|
|
ඔස්කාර් පිටුපස Politicsලබන 22 වැනිදා පැවැත්වෙන ලොව අති අත්කර්ෂවත් ඇකඩමි සිනමා උළෙල පිළිබඳ ලියැවෙන පූර්ව සටහන් මාලාව
ලොව ප්‍රධානම සහ ජනප්‍රියතම සිනමා සම්මාන ප්‍රදාමෝත්සවය වන ඔස්කාර් නැතිනම් නිල වශයෙන් ඇකඩමි සම්මාන ලෙස හඳුන්වන විශ්වයේ උත්කර්ෂවත්ම සිනමා සම්මාන උළෙල 87 වන වරටත් මෙම පෙබරවාරි මස 22 වන දින ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් හි, ඩොල්බි රඟහලේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ප්‍රභේද 24 කට සම්මාන ප්‍රධානය කරන මේ විශ්ව සිනමා මංගල්‍යය කරලියේ සිට මෙහෙය වන්නේ ජනප්‍රිය නළුවෙකු වන නීල් පැට්‍රික් හැරිස්ය. ශ්‍රී ලාංකීය නාගරික යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇමරිකානු රූපවාහිනී විකට නාටකයක් වූ හවු අයි මෙට් යුව මදර් හී සැමගේ සිත්ගත් බානී ගේ චරිතයට පණ පෙව්වේ මේ තරුණ නළුවායි. ඔස්කාර් සත්කාරකයා හැටියට ඔහු තෝරා ගැනීමෙන් මතු වුණු තවත් සුවිශේෂී කාරණාවක් තිබෙනවා. නිදහස් මතධාරීන්ගේ තෝතැන්නක් වූ හොලිවුඩ් පුරය ආරම්භයේ සිටම සෑම ජන කොට්ඨාශයකම මානව අයිතිවාසිකම් වෙනුවෙන් කවදත් ඉදිරියෙන්ම හඬ නඟමින් පෙනී සිටියා. එනිසා සම්ප්‍රදායික නැතිනම් ගතානුගතික සමාජයට ආගන්තුක ඇවැතුම් පැවැතුම් ඇති සුළුතරය වෙනුවෙන් පවා ඔවුන් කිිසිදු වෙනස්කමකින් තොරව පෙනී සිටින්නට කිසි දිනක මැලි වුණේ නැහැ. නීල් පැට්‍රික් හැරිස් නම් මේ කඩවසම් තරුණයා විවෘත සමලිංගිකයෙක්. එය ලොවට රහසක් නොවෙයි. පසුගිය අවුරුද්දේ ඔස්කාර් උළෙලේ සත්කාරක චරිතය හෙබ වූයේ එවැනිම විවෘත සමලිංගික කාන්තාවක් වන එලන් ඩිජෙනර්ස්. එම නිසා ඔස්කාර් සම්මාන උළෙලවල් පිට පිට දෙවතාවක්ම සත්කාරකත්වය විවෘත සමලිංගික පුද්ගලයන් දෙදෙනෙකුට පැවරීම ඇකඩමි සම්මාන ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවක්. එය ස්වාධීන මතධාරී හොලිවුඩයේ දේශපාලනික (පොලිටිකල් කැරැක්ට්) නව රැල්ලේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයකි. වර්තමාන ලෝකයේ හැම දෙයක් මෙන්ම ඔස්කාර් සම්මාන උළෙලත් දේශපාලනීකරණය වී තිබෙනවා. එයින් අදහස් කරන්නේ එයට යම් කිසි රජයක බලපෑමක් ඇති බව නෙවෙයි. සම්මාන ලබාදීමේදි ගුණාත්මකභාවය අභිබවා වෙනත් සාධක මුල් වෙන බව පසුගිය දශකය තුළ ඔස්කාර් සම්මාන ඉතිහාසය සියුම්ව පිරික්සා බැලුවොත් වැටහේවි. බොහෝ විට හොඳම චිත්‍රපට ලෙස සම්මාන දිනුවේ තිරගත වූ වඩාත්ම හොඳ චිත්‍රපටය නොවෙන