වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මධු ගෙන් වෙන්වීමට ගත් තීරණය ගැන අද මට දුකයි

එදා මධු ගෙන් වෙන්වීමට ගත් තීරණය ගැන අද මට දුකයි

නිල්මිණි තෙන්නකෝන් ගේ ජීවිතය ගැන පසු විපරමක්

ඇය පුංචි තිරයේ නයන නෙතු පිනවන ආදරණිය නිල් මැණිකයි. හැඟීම් දහසක් කියනා පින්වන්ත නෙතු සඟළ සෑම ගැහැනියකගේම ජීවිතය කියාපානා අපූරු කැඩපතයි. යුගයක් පුංචි තිරයේ අපරාජිත පෙම්වතිය .... අද රංගනයේ මහා කඳු තරණය කළ විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියයි. ලක්‍ෂ සංඛ්‍යාත රසිකයින්ගේ හද මඬල මත සඳ මඬල තැනූ පුංචි තිරයේ නිළි රැජනයි.

ඔබෙත් මගෙත් ආදරය නොඅඩුව ලද කඳුළෙත් සුසුමෙත් සෙනෙහෙවන්තියයි. ජීවිතයේ විඩාබර කාල පරිච්ඡේදයකට පසු ඈ යළිත් හිරු දුටු සූරිය කාන්ත මලක් සේ මේ රඟ මඬල මත සිනාසෙන්නීය. නිල්මිණි තෙන්නකෝන් කලකට පසු මා මුණගැසුණේ ඈට ආදරය කරනා ඈ ගැන සොයනා සුවහසක් සරසවිය පාඨක ඔබ නිසාමයි.

නිල්මිණි සොයාගෙන ඇගේ කැදැල්ලට අපි යද්දිත් ඈ දෙරණ නාළිකාවේ ‘සිත් ගිමන්හල’ වැඩසටහනට සහභාගී වීමට ගොසිනි. ‘ටෙනී අයියේ අම්මා ගේට් එක අරී .... ශ්වේතාත් ඇතුළේ ඉන්නවා. මම ටක් ගාලා එනවා. වාඩිවෙලා ඉන්න.’

ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ හට දුරකථන ඇමතුමක් දී ළෙන්ගතු වන්න තරමටම ඇගේ සිත ආදරණීයයි. ගත වූයේ තත්ත්පර කිහිපයකි. ඈ ආවේ විඩාබර බවින් වුවත්. . . ඒ වත කමලේ කෙතරම් අපූරු රූ සොබාවක් ඇද්ද?

* ‘නිල්මිණි අක්කේ .... හුඟාක් මහන්සි පාටයි’.

අනේ ඔව් මල්ලී, මහන්සියි කියලා පැත්තකට වෙලා කොහොමද. මේ හැම දෙයක්ම තනියම අද මම කරන්න එපෑයි. ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. අම්මව, දුවව මම රැක බලාගන්න ඕනෑ.

* ‘සිත් ගිමන් හල’ ඔබේ සිතට හොඳට අල්ලලා ගියා නේද?

ඇත්තමයි, මම හරිම ආසාවෙන් කැමැත්තෙන් මේ වැඩ සටහනට සහභාගි වෙන්නේ. කෙනෙකුගේ ජීවිතේ දුක, සංතාපය එක වචනයකින් හරි නැති කරලා දාන එක විශාල පිනක්නේ.

* ඔබ දුටුවනම අදටත් අපට මැවෙන්නේ ‘දූ දරුවෝ’ හි දීප්තිව?

මගේ රංගන ජීවිතය දීප්තිමත් වුණේ දීප්තිගේ චරිතය හරහා කීවොත් නිවැරදියි. ඇත්තමයි අදටත් මිනිස්සු මේ චරිතයට දක්වන කැමැත්ත හරිම පුදුමයි.

* එහෙත් අද පුංචි තිරේ මෙවැනි මතක හිටින චරිත අඩුයි?

ඒකනම් අත්ත, අද මොනවද මේ පුංචි තිරයේ දිග හැරෙන චරිත කියලා හිතෙනවා. අද දකින චරිත ගැන මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ. ඒකනේ එදා අපි කරපු චරිතවලට අදටත් ඒ අය ආදරේ.

* එහෙම වුණේ ඇයි?

අද රූපවාහිනී චැනල් අතර තිබෙන්නේ යුද්ධයක්. මෙගා වලින් ජනපි‍්‍රය වෙන්න චැනල් දඟලනවා. චැනල් තුන හතරක් දැම්මත් ඒ හැම එකකම එකම නළු නිළියෝ. රඟපෑම ඒකාකාරියි. අග මුල නැති වැල් නාට්‍ය. ඇත්තටම අද මිනිස්සු ටෙලි නාට්‍ය බලනවද කියලා හිතාගන්න බෑ.

