වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

* රාසි අන්වර් රඟපෑවේ චිත්‍රපට සුළු සංඛ්‍යාවක වුව ද, ඒ සෑම රඟපෑමක්ම අපේ මතකයෙහි රැෙඳන්නේ නිතැතිනි. ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නැත්තේ ඇයි? ඔහු විදේශ රටක පදිංචියටවත් ගිහින්ද?

ජානක ඉලුක්කුඹුර – කඩවත

රාසි අන්වර් රඟපෑවේ සුළු චරිත නොවේ. ඔහු ‘ජනේලය’ චිත්‍රපටයේ හා ‘සාවිත්‍රිගේ රාත්‍රිය’ චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රධාන චරිතයි. ඒ වගේම මෑත කාලයේ නම් ඔහුගේ රංගනය අප දුටුවේ නැත. ඔහු ගැන කිසිදු තොරතුරක් ද දැනගන්නට නොලැබුණි. ඔහු පිළිබඳ දන්න කෙනෙක් වේ නම් ඒ පිළිබඳ අපට දන්වන්නේ නම් අපි ඔහුට ඉතා කෘතඥ වෙමු.

* දක්ෂ, ජනප්‍රිය හඬ කැවීම් ශිල්පියකු හා ක්‍රිකට් විස්තර නිවේදකයකු වන කමල් දේශප්‍රියගේ රංගනය පිළිබඳ ඔබ දරන්නේ කුමන මතයක්ද?

ලක්ෂ්මන් රණසිංහ – වත්තල

ඔහු දක්ෂ කුමන දෑ සඳහා දැයි ඔබම පවසා තිබේ. ‘ලොවේ එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කවියෙහි පදය ඔබ අසා ඇතැයි මම සිතමි.

* මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ලිපිනය පළ කළ හැකිද?

ශ්‍රියා පළිහවඩන - තෙලිජ්ජවිල

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ලිපිනය වන්නේ 194/3, ආරණ්‍ය වාසය, සමගි මාවත, කහපොළ, මඩපාත.

* අද විකාශය වන ටෙලි නාට්‍ය සිරකාරයන්ට පෙන් වූවහොත් ඔවුන්ට මොනවා හිතෙනු ඇත්ද?

චාමර හේමන්ත – පිළියන්දල

මරණීය දණ්ඩනය යහපත් බව ඔවුන්ට සිතෙනු නියතය.

* රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල සහ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල දෙපළ සොහොයුරියන්ද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව

ඔවුන් සොහොයුරියන් නොවේ.

* අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතා අවසන් වරට යුග ගීත ගායනා කළ ගායන ශිල්පිනිය කවුරුන්ද?

පී. වයි. අනුලාවතී – අවිස්සාවේල්ල

ඒ ලතා වල්පොල ගීත කෝකිලාවිය සමඟයි.

* වසර පනහක පමණ මගේ මතකය විමසා බලද්දී අතීතයේදී ද නළු - නිළියෝ දේශපාලනය කළ බව මට මතකය. වර්තමානයේ එසේ දේශපාලනය කරන ශිල්පීන් හා ශිල්පිනියන්ට ‘කඩේ යනවා’ යැයි පැවසීම මට නොතේරෙයි. ඔබේ අදහස කුමක්ද?

සරත් විජයානන්ද – රඹුක්කන

එය නොතේරේ නම් එසේ සිටීම වඩා යහපත්ය. ‘කඩේ යනවා’ යැයි අනුන්ට අපහාස කරන සැවොම කඩේ යන්නට ආසයි. ප්‍රශ්නය නම් කඩේ යන්නට වටිනාකමක් හා විශ්වාසයක් තිබිය යුතු වීමය. ‘කඩේ යනවා’ යැයි චෝදනා කරන සමහරු හිරිකිතයක් නැතිව මස්, මාංශ, වැසිකිලි පවිත්‍ර කාරක ජාති පිළිබඳ නිර්මාණය කරන දැන්වීම්වලට ‘කඩේ යනවා’ අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.

* සම්මානනීය හිංදි චිත්‍රපටයක් වූ ‘මදර් ඉන්දියා’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීත රචනා කර ඇත්තේ කිනම් රචකයෙක්ද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

එහි ගීත සියල්ලම රචනා කළේ ශකිල් බදයානුයි.

