වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට යුගය නිම වෙයි - අවසන් කටයුතු පසුව

චිත්‍රපට යුගය නිම වෙයි - අවසන් කටයුතු පසුව

ඉතාලි සිනමාකරු සැල්වටොර් ඩි විටෝ සිසිලියේ ඈත එපිට පිහිටි සිය උපන් ගම්මානයට යන්නේ සිය ළමා වීරයාගේ මරණය පිළිබඳ පුවත සිය මෑණියන් විසින් දන්වා එවීම සමඟය.ඔහුගේ ළමා වියේ වීරයා වනුයේ ගම්මානයේ පිහිටි සිනමාහලේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරන මහලු වියට එළැඹෙන මිනිසෙකි.සිනමාවට ඇලුම් කරන සුරතල් පොඩි එකාත් ප්‍රක්ෂේපණ යන්ත ක්‍රියාකරුත් සමග ඇති මිත්‍රත්වය ඉතා අපූරු සිනමා කෘතියක් වන සිනමා පැරඩිසෝ නම් චිත්‍රපටයේ එන්නකි.චිත්‍රපටය අවසන් වනුයේ අවමඟුල නිම වී ආපසු යන විටෝ ට ඇල්ෆ්‍රෙඩා විසින් ඔහු වෙනුවෙන් රැක ගෙන තිබූ තෑග්ගක් හමුවීමෙනි. මේ තෑග්ග පැරණි චිත්‍රපට රැසක තිබූ දර්ශන ඇතුළත් චිත්‍රපට පිටපත් කිහිපයකින් උකහා ගත් ඒවාය.

එම දර්ශණ ගම්මානයේ රැඟුම් පාලක මන්ඩලය වන පල්ලියේ පියතුමන් විසින් ඉවත් කරන ලද දර්ශන පෙළකි.එකල පොඩි එකෙක් වූ බැවින් විටෝ ට එම චිත්‍රපට දර්ශණ බලන්නට ලැබෙන්නේ නැත. කවදාක හෝ දවසක මුල් පෙළේ සිනමාකරුවක් වන සිය ළමා මිතුරාට තෑග්ගක් ලෙස ඉතිරි කොට තිබෙන්නේ එදවස පොඩි එකාට ඇස නොගැටුණු චිත්‍රපට දර්ශන පෙළයි.සිනමාහල් වලින් ඉවත් කර දමන චිත්‍රපට කෑලි එකතු කර ගැනීමේ පුරුද්ද එකල මට ද විය.

මා හිතන හැටියට මෙයට දශක කිහිපයකට පෙර ජීවත් වූ බොහෝ සිනමා රසිකයන්ට මේ පුරුද්ද විය. එකල තිර ගත වන එම්.ජී.ආර් රගපෑ දෙමළ චිත්‍රපට කෑන් පෙළ මල් ගවසා දුම්මල සුවඳ ආදියෙන් යුතුව සිනමාහලට තම කරපිටින් ගෙන ඒම වාසනාවක් ලෙස සැළකූ රසිකයන් එමට අප රටේ ද සිටියහ.එහෙත් මේ චිත්‍රපට යුගය තව මාස කිහිපයකින් අවසන්ව යායුතුව ඇත්තේය.කොටින්ම කියන්නේ නම් චිත්‍රපටය තව නොබෝ දිනකින් චිත්‍රපට ලොවින් තුරන්ව යනු ඇත.එහෙත් සිනමාව ඉතිරි වනු ඇත.කොටින්ම චිත්‍රපට යනුවෙන් හැඳීන්වූ විනිවිද පෙනෙන රූප පටිය නව තාක්ෂණයට ඉඩ දී සමු ගනු ඇත.කලකට ඉහත ලොරි භාගයක පටවා ගෙන පැමිණි චිත්‍රපටය සිනමාහලට නිකම්ම බා ගනු ඇත.පිටපත් නැත.ඇත්තේ කොම්පියුටර් යුගයට අයත් හාඩ් ඩිස්ක් එකක් පමණී. කොළඹ නගරයේ මැජස්ටික් සැවෝයි සිනමාහල් මේ වන විට අලුත් පරිවර්තනය ට එක්ව හමාරය.එහෙත් ඉතා ඉක්මනින් සියලු සිනමාහල් නවීකරණය නොවුන හොත් බොහෝ සිනමාහල් වැසී යෑමෙන් දැන් ඇති සිනමාහල් සංඛ්‍යාව ද අඩු වනු ඇත.මෙයට වසර ගණනකට එපිට ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගරය යනු දවසේ පැය විසි හතර පුරාම එක දිගට චිත්‍රපට පිටපත් මුද්‍රණය කෙරුන ආයතනයකි.

