවැත්වුණු සමස්ත ලංකා තරගයේ ද ශූරතාව හිමි
වූයේ අප පාසලටය. ඒ ශූරතාව මගේ ජීවිතයේ එක්තරා සංධිස්ථානයක් වූයේ අහම්බයෙනි. එදා
උත්සවය සඳහා සහභාගි වූ එවකට අධ්‍යාපන ඇමැති අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා
කතාවක් පැවැත් වූ අතර ඒ අපූරු කතාව ඇසූ සියල්ලෝම පුදුමයට පත්වූහ. ඒ අර කෑගල්ල ශාන්ත
මරියා විද්‍යාලයේ කොලු ගැටයා මෙන් කොලු ගැටව් සිව් දෙනෙක් හදා ගැනීමට හැකි වුවහොත්
අපගේ මේ කාර්යයේ පරමාර්ථය ඉෂ්ට වන බැව් කළ ප්‍රකාශයෙනි.
එතැනින් නොනැවතුණු ඔහු
මටත්, සමරපාල ගුරුතුමාටත් කතා කර මැලේ වීදියේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන්නැයි
කීවේය. එතැන සිටි ඩබ්ලිව්. බී. මකුලොළුව මහතා ද අපට ප්‍රශංසා කළේ හදපිරි බැතියෙනි.
ඉන්පසුව මා මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඉගෙනීම සඳහා පිටත් වූයේ ඒ ගමනේදී
ලැබූ ශිෂ්‍යත්වය සමඟිනි. කුමක් වුවද එදා සමස්ත ලංකා තරග අවසාන වී ආපසු එන අතරතුර අප
පාසලේ සියල්ලන්ම අනුරාධපුර සමාධි පිළිමය වැඳීමට ගිය වග මට මතකය. සමාධි පිළිමය දෙස
බලා සිටි මට ඒ මොහොතේ සිතට පිවිසියේ සමරපාල ගුරුතුමා අපට කියාදුන් අමරදේවයන් ගැයූ
මේ ගීතයයි. අද ද සමාධි පිළිමය අබියසට ගිය විට කුඩා කල සම්බන්ධ සියලු සිදුවීම් මගේ
මතකයට නැඟෙන්නේ ඉබේමය. නිතැතින්ම ඒ අබියස සිටිමින් මම ගීතය සිහිපත් කරමි. ඒ නිසාම
මේ ගීතයට මම ප්‍රේම කරමි.
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ
........
පිරී ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදාලන බුදුගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
........
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//
ගේය පද – ඩබ්ලිව්. ඒ. අබේසිංහ
සංගීතය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව
මේ ගීතය හා අතීතය අවධි වන තවත් මතකයක් නම් මා එකල ඉදිරිපත් වූ ආධුනික ගී තරගයයි.
වසර නවයක්ම ආධුනික ගී තරගවලට ඉදිරිපත් වී සිටි මම ‘පිබිදෙන ගායක පරපුර’ ගායනා
තරගයෙන් ජයග්‍රහණය ලැබීමි. ඒ ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ මා ගායනා කරන ලද්දේ මේ ගීතය
වීමද විශේෂත්වයකි. මේ ගීතය අසන සෑම මොහොතකම ඒ අතීත මතකය මගේ සිතට පිවිසෙන්නේ ඉබේමය.
එමෙන්ම ඒ සමඟ කිවයුතුම කරුණක්ද තිබේ. එනම් කලක පටන් මා ඩබ්ලිව්. ඒ. අබේසිංහයන්
සුරතෙන් ලියැවුණු ගීයක් ගැයීමට දක්වන්නේ දැඩි ආශාවකි. ඒ බව එතුමා දත් නමුත් අද
වනතුරුත් මට ඒ ආශාව ඉටුකර ගැනීමට නොහැකි විය. මැරෙන මොහොතකට පෙර හෝ එතුමා අතින්
ලියැවුණු ගීයක් ගයන්නට ඇත්නම් යන ප්‍රාර්ථනයේ තවමත් මම එල්බ සිටින වග මේ මොහොතේ ද
මම ඔබට කියමි.
රෝහණ වීරසිංහයන් වන මා මිතුරා ගයන මේ ගීතයට ද මම බෙහෙවින් පි‍්‍රය කරමි.
ගමන් මඟක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ//
......
නෙතින් ගැලූ කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ.....
.......
ගමන් මඟක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණි
ඉමක් කොණක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ.....
ගේය පද – කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය – විශාරද එඩ්වඩ් ජයකොඩි
ගායනය – ආචාර්ය රෝහණ වීරසිංහ
ඒ ලෙවල් කිරීමෙන් පසු මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණෙමි. රෝහණ වීරසිංහ
යන මා ළබැඳි මිතුරා මට මුණ ගැසෙන්නේ මෙහිදී ය. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨ සිසුවෙක් විය.