* ඔබත් මේ වැල් ටෙලි නාට්‍යවල රඟපෑවා?

ඔව්, එකක දෙකක වගේ. තේරුමක් නෑ කියලා දැණුනහම අයින්වෙලා පැත්තකට වුණා. හැබැයි මල්ලී, ඇඟට දැනෙන්න රඟපාන්න චරිතයක් මේ ටෙලි නාට්‍යවල තිබුණොත් මම රඟපානවා. මොකද මම කැමති මහන්සි වෙලා දාඩිය දාගෙන චරිතයකට සාධාරණයක් ඉටු කරන්න.

* ‘ගිරි කුළ’ මෑතකදී ඔබ රඟපෑ එහෙම නාට්‍යයක් නේද?

ශාන්ති දිසානායක ගේ ගිරි කුළ මම කියවලා තිබුණු පොතක්. මහ පොළොවේ පය ගහපු දිරිය ගැහැනු චරිතයක් ඩිංගිරි අම්මා. ඉතාමත් ආසාවෙන් මම මේ නාට්‍යයේ රඟපෑවේ. කියන්න සතුටුයි මෙහි කැමරා කාචය අපේ අපූරු රංග ප්‍රතිභාවන් විශිෂ්ට අයුරින් හසු කර ගත්තා. මම බැහැලා කරපු චරිතයක් ඇතුළත් හොඳම නාට්‍යයක් මේක.

* පුංචි තිරයට ඔබේ විශිෂ්ටත්වය රැගෙන ආවත් සිනමාවට ඔබේ ලැබුණු දායකත්වය අඩුයි නේද?

ඔව්, මේ වෙනකොට මට පුංචි තිරයේ නම් කරන්න චරිතයක් නැති තරම්. ඒත් සිනමාවේ මගේ හැකියාවන් පෙන්වන්න ලැබුණු ඉඩ සීමිතයි. කැපිලි, කෙටිලි මට සිනමාවේ හරියට තිබුණා. සිනමාවට මාව කැන්දන් ආවේ රෝයි සුමනා. ඒ ගැන හදපුරා මම සතුටු වෙනවා.

* ඔබ සම්මාන බලාගෙනම රඟපාන නිළියක්ද?

පුංචි තිරයේ මම රඟපෑ බොහෝ චරිත සම්මානනීය වුණා. හොඳ දෙයක් කළහම කවුරුත් අගැයීමක් බලාපොරොත්තු වෙනවා. හැබැයි සම්මාන පිපාසයක් මට නැහැ. මගේ රංගන ජීවිතයේ ගතයුතු හැම සම්මානයක්ම මම අරන් තියෙන්නේ. සිනමාවේ කරපු චරිත ගණන අතළොස්ස වුණත් අගැයීමට ලක් වුණා. සිනමාවේ මම අන්තිමට ප්‍රබල චරිතයක් කරපු උදය අයියාගේ ‘ලේ කිරි කඳුළු’ චිත්‍රපටය එවකට පැවති ‘සරසවිය’ සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස මාව නිර්දේශ වුණා.

* ඒත් අද ඔබ උදයකාන්ත වර්ණසූරියගේ නිර්මාණවල නෑ?

ඒක ඇත්තටම මට ලොකුª දුකක්. නිළියක් ලෙස මම අවදි වුණේ උදය අයියාගේ නිර්මාණවලින්. අද ඔහු ටෙලි නාට්‍යවලින් ඉවත්වීම විශාල පාඩුවක්. තව එක වරක්වත් උදය අයියාගේ නිර්මාණයක රඟපාන්නට ලැබුණොත් . . . එය මගේ වාසනාවක්.

* නිල්මිණි අක්කේ දුවවත්, අම්මවත් ජීවත් කරවන්න රඟපාලා ලැබෙන මුදල ප්‍රමාණවත් ද?

ප්‍රමාණවත්. මීට අමතරව මම සැලෝන් එකක් කරගෙන යනවානේ. සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර සැලෝන් එකේ කරනවා. මම ඉර හඳ අල්ලන්න දඟලන නිළියක් නොවේ. හැමදාමත් මම ලැබෙන දෙයින් සතුටු වුණා. දෙවියන් මගේ අත් දෙකට හොඳ හැකියාවක් ලබා දුන්නා. අහස උසට බලාපොරාත්තු මගේ ජීවිතේ නෑ. මම යම් සංයමයකින් විය හියදම් කටයුතු කරගෙන යනවා.

* දෙවියන් ඔබට හැම දේම දුන්නත් එක දෙයක් ඔබට ලබා දුන්නේ නැහැ?