එහෙත් පසුගියදා එහි ව්‍යාපාර ප්‍රධානි කේ .එස්.සුබ්‍රමානියම් මහතා පැවසුවේ දැන් පිටපත් මුද්‍රණය සඳහා පැය අටක් වත් ගත නොවන බවයි.ඒ යාන්ත්‍රික දියුණුවක් නිසා නොවේ.චිත්‍රපට පිටපත් මුදුණය යනු යල් පැන ගිය කටයුත්තක් බැවිනි.කොටින්ම තව වසර ගණනාවකින් ප්‍රසාද් රසායනාගාරය ද ඉතිහාසයට එක් වීමට ඉඩ ඇති බැවිනි.පසුගිය වසරේ ලොව වැඩිම වස්තු භංගත්වයට පැමිණි සමාගම වූයේ අමෙරිකාවේ කොඩැක් සමාගම බව ප්‍රබල රහසකි.කොඩැක් පණ අදිද්දී ඇග්ෆා ගෙවාට් හෝ ඔර්වෝ වැනි සමාගම් අවසන් හුස්ම හෙලා අවසන්ය.මේ දින වල ලොව පුරා අති සාර්ථකව තිර ගත වන චෙන්නායි එක්ස්ප්‍රස් ඇතුළු චිත්‍රපට පිටපත් 3500 ක් පමණ එක්වර තිර ගත කරනු බවට පසුගියදා ප්‍රචාරය විණි. එහෙත් පිටපත් මුද්‍රණයක් නැත. මේ කටයුත්තට උර දී සිටින චෙන්නායි නගරයේ යූ.එෆ්.ඕ.ආයතනය මගින් සිදු කරනු ලබනුයේ එකවර සිනමාහල් රාශියකට චිත්‍රපටය විකාශය කිරීමය.සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝජ් කුමාර් ජයපාලන් පවසන පරිදි යූ.එෆ්.ඕ විසින් සිනමා සපයන ශාලා තුන් දහසකට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙයි. පිටපතක් නැත.

ඒ අනුව පිටපත් මුද්‍රණය සඳහා වැය වනුයේ ඉතා අවම මිලකි.නිස්පාදකයන්ට චිත්‍රපට පිටපතකින් ඉතිරි කර ගත හැකි මුදල ඉන්දියානු රුපියල් වලින් බැලුවද ලක්ෂයකට ආසන්නය.මේ වනවිට ලොව පුරා සිනමා ශාලා සියයට අනූවක් පමණ පැරණි ප්‍රක්ෂේපණ ක්‍රමය අතහැර දමා ඇත්තේය. පටළ පටයේ චිත්‍රපට තනන අවසන් පරම්පරාව මේ යැයි අපේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පැවසුවේ වසර දහයකට පමණ පෙර වුවත් මෙරට සිනමා බලධාරින් ඒ පිළිබඳ නොඇසූ කන් ඇතිව සිටයහ.

මේ බලධාරින් යනු සිනමා කර්මාන්තයේ නියැළි නිෂ්පාදකයන් සිනමා ප්‍රදර්ශකයන් ශාලා හිමියන් ඇතුළු බොහෝ දෙනෙක් අයත් බැව් කරුණාවෙන් සලකත්වා.ඉන්දියාවේ වර්තමාන සිනමා ශාලා ඩී සිනමා හා ඊ සිනමා යුගයෙන් දෙවර්ගයකි. ඊ සිනමා යනු ගම්බද බහුතරය නියෝජනය කරන ඉකොනමි සිනමා නැතහොත් ලාභදායි සිනාමාහල්ය. ඒ සඳහා කෙරෙන ආයෝජනය මිලෙන් අඩුය.එනම් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 16 ක් පමණය.

එහෙත් එහි ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගින් ප්‍රදර්ශනය කරනු ලබන රූපයන් ඡායාරූප පික්සල් පරිමාව 1920 ය 1080 ක් වෙයි.පික්සල් යනු ඡායාරූපයක් තැනෙණ කුඩාම අංශු ප්‍රමාණයේ අගයයි. එය වැඩිවනවා යනු රූපයේ බලවත් කම වැඩිවීමය. වර්තමානයේ සාමාන්‍ය එල්.ඊ.ඩී. ටෙලිවිෂන යන්ත්‍රයක පික්සල් ප්‍රමාණය 720 ය 576 ක අගයක් ගනී. ඩිජිටල් සිනමාහලක ඇති 2ඬ ප්‍රක්ෂෙපණ යන්ත්‍රයක සාමාන්‍ය පික්සල් අගය 2048 ය 1980 පමණ වෙයි.එහි ප්‍රක්ෂේපණ යන්ත්‍ර සඳහා අවම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ පනහක් වත් වැය කරන්නට සිදු වෙයි. ඉහළ රූප තත්වයක් අත්පත් කර ගන්නා සැවෝයි මැජස්ටික් වැනි සිනමාහල් අයත්වනුයෙ මේ ගණයටය.

