වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සුරේන්ද්‍රගේ උපන් දිනය දා අලුත් කොණ්ඩා මෝස්තරයක්

සුරේන්ද්‍රගේ උපන් දිනය දා අලුත් කොණ්ඩා මෝස්තරයක්

වෙලාව සවස හය පමණ වන්නට ඇත. වාහන තදබදය අතරේ වැහිකළුවක පෙරමඟ සලකුණු ද පහළව තිබේ. ඉක්මනින්ම යා යුතු වුව ද අපට රිසි සේ යාමට වාහන තදබදය ඉඩ නොදෙයි.

අප ගමන් ගන්නේ හලාවත බලාය. මාධ්‍ය නඩයේ සිව් දෙනෙකි.

විවිධ පුවත්පත්වල පිරිස් මේ ගමන ඇරැඹුවේ හිතවතකුගේ ආරාධනයකට අනුවය.

හිතවතා මුළු රටම හඳුනන සුරේන්ද්‍ර පෙරේරාය.

අද (2013. 09. 30) ඔහුගේ උපන් දිනයයි. ලද ඇරැයුම අනුව අපි හලාවත බලා ගමනේය.

‘එහෙට යද්දි දහයවත් වෙයි’

කෙනෙකු පවසන්නේ ඉදිරි අසුනෙන් වාහන තදබදය දෙස බලමිනි. ක්‍රමයෙන් රථය ඇදෙන්නේ හලාවත දෙසටය. නම පුරුදු ගම් පසු කරමින් අප නඩය රැගත් රථය වේගයෙන් ඉදිරියට ඇදෙයි.

පුවත්පත් පිළිබඳත්, පෞද්ගලික කරුණු කාරණා ගැනත් කතාබහ ගමන පිළිබඳ විඩාව මඟ හරවයි.

රාත්‍රී නවය පසු වී විනාඩි තිහක් පමණ වෙද්දී හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනය අසලට යාගත හැකි වූයේ ගමනේ අඩක් අවසන් කරමිනි. දැන් අපි බලාපොරොත්තු වූ තැනට පැමිණ සිටියි.

‘සුරේන්ද්‍රගේ පාර්ටි එක තියෙන්නේ මෙතනද?’

අපේ සගයකු පැනය අසන්නේ කළුවරේ සිටි පිරිසකගෙනි.

‘ඔව්, ඔව්’

‘මෙතනින් ඇතුළට යන්න . . .’

කළුව අතරේ ඒ නඩයේ සිටි අයකු අපට මඟ පැහැදිලි කරයි.

රථයෙන් බැස ඉදිරියට යා හැකි වූයේ අඩි දෙක තුනකි.

‘හලෝ මගේ යාළුවො ටික ආවද?’

අප පිළිගත්තේ කවදත් හිතවත් අව්‍යාජ මිතුරු සුරේන්ද්‍රය.

‘පොඩි පාර්ටි එකක් තියෙනවා. අපේ මිත්‍රයෝ ටික තමයි ඔක්කොම ඉන්නේ. වෙන කවුරුවත් නෑ. ගමේ යාළුවො ටික තමයි එකතු වුණේ’

සුරේන්ද්‍ර කතා බහ අතරේ අප කැඳවාගෙන යයි. දැන් රාත්‍රී දහයට ළඟය.

එක්වරම හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනයේ ශාලාව අඩ අඳුරෙන් වැසී ගියේ කෙනකුගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

උපන් දින කැමරා අඩ අඳුර මැදින් ශාලාවට පැමිණියේ සිනා සපිරි මුව මඬල සරසා ගත් සුරේන්ද්‍රය.

පළාත දෙවනත් කරවන රතිඤ්ඤා හඬ දැන් හරේන්ද්‍ර කොරයා කීඩාංගනයෙන් දසත විසිරෙයි. ඒ සුරේන්ද්‍රගේ මිතුරන්ගේ සැලසුමකි.

සුරේන්ද්‍ර ශාලාවට පය තබනවාත් සමඟම මිතුරන් එක්ව රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් දැල් වූයේ තම සහෘදයාගේ උපන් දිනයේ සතුට උපරිමව භුක්ති විඳිමිනි.

වෙනස්ම කොන්ඩා විලාසිතාවකින් හැඩවුණු සුරේන්ද්‍ර මිතුරන් පිරිවරා ඊළඟ මොහොතේ පැමිණියේ අතිශය ආකර්ශණීය කේක් ගෙඩිය තැබූ මේසය වෙතටය.

දැන් උපන්දින සාදයේ උච්චතම අවස්ථාවයි. සැවොම එක්ව කේක් ගෙඩිය කපන මොහොතේ සිරිය විඳ ගැනීමේ බලාපොරොත්තුවෙනි.

විදුලි පහන් නිවා දැමූ ශාලාව එකලු කරමින් ඉටි පහන් දැල් වූ සුරේන්ද්‍ර කේක් ගෙඩිය කපා සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කළේ ජය ඝෝෂා මැදය.

හිටි හැටියේම පහත් වූ හිම වැස්ස සුරේන්ද්‍රට අනපේක්ෂිත පුවතකි. සුරේන්ද්‍රගේ කොණ්ඩා විලාසිතාවට තවත් විලාසිතාවක් එක්කරලමින් කෘත්‍රිම හිම ඔහු තෙමා දැමුවේ නිමේශයකිනි.

සව්දිය පුරන්නට දැන් වෙලාවයි. ෂැම්පේන් බෝතලය සොලවමින් උන් මිතුරා බලාපොරොත්තු වූයේ සුරේන්ද්‍ර නැහැවීමටය.

ඔහු අල්ලන විට ෂැම්පේන් බෝතලය සොලවා සුරේන්ද්‍රගේ දෙසට යොමු කළේය.

නමුදු ෂැම්පේන් බෝතලය වතුර සේ ගලා ගියේ සැවොම සිනාවේ ගිල්වමිනි. මිතුරන්ගේ ඒ ආදරණිය උගුලෙන් සුරේන්ද්‍ර බේරුණේය.

දැන් සාදයේ ආරම්භයයි. එදා සුරේන්ද්‍ර සමග සිටි මිතුරන් සියල්ල මේ සාදයට පැමිණ සිටියි.

මිතුරන්ගේ ආදරය මැද සුරෙන්ද්‍ර සියලු දෙනා සමඟ කතාබහේය. නර්තනය, සතුට මැද හෝරා ගෙවී යයි.

‘මේ තමයි චතු මාත් එක්ක හිටපු පිරිස. මේ අය තමයි මාව මෙතන්ට තිබ්බේ. ඒ අය මගේ සතුටේදී ඉන්නම ඕනේ’

සුරේන්ද්‍ර පවසන්නේ නිහතමානීවය.

ඉතා චාම්, සුන්දර හැන්දෑවක සුරේන්ද්‍ර තවත් පරිණත අයකු බවට පත්වන්නේය. හෙට දවස ඔහු තමාගේ නිර්මාණවලින් ද අප සනසනු නියතය.

සුරේන්ද්‍ර,

ඔබට සුබම සුබ උපන් දිනයක්!