* පහත සඳහන් සිනමාහල් වර්තමානයේ ක්‍රියාත්මකව පවතීද? මරදානේ – නිව් ඔලිම්පියා, කොටහේනේ – කිංස්ලි සහ කැපිටෝල්, කොම්පඤ්ඤවීදියේ - නවා සහ රියෝ, මට්ටක්කුලියේ රෝයල් ජයශිලි, කඳානේ – ජූඩ්.

යැශී ජයසිංහ – මහනුවර

ඒ අතරින් කොම්පඤ්ඤවීදියේ – නවා, මට්ටක්කුලියේ රෝයල් ජයශීලි, කඳානේ – ජූඩ් යන සිනමාහල් අද ක්‍රියාත්මක නොවේ.

* මුල්වරට ජාත්‍යන්තර චිත්‍රපටයකට සම්බන්ධ වූ අපේ සිංහල සිනමාවේ මුල්ම නළුවා හෝ නිළිය කවුද?

ප්‍රේමසිරි නාරසිංහ – මාතර

ලංකාවේ මුල්ම විදේශීය චිත්‍රපටයකට සම්බන්ධ වූ නිළිය වන්නේ මීරියම් ගුණතිලකයි. ඒ කැරොල් රීඩ්ගේ ‘අවුට් කාස්ට් ඔෆ් දි අයිලන්ඩ්’ චිත්‍රපටය සඳහායි.

* සිංහල සිනමාවේ වැඩිපුරම ගීත ප්‍රමාණයක් අඩංගු චිත්‍රපටය වන්නේ’සැඩ සුලං’ චිත්‍රපටය ද? මාතලන් චිත්‍රපටයද? ගීත සංඛ්‍යාව කොපමණද?

දයානන්ද සිල්වා - හික්කඩුව

‘සැඩ සුළං’ හා ‘දේව සුන්දරී’ යන චිත්‍රපට ලංකාවේ වැඩිම ගීත ප්‍රමාණයක් අඩංගු චිත්‍රපට බව සඳහන් කළ හැකිය. ඇතුළත් ගීත සංඛ්‍යාව වන්නේ දහ අටකි.

* ‘ෆෝල් ඔෆ් රෝමන් එම්පයර්’ චිත්‍රපටය පිළිබඳ විස්තරයක් කියනවාද?

අයිලින් සෝවිස් - රාගම

මේ චිත්‍රපටය 1964 වරසයේදී ඇන්තනී මාන් නිර්මාණය කරන ලද්දකි. සමහර විචාරකයන් හොඳ චිත්‍රපටයක් ලෙස සැලකුව ද ‘ෆෝල් ඔෆ් රෝමන් එම්පයර්’ වානිජ වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් විය. සොෆියා ලොරේන්, ඇලෙක් ගිනස්, ජේම්ස් මේෂන්, ස්ටෙපන් බොයිඩි, ක්‍රිස්ටෝෆර් ප්ලමර්, ඕමාරි ෂෙරීෆ් ආදී නළු - නිළියෝ චරිත මැවූ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සැමුවෙල් බ්‍රොන්ස්ටන්ය. ක්‍රි. ව. 2 වන සියවසේ රෝම අධිරාජ්‍යය පසුබිම කරගෙන තැනුණු ‘ෆෝල් ඔෆ් රෝමන් එම්පයර්’ චිත්‍රපටය සඳහා පාදක වනුයේ හැරී විටින්ටන් රචනා කළ නවකතාවකි.

* බොලිවුඩ් සිනමාවේ තවමත් සුන්දර සිනහව හිමි මධුරි ඩික්සිත්ගේ සිනමා ආගමනය හා ඈ රඟපෑ මුල්ම චිත්‍රපටය කුමක්ද?

චතුරංග සම්පත් – තුන්නාන

මධුරි ඩික්සිත් මුල් වතාවට සිනමාවට පිවිසෙන්නේ අබෝද් චිත්‍රපටයේ රඟපාමිනි. රාජ ශ්‍රී සමාගමේ නිෂ්පාදනයක් වූ මෙහි රඟපාන විට ඇගේ වයස අවුරුදු දාහතකි.

* ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් රැගෙන පැමිණි ‘සැමීගේ කතාව’ චිත්‍රපටය ඒ උණුසුම මැකී යන්නට පෙර තිරගත කිරීමට වගකිව යුතු කිසිවෙක් උනන්දු නොවූයේ ඇයි?

කරු මන්දාවල – නාත්තණ්ඩිය

මට පෙනෙන විදියට ඒ චිත්‍රපටය තිරගත කිරීමට සරසවිය පුවත්පතට තිබූ උනන්දුව චිත්‍රපට සංස්ථාවට හෝ ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදකට පෙනෙන්නට ඇති වගක් නොපෙනේ.

* ගීත රචක බන්දුල නානායක්කාරවසම්ගේ ලිපිනය පළ කරන්න.

මලිදු කාවින්ද – දුම්මලසූරිය

ගීත රචක බන්දුල නානායක්කාරවසම්ගේ ලිපිනය කොමර්ෂල් බැංකුව ප්‍රාදේශීය කාර්යාලය, කොටුව, ගාල්ල.

* ‘මනමෝහිණී’ චිත්‍රපටයේ කාන්තා චරිතයක් රඟපෑ නළුවා කවුද?

ප්‍රියංකා ප්‍රියදර්ශනී – නාරිගම

ලක්මාල් ෆොන්සේකායි. ඔහු අද ජීවතුන් අතර නැත.

* නවලෝක අධිපති එච්. කේ. ධර්මදාස මහතා චිත්‍රපට කීපයක සම නිෂ්පාදකද? ‘අබුද්දස්ස කාලේ’ ඔහු තනිව නිපද වූ චිත්‍රපටයක්ද?

උදාර විජය ප්‍රනාන්දු – ලුණුපොකුණේ

ඔහු තනිවම චිත්‍රපටයක් නිෂ්පාදනය කළ වග නම් මට මතක නැහැ. නමුත් ඔහු ‘වාසනා’, ‘හතර පෙරළිය’ ඇතුළු චිත්‍රපට ගණනාවකට නිෂ්පාදනයෙන් දායක විය. මට හිතෙන හැටියට නම් ඔහු මෙරට ඉහළම ව්‍යාපාරිකයකු බවට පත් වූයේ චිත්‍රපට තනිවම නිෂ්පාදනය කිරීමට නොපෙලඹුණ නිසා විය යුතුයි.

* පැරැණි හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට (ඩී. වී. ඩී.) බෙදා හරින ‘මූවිලෑන්ඩ්’ සමාගම වසා ඇත. කරුණාකර ඒවා මිලට ගත හැකි වෙනත් ස්ථානයක් කියන්න.

එස්. අලහකෝන් – මුල්ලේරියාව

පිටකොටුවේ තැන් තැන්වල ඇවිදින කොට සොයා ගත හැකිය.

* හතර පෙරළිය, හතර වටේ, හාරත හතර, හතර කේන්දරේ වැනි නිර්මාණ සිනමාවට තිළිණ කළ ඒ අධ්‍යක්ෂවරුන් වන්නේ කවුරුන්ද?

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව

‘හාරත හතර’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්. වී. බාලන්ය. අනෙක් සියලුම චිත්‍රපට අධ්‍යක්ෂණය කලේ එල්. එම්. පෙරේරායි.

* මුල් යුගයේ සිංහල චිත්‍රපට සංගීතයෙන් රසවත් කළ ඉන්දීය සංගීත අධ්‍යක්ෂවරුන් වන එස්. දක්ෂිණමූර්ති, එස්. ආර්. පාපා, කේ. වී. මහාදේවන්, ආර්. සුදර්ශනම් යන මේ අය අතරින් දැනට ජීවිතුන් අතර සිටින්නේ කවුරුන්ද?

ආරී එගොඩවත්ත – දෙමටගොඩ

දැන් ජීවතුන් අතර ඒ කවුරුවත්ම නෑ.

* සිංහල සිනමාවේදී ‘බිකිණිය’ ඇඳ රඟපෑ අපේ නිළිය කවුද?

ඔගස්ටා වයමන් – කිරුළපන

පළවෙනි වතාවට එසේ රඟපෑවේ ශාන්ති ලේඛායි. ඒ ‘සුජාතා’ චිත්‍රපටයේයි.