වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වික්ටර් වික්‍රමගේ මිය යයි

වික්ටර් වික්‍රමගේ මිය යයි

ප්‍රකට ටවර් හෝල් වේදිකා නාට්‍ය ශිල්පියකු, පැරැණි චිත්‍රපට නළුවකු මෙන්ම ගායකයකු ද වන වික්ටර් වික්‍රමගේ පසුගිය 01 වැනිදා සවස අභාවප්‍රාප්ත විය.

මිය යන විට වයස අවුරුදු හැත්තෑ දෙකක් වූ ඔහු ජනප්‍රිය රංගන ශිල්පී සාලිය සත්‍යජිත්ගේ පියාණන් වේ. වික්ටර් මුල්වරට රංගන දායකත්වය සැපයුවේ බී. එස්. පෙරේරාගේ රොඩී ගම චිත්‍රපටය වෙනුවෙනි. අනතුරුව දෑස නිසා, මඩොල් දූව, පෙම්බර මධූ ආදී චිත්‍රපටවල කැපී පෙනෙන චරිත මැවූ හෙතෙම රෝයි ද සිල්වාගේ කඩවුණු පෙරොන්දුව (නව නිෂ්පාදනය) සිනමාපටයේ වික්ටර් නම් වූ ප්‍රධාන චරිතය මැව්වේය. එසේම එහි සහාය අධ්‍යක්ෂවරයා වූයේ ද වික්ටර්මය. විදුර, ධර්මාශෝක, රොඩී කෙල්ල ඇතුළු නූර්ති රැසක වික්ටර් රංගනයෙන් දායක වී තිබේ. වික්ටර්ගේ පියා ද පැරැණි නූර්ති සහ නාඩගම් ශිල්පියකු වන සිල්වෙස්ටර් මාස්ටර්ය.

වික්ටර්ගේ දේහය කොළඹ කලා භවනට රැගෙන ආ අතර අවසන් කටයුතු ඊයේ 04 වැනි දින සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.