|
අපූර්ව ගුරු පූජාවක්
අපේ රටේ දැනට සිටන ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරක, මාධ්‍ය ගුරුතුමා වන්නේ එඩ්වින් ආරියදාස මහතා. දැනට අනූවැනි වියේ පසුවන ඒ මහතා සිය දැනුම නව පරම්පරා සමඟින් බෙදා හදා ගන්නේ ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන්. පසුගිය දවසක ඔහු හමුවට අමුත්තෙක් පැමිණියා. ඒ විචාරක පරම්පරාවේ වර්තමානයේ සිටින දැවැන්තයෙක්. ඔහු ගාමිණී වේරගම. ගාමිණී ඇවිත් තිබුණේ ඔහු විසින් රචිත නවතම කෘතිය ‘අසිරිමත් සිනමාව 3’ කෘතියත් අරගෙනයි. ආරියදාස මහත්තයා පොත අතට අරගෙන ‘මේක මට අත්සන් කරලම දෙනවද?’ කියලා ගාමිණීට කිව්වලු.
මේ පොතේ නම් අත්සන් කරන්න බැහැ ගාමිණිත් දෙවරක් නොහිතාම කිව්වාලු. ඒක අහපු ආරියදාස
මහත්තයාටත් පුදුම හිතිලා. පොත පෙරළල බලන කොට තමයි දැකලා තියෙන්නේ. පිදුම ලියල
තියෙන්නේ එඩ්වින් ආරියදාස මහතාටයි. සිනමා ලේඛනයට පිවිසි මුල් අවධියේම හෘදයංගම මිත්‍රත්වයේ දෝත දිගු කළ, සිනමා විචාරයේදී කළ යුතු නොකළ යුතු දේ ලේඛනයෙන් ද, අවවාදයෙන් ද, ආදර්ශයෙන් ද දක්වමින් මඟහසර හෙළි පෙහෙළි කළ, සිනමාව පිළිබඳ තම අප්‍රමාණ දැනුම නොමසුරුව අකුටිලව ලබාදෙමින් අප පෝෂණය කළ, අපේ පරම්පරාවේ පුරෝගාමී සිනමා ආචාර්යවරයකු වන එඩ්වින් ආරියදාස මාධ්‍ය සෘෂිවරයාණන්ට කෘතඥතා පූර්වකව උපහාර කොට පිළිගන්වමි.
මාර අප්සෙට් එක
බුද්ධික ජයරත්න කියන්නේ අපේ රටේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී ඔහුට හොඳම ප්‍රතිවීර චරිතයට සම්මානය හිමි වුණා. ඒ කොහොම වුණත් බුද්ධික දැන් ඔහුට හමුවන හැමෝටම ‘ෂිහ් මාර අප්සෙට් එක’ කියා කියනවා කියලා ආරංචි වුණා. දවසක් ඔහුට හමුවුණු මාධ්‍ය මිතුරන් පිරිසකටත් ‘ෂිහ් මාර අප්සෙට් එක’ කියලා කිව්වා. මේක හැමෝටම ප්‍රශ්නයක්. ඇයි බුද්ධික හැම වෙලේම එහෙම කියන්නේ කියල එතන හිටපු එක මාධ්‍ය සගයෙක් ඇහුවා. එතකොට තමයි බුද්ධික කතාව කිව්වේ.
පසුගියදා ඔහු සම්මානයට පාත්‍ර වූයේ උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව
චිත්‍රපටයෙන්. සම්මානය ලබා ගැනීමෙන් පසු මව, පියා ඇතුළු සහාය දුන් සැමට ස්තුති කළත්
මෙම සම්මාන උළෙලේ තමාට ඉදිරියෙන්ම අසුන් ගෙන සිටි, තමාව සිනමාවට හඳුන්වා දුන්
පුද්ගලයා උදයකාන්ත වර්ණසූරියගේ නම සිහිපත් කරන්න ඔහුට අමතක වුණා. මේ සිදුවිමේ
පසුතැවිල්ල කෙතරම් දුරට ඔහුගේ මනසට බලපෑවාද කියනවා නම් හමුවෙන හැමෝම ඉදිරියේදී
බුද්ධික අර වාක්‍යය පවසනවාලු. ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ ...