බවත්, දේශපාලනිකව නිදොස්භාවය සුරකින්නට සහ ජනප්‍රිය මතය උත්කර්ෂවත් කරන්නට ඇකඩමි සාමාජිකයන් වැඩි අවධානයක් යොමු කර අති බව සම්මානලාභී චිත්‍රපට දෙස විමර්ශනාත්මකව බැලූ කළ ඉතාමත් විනිවිද ලෙස විද්‍යාමාන වෙනවා. උදාහරණ ලෙස 2014 හොඳම චිත්‍රපටය ටිවෙල්ව් ඉයර්ස් අ ස්ලේව්. කළු ජාතිකයන්ට ඉතිහාසය පුරාවට ඇමරිකානු සමාජය තුළ සිදුවුණු අසාධාරණයට, හොලිවුඩයට ඇත්තේ ඉතාමත් සානුකම්පාවක්. ඔවුන් කෙතරම් දුරට එයට සංවේදී වෙනවාදැයි කිවහොත්, තමන් එම අසාධාරණයේ කොටස්කරුවන් බවත්, එය කෙතරම් උත්සාහ කරත් නිවැරැදි කර ගත නොහැකි වරදක් යන මතයක් ඔවුන්ගේ සිත තුළට ගැඹුරු ලෙස කිඳා බැස තිබෙනවා. රඩියාඩ් කිප්ලින්ගේ කවියකින් බිහිවුණු වයිට් මෑන්ස් බර්ඩන් නැතිනම් සුදු මිනිසාගේ කාර්යභාරය යන සංකල්පය බටහිර සමාජය තුළ ස්ථාපිත වී තිබෙන්නේත් සුදු ජාතිකයින් විසින් ශත වර්ෂ ගණනාවක් කළු ජාතිකයින් පෙලීමේ වරදට වන්දි ගෙවීම වගකීමක් ඇති වී තිබෙන බවට පොදු පිළිගැනීමක් ඇති කරමිනි. එය සුදු ජාතිකයින් අභිබවනය කරන හොලිවුඩයටත් පොදුයි. කළු ජාතිකයින්ට සිදු වූ අසාධාරණයන්ට, වහල්භාවයට එරෙහිව තැනූ චිත්‍රපටයක් ඔසවා තැබීමෙන්, එය අගැයීමකට ලක් කිරීමෙන් ශත වර්ෂ ගණනාවක පව් යම් ප්‍රමාණයකට සමා කළ හැකි යයි තාවකාලිකව හෝ සැනසීමක් ලැබීමට ඔවුන් උත්සාහ කරනවා. ඊට අමතරව මෙහි අධ්‍යක්ෂවරයා බ්‍රිතාන්‍ය කළු ජාතිකයෙක් වන ස්ටීව් මැක්වීන් ඔස්කාර් ඉතිහාසයේ හොඳම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සමත් වූ ප්‍රථම කළු ජාතිකයා ලෙසට ඔහු ඉතිහාසයට එක් වුණා. ඉතින් හොලිවුඩයට මේ කාරණා දෙකම හොඳටම ප්‍රමාණවත් වුණා මේ වහල්භාවය මුල් කරගෙන තැනූ චිත්‍රපටය වසරේ හොඳම නිර්මාණය ලෙස කිරුළු පලඳවන්නට. 2013 ආර්ගෝ වර්තමානයේ ඇමරිකාවේ තිබෙන ජනපි‍්‍රය ඉස්ලාම් විරෝ්ධී රැල්ල මුල් කරගෙන ඔවුන් බිල්ලෙක් ලෙස හඳුනාගෙන සිටින ඉස්ලාමීය ජන රජයක් වූ ඉරානයේ දොස් නිරූපණය කරන (සත්‍ය කතාවක් ඇසුරෙන් තැනුණු) චිත්‍රපටයකට හොඳම චිත්‍රපටය ලෙස සම්මාන පුදන්නට ලැබුණු අවස්ථාව ඔවුන් එක පයින් ලබා ගත්තේ එම සම්මානය නිවේදනය කිරීමට ධවල මන්දිරයේ සිට සජීවීව ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා ද හවුල් කර ගනිමිනි. 