වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මරාති - වංග ජාතීන් එක් කළ සම්රත් - මුඛර්ජි පෙළපත

මරාති - වංග ජාතීන් එක් කළ සම්රත් - මුඛර්ජි පෙළපත

අශෝක් කුමාර්, නූටාන්, තනුජා, කාජල්, රාණි, චොප්රා, ද්ව්ගන් පවුල් මේ ගසේ අතු

සිය වසරකටත් වඩා පැරණි හින්දි සිනමාව අද ලොව පුරා විසිරී සිටින රසික රසිකාවන්ගේ නොමඳ ආදරයට ගෞරවයට පාත්‍රව සිටියි. හින්දි සිනමාව තුළ රංගන තරු අතරේ ඇති ඥාති සබඳකම් ද ඒ තුළ සුවිශේෂ වන්නකි. මුඛර්ජි හා සම්රත් යනු එහි දැවැන්ත ඥාති පවුල් දෙකකි. රතන් බායි ගෙන් ආරම්භව ශෝභනා, නූටාන්, තනුජා දක්වා පැමිණි සම්රත් පවුල තනුජාගේ විවාහයෙන් සුප්‍රසිද්ධ මුඛර්ජි පවුල සමඟින් සම්බන්ධ වේ. මුඛර්ජි පවුලෙන් සිනමාවට එක්වන රාණි මුඛර්ජි නූතන හින්දි සිනමාවේ ජනප්‍රිය තරුවකි. සම්රත් හා මුඛර්ජි පවුල් දෙක එක්වන සන්ධිස්ථානයේ සිටින්නේ කාජල් සහ තනීෂාය. අනූව දශකයේ මුල භාගයේ සිනමාවට ආකර්ෂණය රැගෙන එන කාජල් දේව්ගන් පවුල සමඟින් බැඳේ. සම්රත් - මුඛර්ජි පවුල් ද්විත්වයම ඉන්දීය සිනමාව ආරම්භයේ සිටම මේ දක්වාම එය සමඟින් සුවිශේෂී ලෙසින් බැඳී සිටියි.

ඉන්දීය සිනමාව තුළ සම්රත් පවුලේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ 1940 වසරේදීය. සුරූපී නිළි රතන් බායි සම්රත් පවුලේ මුල්ම සාමාජිකාව වේ. රංගනයට මෙන්ම ඇය බජන් ගීත ගායනයෙහි ද දක්ෂ වූවාය. ඇය වයස අවුරුදු දහස යේදී ආචාර්ය ප්‍රභාකර් ශිලෝත්‍රී සමඟින් විවාහ දිවියට එළඹිණි. පරම්පරා තුනක රංගන තරු බිහි කිරීමේ ගෞරවය ඇයට හිමි වේ. ඇයගේ දියණිය ශෝභනා සමරත් මරාති සිනමාවෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළාය. ඇයගේ මුල් නම සරෝජ් ශිලෝත්‍රි නම් විය. කැමරා ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වූ කුමාර්සෙන් සම්රත් සමග විවාහයෙන් පසු ඇය ශෝභනා සම්රත් නම් වූවාය. ශෝභනාගේ ප්‍රථම හින්දි චිත්‍රපටය වූයේ 1935 වසරේ තිරගත වන  Neigahen Nafrat  චිත්‍රපටයයි. Vilasi Ishwar, Kokila, Vijay Lakshmi වැනි චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ ඇය Hamari Beti සහ Chhabili චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළේ නූටාන් හා තනුජා නම් වූ තම දියණියන් දෙදෙනා ඉන්දීය සිනමාවට හඳුන්වා දෙමිනි.

නූටාන් 1951 වසරේදී සිය රංගන දිවිය ආරම්භ කරන විට ඇයගේ වයස අවුරුදු 14 ක් විය. එදා සිට 1991 වසර දක්වා කාලය තුළ ඇය දායකත්වය ලබා දුන් චිත්‍රපට සංඛ්‍යාව හැත්තෑවකටත් වඩා සංඛ්‍යාවකි. 1955 වසරේදී Seema  හි රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. 1994 වසරේ Insaniyat  චිත්‍රපටියේ රංගනය දක්වාම Sujata Bandini, Milan, Anari, Chhalia, Anuraag  ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වුවාය. නූටාන් පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබූයේ 1974 වසරේදීය.

ජනප්‍රිය නිළි තනුජා මුඛර්ජි ශෝභනාගේ අනෙක් දියණියයි. Baharen Phir Bhi Aayengi, Jewel Thief, Haathi Mere Saathi වැනි චිත්‍රපටවල ඇය ප්‍රේක්ෂකයන් හට අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළාය. එමෙන්ම ඇය පෙරළිකාරයෝ චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑවාය. තනුජා විවාහ වූයේ හින්දි චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ද වූ සශධාර් මුඛර්ජි ගේ සිව්වැනි පුත්‍රයා වූ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමු මුඛර්ජි සමඟිනි. සෝමු ගේ මව සාති රාණි ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ගංගුලි සහෝදරයන් වූ අශෝක් කුමාර්. කිශෝර් කුමාර් සහ අනුප් කුමාර්ගේ සහෝදරියයි. සම්රත් හා මුඛර්ජි පවුල් දෙක සම්බන්ධ කෙරෙන්නේ තනුජා සහ සෝමුගේ විවාහයයි.