ඉසුරු වීරසිංහමුදලි නවක චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ කලර් චිත්‍රපටය පසුගිය වසරේ සාර්ථකව තිරගත වුණා. ඒ වගේම පසුගියදා පැවැති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී ඔහු ඒ වෙනුවෙන් මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂවරයා ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. එහිදී සම්මානය ලද පසුව තම මව පියා ඇතුළු ක්ෂේත්රයට පැමිණීමේදී සහාය දුන් සැමට ස්තුති කළ ඉසුරු අවසානයේදී ‘විශේෂයෙන්ම මම යාළු වෙන්න අහල බැහැ කියපු හැම ගැහැනු ළමයකුටමත් ස්තුති කරනවා. මේ සම්මානය ඔවුන්ටත් අයිතියි’ යැයි පැවැසූයේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොළසන් හා සිනහ හඬ මධ්යයේදියි.
ඇමෙරිකාවෙත් පිය සමර
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අපේ රටේ සිටි අග්‍රගණ්‍ය නාට්‍ය නිර්මාණකරුවෙක්. එතුමා විසින් එදා නිර්මාණය කළ සිංහබාහු, මනමේ වැනි නාට්‍ය අදටත් පරම්පරා ගණනාවක් රස විදින්නේ එම නිර්මාණ සතු වූ අමරණීයත්වය නිසාමයි. පසුගිය ජූනි මාසෙට එතුමාණන්ගේ සියවැනි ජන්ම දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් මෙරටදී නාට්‍ය උළෙල, පන්කම් ආදිය පැවැත්වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණියක වන සුනේත්‍රා සරච්චන්ද්‍ර දැනට ජීවත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇය විසින් සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ඒ මහතාට උපහාර ලෙස අමෙරිකාවේදී එතුමාණන්ගේ නාට්‍ය ගීත ඇතුළත් සංදර්ශනයක් පවත්වන්නට සූදානම් කියලා දැනගන්න ලැබුණා.ලබන නොවැම්බර් 8 වැනිදා තමයි එය පවත්වන්න නියමිතව තියෙන්නේ. කුඩා කල සිටම ළමා නාට්‍ය තුළින් කලා ක්ෂේත්රයට පිවිසි සුනේත්‍රා සරච්චන්ද්‍ර වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යය මෙන්ම චිත්‍රපට සඳහා ද සිය රංගන හැකියාව ලබා දුන් දක්ෂ රංගන ශිල්පිනියක්. සුනේත්‍රා විදෙස් ගත වෙලා දැනට වසර 15 ක් සපිරෙන අතර දැනට ඇය පදිංචි වෙලා සිටින්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මවු බිමෙන් දුරස්ව සිටිය ද ලාංකේය නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ තම ආදරණිය පියාණන් වෙනුවෙන් ඇය ඉටු කරන්නා වූ මෙහෙයට සරසවිය සුබපැතුම්!