2011 කින්ග්ස් ස්පීච් හොලිවුඩය අතීතයේ සිටම බ්‍රිතාන්‍ය සිනමාවට මහත් ලොල් බවක් දැරුවා. එම නිසා සැලකිය යුතු බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් බිහි වූ සැනින් එයට නිර්දේශ ගොන්නක් ලබා දෙන්නත් සම්මාන පුද දෙන්නටත් ඔවුන් මැලි වෙන්නේ නැහැ. එම නිසා ඔබ ඉතිහාසය පිරික්සා බැලුවොත් බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ පිනෙන් අගැයීමට ලක් වූ චිත්‍රපට බොහොමයක් හඳුනා ගත හැකිය. මෙයත් එවැනි අවස්ථාවකි. රජෙකුගේ ගොත ගැසීමක් ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් ලෙස උත්කර්ෂවත් කරමින් නිපැදවූණු මේ චිත්‍රපටයටත් එවැනි නුසුදුසු පිළිගැනීමක් ලැබුණේ ඒ හේතුවෙන්. 2010 හර්ට් ලොකර් හොලිවුඩයේ නිදහස් මතධාරීන් ඉතිහාසය පුරාවටම යුද විරෝධියි. ඔවුන් ජෝර්ජ් බුෂ්ගේ ඉරාක යද්ධය පටන් ගත් දා සිට දරුණු විවේචනයට ලක් කළා. ඉතින් ඉරාක යුද්ධය පදනම් කරගෙන යුද විරෝධී චිත්‍රපටයක් තැනුණු සැනින් ඔවුන් එයට කිරුළු පළඳවන්නට යුහුසුළු වූහ. ඊට අමතරව එය ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා ඉතිහාසයේ ප්‍රථම වරට චිත්‍රපට අධ්‍යක්ෂවරියකට හොඳම අධ්‍යක්ෂණය සම්මානය ලබා දෙන්නත්. ඉතින් සම සමාජයක් සඳහා සැමදා පෙනී සිටින හොලිවුඩයට තවත් හේතු මොකටද? හර්ට් ලොකර් ඉතාමත් සාමාන්‍ය චිත්‍රපටයක් වුවත් වසරේ හොඳම සිනමා නිර්මාණය බවට පත් වූවා.
ඉතාමත් අභව්‍ය කතාවකි. බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වූ නිසාවෙනුත්, තුන්වන ලෝකය අපායක් ලෙස නිරූපණය කළ නිසාවෙනුත් කුඩා දරුවන් අසූචි වලවල්වලට වැටීම වැනි දියුණු බටහිරට ආගන්තුක විනෝදාත්මක ජවනිකාවලින් පිරිපුන් බැවිනුත් එයත් නිර්දේශ ලැබ සියළුම සම්මාන ඩැහැ ගත්තේ හොලිවුඩයේ ආශිර්වාදය නොමඳව ලැබූ බැවිනි. ඉතින් ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලැබීමට ගුණාත්මකභාවය පමණක් ප්‍රමාණවත් නොවන බවට ඉහත උදාහරණ හැර තවත් මොනවාද? එම කාරණාවන් සිතේ ධාරණය කරගෙන අපි දැන් 2014, 87 වන ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ගතය දෙසට හැරෙමු. මෙවර වැඩිම නිර්දේශ ගණනක් දිනා ගැනීමට බර්ඩ්මෑන් (සම්මාන 9) සහ ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටේල් සමත් වී තිබෙනවා. දෙවැනියාට නිර්දේශ 8 ක් සමඟ ද ඉම්ටේෂන් ගේම් ද, තෙවන ස්ථානයට නිර්දේශ 6 බැගින් ලබා ගෙන ඇමරිකන් ස්නයිපර් සහ බෝයිහුඩ් චිත්‍රපට පත් වී තිබෙනවා. සිනමාලෝලී ඔබට කණගාටුවෙන් හෝ මතක් කළ යුතුම කාරණයක් වන්නේ මේ වසරත් ඇතුළුව පසුගිය වසර පහ තුළ ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටයට නිර්දේශ වුණ චිත්‍රපට ගණන 45 කි. එහෙත් ශ්‍රී ලංකාවේ අපිට සිනමා ශාලාවක නරඹන්නට හැකි වූයේ ඉන් එකක් පමණයි. එය නම් හියුගෝ. අපේ අවාසනාවට එම චිත්‍රපට 45 න් 44 ක්ම ශ්‍රී ලංකාවේ තිරගත වූයේ නැහැ. රෝඩ් ටු ඔස්කාර්ස් විශේෂාංගය මඟින් මෙවර උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයට නිර්දේශ වූ චිත්‍රපට 8 පිළිබඳව හැඳින්විමක් මා ඔබට ගෙන එන්නේ එම චිත්‍රපටවලට සම්බන්ධ ශිල්පීන්, එම නිර්මාණ පසුබිම, නිෂ්පාදනයට අදාළ කරුණු සහ මෙවර ඔස්කාර් සම්මාන දිනා ගැනීමේ සම්භාවිතා පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් ඇති කර ගැනීමට උපකාර වි හැකි කරුණු පෙරදැරිවයි. එම චිත්‍රපට නම 1. ඇමරිකන් ස්නයිපර් 2. බර්ඩ්මෑන් 3. බෝයිහුඩ් 4. ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල් 5. ද ඉම්ටේෂන් ගේම් 6. සෙල්මා 7. ද තියරි ඔෆ් එච්රිතින්ග් 8. විප්ලෑෂ් මේ චිත්‍රපට 8 න් 4 ක්ම සත්‍ය කතාවන් ඇසුරෙන් සැබෑ චරිත ආශ්‍රයෙන් ගොඩ නැගුණු ඒවා වීමත් සැලකිල්ලට ලක් විය යුතු කාරණයක්. අපි මුලන්ම ඇමරිකන් ස්නයිපර් වෙත හැරෙමු. ක්ලින්ට් ඊස්ට්වුඩ් යනු පෘතුවියම පොදුවේ ගත් කළ, චාලි චැප්ලින්, ෂොන් කොනරි, බෲස් ලී යන නළුවන් තරමටම ප්‍රේක්ෂකයන්ගේ මනසේ ස්ථාපිත වී ඇති නළු පෞරුෂයකි. චාලි චැප්ලින් ගේ විකට චරිතයත්, ෂෝන් කොනරි ගේ ජේම්ස් බොන්ඩ් රහස් ඔත්තුකරුගේ චරිතයත්, බෲස්ලී නම් සටන් නළුවාත් තරමටම ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ කව්බෝයි වීර චරිතයත් ලොව පුර ඒ හා සමානව ප්‍රසිද්ධයි. හොලිවුඩයේ් දශක 5 කටත් වඩා දිදුලමින් වැජඹෙන තරුවක් වන ක්ලින්ට් ගැන ඔබ බොහෝ දෙනෙකු නොදන්නා ඉතාමත් වැදගත් කරුණක් තිබෙනවා. එය නම් ඔහු ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ද වෙන බවයි. ලොව ශ්‍රේෂ්ඨතම සිනමා අධ්‍යක්ෂවරුන්ගේ නම් ගොන්නට ඔහු අවිවාදයෙන් ඇතුළත් වෙන්නේ සිනමා නිර්මාපකයෙකු ලෙස ඔහු විදහා පෑ නිර්මාණ කෞෂල්‍ය නිසාවෙනි. අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුට හිමි කිර්තිය ඔහුගේම සුවිසල් රංගධර පෞරුෂයට යටපත් වෙන බැවින් ජනප්‍රිය සංස්කෘතිය තුළ ඔහුගේ එම කුසලතාවය අගැයීමකට ලක් වන්නේ කලාතුරකිනි. ද අන්ෆොගිවන් සහ මිලියන් ඩොලර් බේබි චිිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයාට හිමි ඔස්කාර් සම්මානය 2 වරක් දිනා ගත් ඔහු චිත්‍රපට 30 කට වැඩි ප්‍රමාණයක් තැනූ අතර, සම්මානනීය චිත්‍රපට