ඔව්. මේ ලෝකේ හැටි එහෙමයි. ගැහැනියක් හැටියට ලස්සන පවුල් ජීවිතයක් මට උරුම වුණේ නැහැ. මේ මගේ පෙර අකුසල කර්මයක් වෙන්න ඇති.

* ඔබේ දෙවැනි විවාහයත් බිඳුණා?

ඉතාම කෙටි කාලයක් තුළ සමීප වෙලානේ ඒ දේ සිදු වුණේ. ළඟදී මට නිරෝෂා විරාජිනි රූපවාහිනි වැඩ සටහනකදී හමුවෙලා කීවෙත් අනේ නිල්මිණි අපි ආසාවෙන් කැමැත්තෙන් පවුල් ජීවිත බිඳ දමා ගන්නවා නෙමේනේ. අපිව තේරුම් ගන්න අපිට ළං වෙන අයට පුළුවන්කමක් නෑ. නැත්නම් අපිත් කොච්චර ආසද හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න කියලා. ඇය කීව දේවල් ඇත්ත. මේ ලෝකේ කිසිම ගැහැනියක් කැමැත්තෙන් පවුල් ජීවිතයක් කඩා බිඳ දාගන්නේ නැහැ.

* පසුගිය සරසවිය කලාපේ සමිතා මුදුන්කොටුව පැවසුවා නිල්මිණිවත්, නිරෝෂවත්, මමවත් ආසාවෙන් එකම බෝට්ටුවකට නැග්ගේ නැහැ කියලා?

ඒ කතාව සහතිත ඇත්තනේ මල්ලි. අපි තුන්දෙනාම ගෑනු. අපේ සිත් හරිම සංවේදියි. අපිට ළං වුණු පිරිමි ඒක තේරුම් ගත්තේ නැහැ. අපි තුන්දෙනාම ආසයි අපිට ලස්සන පවුල් ජීවිත ගත කරන්න ලැබුණානම්. සමිතා කීවා වාගේ ගැහැනුන්ගේ දෛවය ඇත්තටම පුදුමාකාරයි. ගැහැනියකට ආදරේ කියන්නේ ඇගේ ජීවිතේමයි. එත් පිරිමින්ට එහෙම නැහැ.

* ඔබේ ජීවිතයේත් ආදරණීයම යුගයක් තිබුණා?

මධු . . . මම මහමෙරක් තරමට ආදරය කරපු මගේ ආදරණීය පෙම්වතා. පසු කාලෙක ස්වාමියා. ශ්වේතාගේ තාත්තා. මේ පුංචි පවුල ඇතුළේ මේ බැඳීම රැකගන්න මම හරියට උත්සාහ කළා. එත් මොකක්දෝ කුණාටුවක් ඇවිත් අපේ කැදැල්ල බිලි ගත්තා. අදටත් මම ඒ අතීතයට ආදරෙයි. මධුයි මමයි ආදරේ කරපු හැටි . . . විවාහ වූ හැටි . . . දන්නේ අපි දෙන්නා විතරයි. (ඇය සංවේදී වේගෙන එන බව මට හැඟෙයි). නිල්මිණිගේ දෑසේ කඳුළු පිරිලා.

* එදා ඔබ ගත් ඒ තීරණය ගැන පසුතැවෙන්නේ නැද්ද?

පවුල් ජීවිතේ හැල හැප්පීම් ඇති වූ නිසයි අපි වෙන් වුණේ. නයි පොළොංගු වගේ ගහ මරාගෙන කොහොමද එකට ජීවත්වෙන්නේ. ඒත් දැන් ශ්වේතා ලොකු ළමයෙක්. මගේ කෙල්ලට එයාගේ තාත්තාගේ ආදරය ළඟ ඉඳන් ලබා දෙන්න නොලැබීම ඇත්තටම මට දුකයි.

* නිල්මිණි අක්කේ ප්‍රශ්න මැද වුණත් මධු ඔබේ ජීවිතේ හිටියා නම් කියලා හිතෙන්නේ නැද්ද?

අද අනන්ත වාරයක් එහෙම හිතෙනවා. මධු මගේ ජීවිතේ හිටියා නම් කියලා අවංකවම මට හිතෙනවා. මම දැන් මේ ජීවිතය නිවැරැදිව අවබෝධ කරන් ඉන්නේ. මේ සියල්ල මායාවක්. මේ කෙටි ජීවිතය තුළ අතරමගදී මුණ ගැහෙන අයට අපි හරියට බැෙඳනවා. දුක් විඳීනවා. මේ හැම දේකින්ම නිදහස් වෙලා බුදුන් දෙසූ දහම අනුව ජීවිතය හදාගන්න මම උත්සාහ කරනවා.

* අක්ක කලකිරීමෙන් ද?