එහි පිවිසුනු අපට පළමුව මුහුණ දෙන්නට වූයේ නවක වදයටය. අද මෙන් නොව එකල තිබූ නවක වදය
බෙහෙවින් සුන්දරය. ඒ නවක වදය නිසා සිදු වූයේ එකිනෙකා හඳුනා ගැනීමය. එකිනෙකාගේ
පෞරුෂය වර්ධනය වීමය. එය ඒ තරමටම සුන්දර අත්දැකීමක් බව වඩාත් අපට වැටහෙන්නේ
වැඩිහිටියන්ව සිටින අදය. නවක වදයට ලක්වූ කාලයේ දිනක් මම වේලාසනම විශ්වවිද්‍යාලයට
පැමිණියෙමි.
“මොකද උඹ අද උදෙන්ම ආවේ”
ඒ දුටු ජ්‍යෙෂ්ඨ සිසුවෙක් මා ඇමතීය.
“නෑ...මම...මම... උදෙන්ම ආවා...” මම ගොත ගැසීමි.
“නෑ... එහෙම කලින් එන්න බෑ. එහෙම එන්නත් වෙලාවක් තියෙනවා. පලයන් ගිහින් අතන පොත්
ටික ඔළුවෙ තියාගෙන හිටපන්”
ඔහු අණක් දුන්නේය. මම ද ආපන ශාලාව අසල අව්වේ පොත් ටික ඔළුව උඩ තබාගෙන සිටියෙමි. මට
ඉවසිය නොහැකි වූයේ එතැනින් යන එන සියල්ලන් මා දෙස බලන අයුරුය. එහෙත් වැඩි කාලයක් මට
එතැන සිටීමට ඉඩ නොලැබුණි. පන්ති ආරම්භ කිරීමට තිබුණේ තවත් විනාඩි කිහිපයක් බැවින්
මට ආපසු යන්නට ඒ ශිෂ්‍යයාම අණ කළේය. මම සෙමෙන් පන්තිය සොයාගෙන පිය මැන්නෙමි. නමුදු
ඒ මෙලෙස නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා වූයේ රෝහණ වීරසිංහ බව මා දැන ගත්තේ පසු
කලෙකය. මේ ගීතය අසන සෑම විටෙකම ඒ සිදුවීම සිහිපත් වන්නේ මගේ මුවඟට සිනහවක් ද
නඟමිනි.
මීළඟට මතකයට පිවිසෙන සිදුවීම මගේ ආත්මය බඳු නිසාම මම මෙලෙස සිහිපත් කරමි. වසර නවයක්
ආධුනික ගී ගයා, සිව් වසරක් අත්වැල් ගී ගයා මුලින්ම තනිවම ගීතයක් ගැයීමට අවස්ථාව
හිමි වූයේ ජී. එස්. බී. රාණි පෙරේරා ගීත කෝකිලාවගේ වැඩසටහනකටය. එය ප්‍රබුද්ධ ගී
වැඩසටහනක් වූ අතර ඇය අත වූ කොළයක් රෝහණ වීරසිංහයන් අත තැබුවේ මෙලෙස කියමිනි.
“මල්ලි මූ අද තනිවම ගීයක් කියන්න ඕන. මෙන්න මේක හදලා දීපන්” යැයි කියා ඔහු අත තැබූ
ගීතයට රෝහණ ඉක්මනින් තනුවක් දමා දුන්නේ ක්‍ෂණිකවය. ඒ මා ගැයූ "කරදිය ගැඹුරේ" ගීතය
සඳහායි. එය මගේ පළමු ගීතය වූ අතර එහි තනු නිර්මාණය කළේද රෝහණ වීරසිංහය. එදා පටන්ම
අද දක්වාම එනම් ‘මාරම්බරී’ ප්‍රසංගය දක්වාම ඔහු මා සමඟ ළබැඳි මිතුරෙක් ලෙස මා අසලම
රැඳී සිටියි. ඔහු මට විශේෂය. මගේ ගීත මල්ලෙන් සියයට අසූවක් පමණ තනු නිර්මාණය කර
සංගීත අධ්‍යක්‍ෂණය කර ඇත්තේ රෝහණය. ඔහු නොසිඳෙන තනු උල්පතකි. ඒ නිසාම මේ ගීතය අසන
සෑම මොහොතකම ඒ අතීතය මා සිහිපත් කරන්නේ නිතැතිනි.
තිලානි ශානිකා විතානාච්චි
සේයාරුව - මාලන් කරුණාරත්න
|