රැසක් එම නම් ලැයිස්තුවට ඇතුළත් වෙනවා. ඊස්ට්වුඩ් ගේ අගය වැඩිවන තවත් කාරණයක් වන්නේ, අති දැවැන්ත පිරිවැය දරා නිපැයුම් කරන හොලිවුඩයේ, ඉතා සකසුරුවම් ලෙස අවම පිරිවැයකින් ගුණාත්මක ලාභ උපයා දෙන චිත්‍රපට නිර්මාණය කිරීමට ඔහුගේ ඇති හැකියාවයි. හොලිවුඩයේ නිර්මාණවලට සමානව වටිනාකමක් ප්‍රදර්ශන ව්‍යාපාරයට (ෂෝ බිස්නස්) වැයවෙන බැවින්, චිත්‍රාගාර විධායකයින් පිනවීමට, සුපිරි නළු නිළියන්ගේ මනදොල සපුරන්නට නිෂ්පාදනයට එකතු වෙන අනවශ්‍ය පිරිවැය අසීමිතයි. එවැනි වාතාවරණයන් යටතේත් තමන් ගැන අධිතක්සේරුවෙන් ඉවක් බවක් නොමැතිව වියදම් කරමින් දැවැන්ත නිෂ්පාදන කරන අධ්‍යක්ෂවරුන්ගෙනුත් හොලිවුඩයට අඩුවක් නැහැ. සමහර රටවල නිෂ්පාදකයන් නැති බංග කරන අධ්‍යක්ෂවරුන් සුලභ මෙන්ම හොලිවුඩයේත් චිත්‍රාගාර බංකොලොත් කරන අධ්‍යක්ෂවරුන් එමට සිටිනවා. ඉතින් එහෙම ක්ෂෙත්‍රයක, අති දැවැන්තයෙකු වුණ ද, නිහතමානීව, නිෂ්පාදකයාත් බේරා ගෙන, ප්‍රේක්ෂකයාටත් නොමඳව රස විඳිය හැකි හොඳ චිත්‍රපට රැල්ලක් බිහි කිරීමෙන් ඊස්ටවුඩ් වර්තමාන හොලිවුඩයේ තරුණ මදයන්ට අමිල ආදර්ශයක් සපයා තිබෙනවා. දැනට වයස අවුරුදු 84 ක් වන නමුදු, වයස 24 ක තරුණ ගැටයෙකු ගේ ජවයෙන් පිරිපුන් ඊස්ට්වුඩ් නිර්මාණ හැකියාවෙන් නම් වයසට නොයන බව ඔහුගේ නවතම නිර්මාණය වූ ඇමරිකන් ස්නයිපර් චිත්‍රපටය නරඹන ඔබට වැටහේවි. මෙහි ප්‍රධාන චරිතය මෑත කාලයේ හැන්ග්ඕවර් විකට චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ නමුත් ඩේවිඩ් ඕ රසල්ගේ චිත්‍රපට තුළින් (ඇමරිකන් හස්ල්, සිල්වර් ලයිනින්ග්ස් ප්ලේබුක්) තමන් ප්‍රතිභා සම්පන්න නළුවෙකු බව මැනවින් පිළිබිඹු කළ දැනට ලොව ආදායම් සහ ජනප්‍රියතාව අතින් හිනිපෙත්තටම ලං වූ බ්‍රැඩ්ලි කූපර්ය. ඇමරිකානු හමුදා ඉතිහාසයේ දක්ෂතම වෙඩි තබන්නා වූ ක්‍රිස් කයිල්ගේ යුද අත්දැකීම් ඇසුරෙන් මෙම චිත්‍රපටය ගොඩනැගී තිබෙනවා. ඔහු සැඟ වී සිට ඉලක්කයට වෙඩි තැබීමෙන් (ස්නයිපර්) සතුරන් 255 ක් (ඉන් ඝාතන 160 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් නිල වශයෙන් සහතික කර තිබෙනවා) මරා දැමූ අත්දැකීම් (පසුගිය ඉරාක යුද සමයේ) මෙ චිත්‍රපටයට පාදක වී තිබෙනවා. රට පුරා තිරගත කිරීනේ පසු පළවෙනි සති දෙක තුළ පමණක් ඇ. ඩො. මිලියන 200 ඉක්මවා ඇමරිකාව තුළ පමණක් ආදායම් ලබන්න සමත් වූ මෙම චිත්‍රපටය ජේම්ස් කැමරන්ගේ අවතාර් චිත්‍රපටයට පසු වැඩිම ජනවාරි මස වැඩිම ආදායම් ලාභී චිත්‍රපටය ලෙස වාර්තා