|
තිස්ස අබේසේකරයන්ගේ නැන්දණිය ඝාතනය කරයි
ප්‍රවීණ සිනමාකරු අභාවප්‍රාප්ත තිස්ස අබේසේකර මහතාගේ සහ සරසවිය සම්මානලාභී සුදත් දේවප්‍රියගේ නැන්දණිය වූ අසංකා අබේසේකර මොනරවිල මහත්මියගේ මව වන ඊඩා මාග්‍රට් ලිහිනියා කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ (84) මරණය ඝාතනයක් බවට 30 වැනිදා කොළඹ සිදු කළ අධිකරණ වෛද්‍ය පරික්ෂණය මඟින් හෙළි වී තිබේ. සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද්‍ර සමරනායක මහතා විසින් මෙම පරික්ෂණය සිදු කෙරිණි. සිද්ධියට අදාළව සිදු කළ මරණ පරික්ෂණයේදි මෙම මරණය ඇගේ මුහුණ, කට තද කර හුස්ම හිර කිරීමෙන් සිදු කළ මරණයක් බවට සැක කරයි. අංක 494/21, රාජගිරිය, රාජගිරිය පාර, පස්වන පටු මගේ, මොරගස්මුල්ල, පදිංචිව සිටි මරණකාරිය ඇගේ නිවසේ කාමරයක් තුළ අබිරහස් අන්දමින් ඝාතනය කර තිබියදී 29 දා සොයා ගෙන තිබිණි. ඇගේ එක් දියණියක් වන අසංකා අබේසේකර මහත්මිය පවසා සිටින්නේ මවගේ අතේ තිබූ රත්තරන් බෙරිලියන්තු මුදු හතරක් නැති වී ඇති බවත්, ඊට අමතරව නැති වී ඇත්තේ කුමක් ද කියා ඔවුන් නොදන්නා බවත් මරණ පරික්ෂණයේදී වාර්තා විය. අසංකා අබේසේකර ජීවත් වන නිවස තිබෙනුයේද මෙම නිවස අසලමය. මරණ පරික්ෂණයේදී අසංකා අබේසේකර මහත්මිය පවසා සිටියේ එදින මව නිවසේ සිටියේ තනිවම බවයි. කෙසේ වෙතත් ඝාතකයන් නිවසට ජනෙල් ඇර හෝ වහළයෙන් බැස ඇතුළු වූයේ ද යන්න ලකුණු කිසිවක් පෙනෙන්නට තිබී නැත. නිවසේ දොර හැර තිබූ අවස්ථාවක ඝාතකයන් නිවසට ඇතුල් වන්නට ඇතැයි පොලීසිය සැක කරයි. නිවසේ කාමරවල අල්මාරිවල හා බඩු මුට්ටු ද මුළුතැන් ගෙය තුළ තිබූ ශීතකරණය හා භාණ්ඩ ද ඇද දමා තිබූ බව වාර්තා වේ. නිවසේ දේපළ කොල්ල කන්නට පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි සැක කරන නමුත් මියගිය අයගේ මාලය රැගෙන නොගියේ මන්දැයි පොලිසියට ඇත්තේ කුතුහලයකි. දරුවන් නව දෙනෙකුග් මාතාවක් වන ඊඩා මාග්‍රට් මහත්මියගේ දරුවන් සිව් දෙනෙකු විදේශගතව සිටින අතර අනෙක් දරුවන් සිව් දෙනා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිති. ඊඩා මාග්‍රට් මහත්මියගේ සැමියා වන ක්ලැරන්සි පර්සි ප්‍රනාන්දු (86) හා දියණියක සමඟ ඝාතනය සිදු වූ රාජගිරියේ පිහිටි නිිවසේ පදිංචිව සිටි නමුත් සිද්ධියට පෙර දිනයේ සැමියා හා දියණිය අවශ්‍යතාවකට වත්තල මාබෝලේ දියණිියගේ නිවසට ගොස් තිබීම නිසා මාග්‍රට් මහත්මියට එදා නිවසේ තනිව සිටින්නට සිදුව ඇත. නිිවසේ තනි වූ මවට දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිද්දී ඇය පිළිතුරු නොදීම නිසා දියණිය කලබල වී 29 දා උදේ 8.00 ට පමණ නැවත නිවසට පැමිණි අවස්ථාවෙදී මේ ඝාතනය සිදු වී ඇති වී දැක පසුව පොලීසියට දැනුම් දී තිබේ. මහේස්ත්‍රාත් පරික්ෂණය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය සිදු වූ එම නිවසට පැමිණ පැවැත්විය. අවට නිවෙස්වල සවිකර ඇති සී. සී. ටී. වී. කැමරා ඔස්සේ ලබාගත් තොරතුරු අනුව ඉදිරි විමර්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවැසීය. සරසවිය පුවත්පත මුද්‍රණයට යන විටත් මේ සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ සහාය ඇතිව වැලිකඩ පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
|