තනුජා - සෝමු යුවළගේ වැඩිමහල් දියණිය කාජල් සිය රංගන දිවිය ආරම්භ කරන්නේ 1992 වසරේ  Bekhudi  චිත්‍රපටයෙනි. අනතුරුව වාර්තාගත චිත්‍රපට රැසක් සිය රංගනයෙන් ඔපවත් කළ ඇය විවාහ වූයේ ද බොලිවුඩයේ නිෂ්පාදකවරයකු හා සටන් අධ්‍යක්ෂවරයෙකු වන විරු දේව්ගන්ගේ පුතු අජේ දේව්ගන් සමඟිනි. තනිෂා තනුජාගේ බාල දියණියයි. ඇය ද හින්දි සිනමාවට අමතරව මරාති, බෙංගාලි, තෙළිඟු සහ දෙමළ චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වන්නීය.

ඉන්දීය සිනමාවේ මෙන්ම රූපවාහිනි මාධ්‍යයේ ද ජනප්‍රිය මොනීෂ් භාල් නූටාන්ගේ පුත්‍රයා යි. ඔහු Hum Aapke Hain Kann, Dancer, Bekaraar, Teri Bahon Mein, Krish 3, Jai Ho  ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් එක් වී ඇත. සුබෝද් මුඛර්ජි ද ඉන්දීය සිනමාවට මුඛර්ජි පවුලෙන් සම්බන්ධ වූ අධ්‍යක්ෂවරයෙක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වේ. ඔහු සශධර්ගේ සහෝදරයායි. 1995 වසරේදී Munimji  අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කිරීමෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා ජීවිතය තුළ Paying Guest, Love Marriage, Junglee, Hlta Seedha  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළේය. ජෝයි මුඛර්ජි හා දේබ් මුඛර්ජි සශධාර් මුඛර්ජිගේ පුතුන් දෙදෙනායි. ජෝයි ජනප්‍රිය නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙක් ද වේ. Chailla Babu  ඔහු අවසන් වරට අධ්‍යක්ෂණය කළ සාර්ථකම චිත්‍රපටයයි.

දේබ් මුඛර්ජි ද හින්දි සිනමාවට මුඛර්ජි පවුලෙන් එක් වූ රංගන තරුවකි. 1965 වසරේ  Tuhi Meri Zinagiචිත්‍රපටයෙන් ඇරැඹි ඔහුගේ රංගනය Sambandn, Adhikar, Haiwan, ඇතුළු චිත්‍රපට රැසකට දායක කළේය. අයාන් මුඛර්ජි දේබ් මුඛර්ජිගේ පුත්‍රයායි. 2004 වසරේ සිට සිනමා ක්ෂේත්‍රයට පැමිණි ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූයේ Wake Up Si චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නැඟී එන අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 2013 වසරේ අධ්‍යක්ෂණය කළ Yeh Jawani Hei Deewani  චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට නාම යෝජනා විය. අයාන් ඔහුගේ මීළඟ නිර්මාණය ලෙස සුපිරි වීර කතාවක් රැගත් චිත්‍රපටයක් 2017 වසරේදී තිරගත කිරීමට සූදානම්ව සිටියි.

සශධාර් මුඛර්ජිගේ වැඩිමහල් සහෝදරයා වූ රවීන්ද්‍රමෝහන් මුඛර්ජිගේ පුත් රාම් මුඛර්ජි ඉන්දීය සිනමාවට අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් මෙන්ම තිර රචනයෙන්ද දායක වේ. ඔහුගේ බිරිඳ ක්‍රිෂ්ණා මුඛර්ජිද පසුබිම් ගායිකාවකි. රාම් සහ ක්‍රිෂ්ණා යුවළගේ දියණිය රාණි මුඛර්ජි ජනප්‍රිය බොලිවුඩ් තරුවකි. පසුගිය වසරේදී ඇයගේ විවාහය බොලිවුඩයේ තවත් ප්‍රබල සිනමා පවුලක් සමගින් සිදු කෙරිණි. රාණි විවාහ වූයේ චිත්‍රපට නිෂ්පාදන යාෂ් චොප්රාගේ වැඩිමහල් පුතු ආදිත්‍ය චොප්රා සමගිනි. ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සංස්කරණ ශිල්පියෙකු වන ශ්‍යාම් මුඛර්ජිද සශධාර් මුඛර්ජිගේ පුත්‍රයෙකි. ශර්බානි මුඛර්ජි, සෝමු මුඛර්ජි සහ දේවි මුඛර්ජිගේ සහෝදරයා වූ රොනෝ මුඛර්ජිගේ දියණියයි. 1997 වසරේදී ඕධපඤඥප චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසි ඇය හින්දි චිත්‍රපට මෙන්ම දෙමළ හා මලයාලම් චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වන්නීය. මේ වන විට මුඛර්ජි පවුල ඉන්දීය සිනමාවේ පරම්පරා හතරක් සිය රංගන ප්‍රතිභාව දක්වා තිබේ. කාජල් සහ අජේ යුවළගේ දියණිය හෝ පුතු සිනමාවට පිවිසීමෙන් එය පරම්පරා පහක් දක්වා සම්පූර්ණ වනු ඇත.