වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබාමාගෙන් ෂාරුක් ගැන කතාවක්

ඔබාමාගෙන් ෂාරුක් ගැන කතාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමාගේ ඉන්දීය සංචාරය පසුගිය සතියේ සිදු කෙරුණා. ඒ සංචාරයේදී ජනාධිපති ඔබාමා නවදිල්ලියේ සිරිෆෝට් ශ්‍රවනාගාරයේදී කළ දේශනයට කාගේත් අවධානය යොමු වුණා. ඔහු එම දේශනය ආරම්භ කළේ දිවාලි උත්සවය සිහිපත් කරමින්. තමා සහ බිරිඳ මිචෙල් ඔබාමා ධවල මන්දිරයේදී පසුගිය වසරේ දිවාලි උත්සවය සැමරූ ආකාරය ජනාධිපති ඔබාමා එහිදී ප්‍රකාශ කළා.

ඒ වගේම ඔබාමා මේ දේශනයේදී බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ගැනත් කතා කරන්න අමතක කළේ නැහැ. ඔබාමා ෂාරුක්ගේ රසිකයෙක් බව හැමෝම දැනගත්තේ මේ දේශනය නිසා. එහිදි ජනාධිපති ඔබාමා ෂාරුක් රඟපෑ දිල්වාලේ දුල්හානියා ලේ ජායේගේ චිත්‍රපටයේ දෙබසක් වූ “Senorita, bade bade deshon mein” යන වැකිය සඳහන් කළා. ශක්තිමත් ආගම් බැඳීම හොඳින් දියුණු වන රටක ලක්ෂණයක් බව තමා විශ්වාස කරන බවත් ඉන්දියාවේ දී තමා එය දකින බවත් ඔබාමා සිය කතාවේදී ප්‍රකාශ කළා.

ඒ වගේම මලල ක්‍රීඩක මිල්කා සිං, බොක්සිං ක්‍රීඩිකා මේරි කොම්, නොබෙල් සාම ත්‍යාග ලාභී කලීෂ් සත්‍යකීර්ති වැනි අය වගේම රංගන ක්ෂේත්‍රයේ ෂාරුක් ඛාන් වැනි විශේෂිත පුදගලයන් අගය කළ යුතු බවත් ඔහු පවසා සිටියා. ඒ වුණත් මේ සංචාරයේදි නර්තන අංග දකින්නට නොලැබීම ජනාධිපති ඔබාමාගේ කණගාටුවට ලක් වී තියෙනවා.

අවසානයේදී ඔහු ඒ ගැන සඳහන් කළේ ‘චෙයිය චෙයිය චෙයියා’ වගේ නැටුමක් ෂාරුක් කියලා දෙනවා නම් ආයමත් ඉන්දියාවට එනවා කියලයි. මේ කතාවෙන් අමෙරිකානු ජනාධිපති ඔබාමා නර්තනයට වගේම ෂාරුක් ඛාන්ටත් කෙතරම් තරම් ප්‍රිය කරනවාද කියලා ඉන්දියානුවන් විතරක් නෙවෙයි මුළු ලෝකයම දැන ගත්තා. ඒ විතරක් නෙවෙයි අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ චරිතය නිරූපණය වෙන බොලිඩුඩ් චිත්‍රපටයක රඟපෑ නළුවා වන්නේද ෂාරුක් ඛාන් ය. ඒ My Name is Khan චිත්‍රපටයෙනි.