තබන්නට සමත් වී තිබෙනවා. ඊස්ට්වුඩ් ගේ සිනමා අධ්‍යක්‍ෂ දිවියේත් වැඩිම ආදායම ලැබූ චිත්‍රපටය බවට ඇමරිකන් ස්නයිපර් දැනටමත් පත් වී තිබෙනවා. මෙම චිත්‍රපටය සිනමාත්මක කෝණයකින් බැලූ කල විශිෂ්ට නිර්මාණයක් ලෙස පොදුවේ පිළිගැණෙන නමුදු එහි අන්තර්ගතය සම්බන්ධයෙන් නම් ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාර, නූතන වාග් විද්‍යාවේ පියා ලෙස සැලකෙන මහාචාර්ය නෝමි චොමිස්කි පවා නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කොලමක් ලියමින් මෙම චිත්‍රපටයෙන් ගම්‍ය වන පණිවිඩිය සහ එය උත්කර්ෂවත් කිරීමට මාධ්‍යය මඟින් ලැබෙන සහයෝගය ගැන විවේචනය කළේ, ඝාතකයකු වන්දනාව ඇමෙරිකානුවන්ගේ ආකල්ප ගැන ලොවට ගෙන යන පණිවිඩය අසුබදායී බව පවසමිනි. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි ස්වදේශානුරාගී, ජාතිහිතෛෂී චිත්‍රපටයක් ලෙස අමෙරිකානුවන් අද දින වැලඳගන්නා මෙම චිත්‍රපටය මිනී මැරීමේ ශූරයකු සැමරීම ආශ්වාදජනක ක්‍රියාවක් බවට පත්කළ භයානක සංසිද්ධියක් යැයි ඔහු තව දුරටත් පවසා සිටියා. නිදහස් මතධාරීන් ගෙන් (ලිබරල්ස්) පිරිච්ච හොලිවුඩයේ, සාම්ප්‍රදායික සුළුතරයකුත් සිටිනවා. ඊස්ට්වුඩ් එම සුළුතරය නියෝජනය කරන දැවැන්ත චරිතයක් බැවිනුත්, (මීට පෙර චාල්ටන් හෙස්ටන් එම සාම්ප්‍රදායික මතම නියෝජනය කරමින් සිටියා) ඔහු රාජ්‍ය තාන්ත්‍රිකවට වඩා යුද්ධයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට වඩා කැමැති අමෙරිකානු සුළුතරයේ නියෝජිතයකු බැවිනුත්, වර්තමානයේ දැඩි විවේචනයට ලක්වන අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන සංශෝධනය (සෑම පුරවැසියකුටම ආයුධ දැරීමේ අයිතිය) වෙනුවෙන් පෙනී සිටින්නකු බැවිනුත්, මීට කලින් සුපිරි හොලිවුඩ් නළු චාල්ටන් හෙස්ටන් (බෙන්හර්, ටෙන් කමාන්ඩ්මන්ට්ස්, ප්ලැනට් ඔෆ් ද එප්ස්) සභාපතිත්වය දැරූ ජාතික රයිෆල් සංගමය (නැෂනල් රයිෆල් ඇසෝසියේෂන්) අනුමත කරන්නෙකුත් බැවින් ඔහුගේ අනුග්‍රහයෙන් එවැනි අන්තර්ගතයක් මුල් කරගෙන ජනපි‍්‍රය රැල්ලේ චිත්‍රපටයක් බිහිවීමත් පුදුමයට කාරණයක් නොවෙයි. නමුත් ඉස්ලාම් විරෝධී, යුදකාමී, අමෙරිකානු ප්‍රධාන සමාජ ප්‍රවාහයට ඉරාක යුද්ධයත් සම්බන්ධ කරමින් විජයග්‍රාහී මානසිකත්වයක් ඇති කරවන මේ චිත්‍රපටයට නිදහස් මතධාරී යුද විරෝධී හොලිවුඩය කෙසේ ප්‍රතිචාර දක්වයි දැයි අපට පෙබරවාරි 22 වෙනිදා දැක බලා ගන්නට පුළුවන්.
ලබන සතියට |



2009 ස්ලම්ඩෝග් මිලියනයර්