කෙසේ වෙතත් මේ සිනමාහල් දෙවර්ගයේ ප්‍රක්ෂේපණ රටාවේ පැහැදිලි වෙනසක් ඇත.

අමතක නොකළ යුතු කාරණය නම් වර්තමානයේ ජනප්‍රිය වෙළඳ සන්නාම සහිත ත්‍රිමාණ ටෙලිවිෂනයක අවම මිල රුපියල් අසූ දහසක් වෙයි. අනාගතයේ එහි මිල අඩු වනවා විනා වැඩි නොවන බැව සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික භාණඩ අලෙවිය පිළිබඳ දන්නා අයගේ මතයයි.එමෙන්ම එම උපකරණ දවසින් දවස දියුණු වන අතර නිවසක සාමාන්‍ය ටෙලිවිෂනයක් වසර දෙක තුනක් ඇතුළත ඊ සිනමාහලක ඇති ප්‍රක්ෂේපණ යන්ත්‍රය අබිබවා යන බැව් පැවසීම අතිශයෝක්තියක් නොවේ.එක් අතකින් නවීනතම ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සදහා අප රටේ ඇති ඉල්ලුම සලකා බැලීමේ දී අදාළ කාලය ගත වන්නට මත්තෙන් සිනමාහලකට ගොඩ වී රස විඳීනවාට වඩා පහසුවෙන් සහ ලාභයෙන් නිවසේ දී සිනමා රස විඳීම සාමාන්‍ය කරුණක් වෙයි.

ප්‍රෙක්ෂකයන් ටෙලිවිෂනයකට හා ගෘහස්ථ සිනමා කට්ටලයකට මිලක් වැය කරන්නේ සිනමාහලෙන් ලැබිය හැකි වින්දනය එයට වඩා පහසුවෙන් නිවසේදී ලබා ගන්නටය.එහිදී නව සිනමාහල් අනිවාර්යනේම නිවසේ උපකරණ අබිබවා යන අපූරු අත්දැකීමක් විය යුතුය.එහෙත් ගැටලුව තිබෙන්නේ අද බොහෝ ප්‍රදේශයන්හි ඇති සිනමාහල් පෙර මෙන් ඉහළ ආදායම් නොලැබීමයි.ඒ සඳහා විවිධ හේතු තිබෙන නමුත් ඒවා එකින් එක මෙහි සඳහන් නොකරමි.එබඳු සිනමාහල් නවීකරණය කළ පමණින් එයට වැය කළ මුදල හෝ උපයා ගැන්මට ආයෝජකයන් සමත් වනු ඇතියි සිතීම අපහසුය.

එහෙත් හොලිවුඩ් චිත්‍රපට තිර ගත කළ හැක්කේ ඩී සිනමා ක්‍රමයේ ශාලා පමණී.ඒ සාමාන්‍ය ඊ සිනමාහල් සඳහා එම චිත්‍රපට නිකුත් නොකරන හෙයිනි.බලවත්ම කරුණ නම් සිනමා තාක්ෂණය ඉතා ඉක්මනින් නිවසේ ටෙලිවිෂනය පරදින බවය.මේ ලිපිය සඳහා පසුගියදා චෙන්නායි නගරය බලා ගිය මගේ පෞද්ගලික හැඟීම නම් සිනමා රූපයේ අනාගතය යම් ප්‍රමාණයකට හෝ රඳා පවතින්නේ ඩිජිටල් සිනමාවේ 2ඬ ප්‍රක්ෂේපණ ක්‍රමයේ බවය.

කෙසේ වෙතත් සිනමා ශාලා සහ චිත්‍රපට කර්මාන්තයම මෙබඳු ඉරණමකට මුහුණ දුන් අවස්ථාවක් ඉතිහාසයේ එයි.ඒ කතානාද සිනමාව ආරම්භයත් සමගය.එතෙක් පැවැති නිහඬ සිනමාශාලා සහ චිත්‍රාගාර කතානාද යුගයට අවශ්‍ය ලෙස පරිවර්තනය කර ගැන්මට යෑමේ දී බොහෝ පැරන්නන් ඉතිහාසයට පමණක් සීමා විය.අනාගතයට ඉතුරු වුනේ එහෙමත් කෙනෙකි.ඒ 1929 සහ 34 අතර කාලයේය.අප මුහුණ දෙන්නේ ඉතිහාසය නැවත කියැවීමකට ද ?