නෑ මල්ලි . . . මේ තමා ඇත්ත. ගැහැනියක ලෙස අද මම තනි වෙලා. දවසේ වැඩ කටයුතු ඉවර වෙලා ඇඳට වැටුනාම දරාගන්න බැරි පාළුවක්, දුකක් මට දැනෙනවා. මම ජීවිතේ හරියට ආදරේ බලාපොරොත්තු වූ ගැහැනියක්. අද මට දරුවාගේ උණුසුම විතරයි.

* මධුව දැන් මුණ ගැහෙන්නේම නැද්ද?

මුණ ගැහෙනවා. අපි තරහකාරයෝ නෙමේ. දුවගේ ජිවිතේ හැම විශේෂ අවස්ථාවක්ම මම මධුට කියනවා. ඔහු ඒවාට සහභාගි වෙනවා. මධු දැන් කවුරු විවාහ කරගෙන හිටියත් අතීතයේ මගේ ආදරේ කියන දේ සඟවන්න බැහැ.

* අක්කේ ඔබේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔබට තිබුණානේ තීරණයකට එන්න?

ඒ සිදුවීම වෙලාවේ ඔහු මාව තනි නොකර ළඟට වෙලා උන්නා. ස්වේතාගේ අම්මාව බේර ගන්න එයා ගොඩක් උත්සාහ ගත්තා. මධුට අදටත් මම පිං කියලා කියනවා. ජීවිතේ එහෙම තමයි. පපුවේ නහරවලට පවා දැනුණ ආදරයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. ඇක්සිඩන්ට් එක සමඟ තීරණ ගන්න පුළුවන් මානසිකත්වයක නෙවේ මම හිටියේ.

* දැන් දුවත් ටිකෙන් ටික ලොකු වේගෙන එනවා?

ඔව් මල්ලි . . . මගේ පණ . . . ස්වේතා. එයා ලොකු වෙන කොට මට බයයි. මගේ දරුවාට හැම යුතුකමක්ම මම නොපිරිහෙලා ඉටු කරනවා. හැබැයි මම අනාගතේ බොහෝ දේවල්වලට මුහුණ දෙන්න හිත දැඩි කරගන්න ඕනෑ.

* නිල්මිණි අක්කේ ඔබ රහසේම සමාජ සේවා කටයුතු කරනවාලු නේද?

මං පුළුවන් හැටියට නැති බැරි අයට බොහෝ සේ පිහිට වෙනවා. ඒවාට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ. අපිට පෙර භවයක් තියෙනවානේ. දවසක මේ සියල්ල නැති වුණත් සම්බෝලයි බතුයි කාලා ජීවිතයට මුහුණ දෙන්න මට පුළුන්. මට හිතුණා අංග සම්පූර්ණව අපිට මේ හැම දේම ලැබිලත් ඇයි පසුතැවෙන්නේ කියලා. මම දැන් ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. මගේ සැලෝන් එකේ වැඩ කටයුතුත් කරගෙන සමාජ සත්කාරත් පාඩුවේ කරගෙන යනවා.

* කෝ ඔබ තුළ හිටපු ගායිකාව?

ඉන්නවා . . . ඉන්නවා. ළඟදී ලස්සන ගීතයක් මගේ රසික කැලට ලබා දෙනවා.

* අක්කේ මට තවදෙයක් මතක් වුණා. වරෙක ධනංජය මා සමඟ පැවසුවා නිල්මිණි තෙන්නකෝන් යනු ලංකාවේ ඉන්න අති විශිෂ්ඨ රංග ශිල්පිනියක් බව?

මම අදටත් මගේම මල්ලියෙකුට වගේ ධනංජයට ආදරෙයි. මුලින්ම එයාගේ ඔළුවට නළුවෙක් වීමේ පිස්සුව දැම්මේ මම. ඔහුගේ අනාගත ගමනට මේ නිල්මිණි අක්කා හදවතින්ම සුභ පතනවා.

* මේ දීර්ඝ කතාබහේ අවසානයට යමු. ජීවිතය ගැන මොකද දැන් හිතෙන්නේ?

දැන් මම හරියට පොත පත කියනවා. කාලය ගලා ගිහින්. වෙන්න තිබුණු දේ වුණා. කවුරු මාව රිදෙව්වත් කා සමඟවත් තරහවක් මගේ නැහැ. අදටත් පාළු රාත්‍රියේදී මගේ අතීතය මාව හඬවනවා. ඒ වෙලාවට මට නිරෝෂා ගයන මේ ගී පද මතකයට එනවා.

‘අළු පාට හැන්දැවේ – වැහි බිංදු පොද වැටුණු

ගං දෑල තාමත් ඒ වගේද මට කියන්න

මං නුඹේ හිත ළඟම උණුසුමට ගුලි වෙච්ච

මල් සමය නිම වුණි ද මට කියන්න ...’