ඒ කාලෙත් ලැබුණු තෑගි
ප්‍රවීණ ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා වෙනුවෙන් උපහාර උළෙලක් පසුගියදා පැවැත්වුණා. ඉතා වටිනා තෑගි බෝග සමඟින් ඉතාමත් ඉහළින් මේ උපහාර උළෙල පැවැති අතර නිවේදන කටයුතු කළ නිවේදකයා පවා සඳහන් කළේ මේ දක්වා ක්ෂේත්රයේ රැඳී සිටි හරූන් ලන්ත්‍රාට රූපවාහිනියක්වත් නොතිබුණු බවයි. එදා මේ උපහාර උළෙලේදී ඔහුට වටිනා රූපවාහිනී යන්ත්‍රයකුත් පිරිනැමුණා. ඇත්තටම එය අගය කළ යුතු වටිනා උපකාරයක්. නමුත් අපි අද කියන්න හදන්නේ වෙනත් අතීත කතාවක්. මේ කතාව අපිට කිව්වේ ජනප්‍රිය ගායක සමන් ද සිල්වා. ඔහු පැවසූයේ, තමා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයාව සිටි කාලයේදීත් හරූන් ලන්ත්‍රාට රූපවාහිනී යන්ත්‍රයක් ලබාදීමට කටයුතු කළ බවයි. ‘සිංහගිරි සමාගමේ අධිපතිතුමා විසින් එදා නොමිලයේම ඒ රූපවාහිනී යන්ත්‍රය පරිත්‍යාග කළා. ඒක හරූන් ලන්ත්රාගේ නිවෙසට ගෙන ගොස් සවි කළේත් තවත් ජනප්‍රිය ගායකයෙකු වන ටෝනි හසන්.’ කලකට ඉහත දී තම ජ්‍යෙෂ්ඨ මිත්‍ර හරූන් ලන්ත්‍රා වෙනුවෙන් කළ ඒ උපකාරය සමන් නැවතත් සිහිපත් කළේ ඒ අයුරින්.
රණේපුර ටොමී වෙලා
කුමාර රණපුරව අප දැන හිටියේ දක්ෂ සටන් නළුවකු හැටියටයි. නමුත් ‘හඳපාන’ ටෙලි නාට්‍යයේ කැකනදුර ගුරුන්නාන්සේ ලෙස කළ අපූරු රංගනයෙන් ඔහු තුළ සිටි චරිතාංග නළුවාවත් අපට දැක ගන්නට ලැබුණා. මේ මෑතකදී කුමාරට තවත් අපූරු රංගනයක් ඉදිරිපත් කරන්නට ලැබුණ බවකුත් අපට අසන්නට ලැබුණා. ඒ ස්වීස් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින්. චිත්‍රපටයේ නම ‘ටොමී’. පසුගිය දවස්වල මෙහි අධ්යක්ෂ Tarik Saleh ඇතුළු චිත්‍රපට කණ්ඩායම ලංකාවට ආවේ සිනේ ලොකේෂන්ස් සර්විස් ආයතනයේ ඇන්තනි ලෝඩන් ගේ ආරාධනාවකට චිත්‍රපටයේ රූ ගත කිරීම් අරඹන්නටයි. මේ අය තීරණය කරලා තිබුණේ මෙහි ප්‍රධාන චරිතයට අපේ රටේ නළුවෙක් මේකට සම්බන්ධකර ගැනීමටයි. මේ ආරංචියට විශාල පිරිසක් පරීක්ෂණයට ඇවිත් හිටියත් ඔවුන් තෝරා ගත්තේ කුමාරව විතරයි. පසුගිය දින ගණනක් පුරාම නුවර, මාතර, වැලිගම, කොග්ගල වැනි ප්‍රදේශවල මෙහි රූ ගත කිරීම් සිදුවුණා. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ Moa gammel කියන ස්වීස් ජාතික ජනපි‍්‍රය නිළියයි. කුමාරට රඟපාන්න ලැබුණේ ඇයත් සමඟ. කුමාරගෙ රංගනය ගැන අධ්යක්ෂවරයා වගේම ඇයත් බොහෝම සතුටින්ලු ලංකාවෙන් පිටත් වුණේ. ළඟදීම ‘ටොමී’ තිරගත වේවි. එතකොට බලමු රණේගෙ වැඩත් හැඩත් කොහොමද කියලා. මේ සියලු දේට කුමාරට උදවු කළේ කලා අධ්යක්ෂ සුනිල් ප්‍රේමරත්න. කුමාර ඔහුවත් ආදරයෙන් මතක් කළා. |